දේශපාලන බලය වෙනුවෙන් තලපති විජේට ප්‍රභාකරන් සිහිවීම

0
7

රාසයියා පාර්තීපන් ලෙස උපන් තිලීපන්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙහි දේශපාලන අංශයේ නායකයකු වූ අතර, ඉන්දීය රජය දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළේ මීට වසර 38 කට පෙරය. ඔහු 1987 සැප්තැම්බර් 15 වන දින නල්ලූර් කන්දස්වාමි කෝවිලේදී සිය උපවාසය ආරම්භ කළ අතර, ආධාරකරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් ඔහු වටා රැස්ව සිටි අතර දින 11 කට පසු ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මියගියේය. එහෙත් ඇත්ත කුමක්ද? තිලීපන් අවසාන මොහොතේ වතුර ඉල්ලද්දී එය ලබා නොදුන් අතර ඔහු මේ උපවාසයට පෙර සිටම බඩවැලේ පිළිකාවක් වැළඳී තිබුණු අයෙකි. තිලීපන් දකුණේ සමහරුන්ටත් වීරයෙක් වුවද අපට නම් ත්‍රස්තවාදියෙකි. තිලීපන් සිහිකිරීම වෙනුවෙන් යාපනයේ නල්ලූර් හි ප්‍රතිමාවක් නිරාවරණය කෙරුණේ පෙරේදා දිනයේය. හිටපු ජ්‍යෙෂ්ඨ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන බෂීර් විසින් පිළිරුව නිරාවරණය කරන ලදී. රැස්ව සිටි පිරිස විසින් තිලීපන් සහ ඔහුගේ උපවාසය සිහිපත් කිරීම සඳහා පිළිරුව මත ගිනිදැලක් දල්වා මල් තබා තිබිණි. මේ උපහාරය පුද කෙරෙද්දී තමිල්නාඩුවේද ප්‍රභාකරන් ගැන කියනු ඇසුනේ තමිල්ගා වෙටි්‍ර කසාගම් පක්ෂයේ ප්‍රධානී ප්‍රකට නළු තලපති ජෝශප් විජේ කොටි නායක සිහි කරමින් ප්‍රසංශා කරනු ලැබීම නිසාය. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ගැන සිහි කරමින් ජෝශප් විජේ පවසා තිබුණේ ප්‍රභාකරන් ඔවුන්ට “මවක්” බවයි. අද ප්‍රභාකරන් නොමැති නිසා උතුරු නැගෙනහිර ජනතාව සතුටෙන් වසන බව විජේට කියන්නට කෙනෙක් නැත. ඔහු මේ කරන්නේ නාටකයකි. ඒ 2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙනි.

නාගපට්නම් හි රැළියක් අමතමින් විජේ පැවසුවේ “ අපගේ පෙකණි වැල වගේ ඥාතීන් වන ඊළාම් දෙමළ ජනතාව, ඔවුන් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටියත්, ඔවුන්ට මාතෘ සෙනෙහස පෙන්වූ නායකයකු අහිමි වීමෙන් පසු දුක් විඳිනවා, ඔවුන් වෙනුවෙන් හඬ නැඟීම අපගේ යුතුකමයි.”

ඓතිහාසික සංචාරයක් සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සැප්තැම්බර් 01වැනිදා කච්චතිව් දූපතේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාරය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු කච්චතිව්හි සංචාරය කළ පළමු අවස්ථාව මෙය බැවිනි. ඇත්තෙන්ම ජනපතිවරයා කච්චතිව් වෙත ගියේ තලපති විජේ විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙනි. දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතිව් දූපත දක්වා ඇති දුර කිලෝමීටර 24කට ආසන්න වන අතර, යාපනය සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර් 63කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම අනුව පැහැදිලි වෙයි.

කච්චතිව් දූපතේ භූමි ප්‍රමාණය අක්කර 280කට ආසන්න වපසරියකින් යුක්ත වේ. මදුරෙයි හි පැවති රැලියකදී ජෝශප් විජේ පවසා තිබුණේ කුමක්ද? “අපේ තමිල්නාඩු ධීවරයන් 800 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව මරා දමා ඇත. එය හෙළා දැකීමට ඔබ විශාල දෙයක් කරනවාට මම කැමති නැහැ. එක කුඩා දෙයක් කරන්න: මෙම ජනාවාස නොවූ දූපත කච්චතිව් නැවත ලබා ගැනීම ප්‍රමාණවත්.

කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුව ඉතිහාසය පුරා දක්නට ලැබුණු අතර, මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය. කච්චතිව් දූපතේ අයිතිය 1974 දී ශ්‍රී ලංකාවට හිමි වූ අතර, කච්චතිව් අයිතිය හා කච්චතිව් සාගර සීමාව සම්බන්ධ ගැටලුව 20 වන සියවසේ මුල් කාලවකවානුව දක්වා දිව යයි. කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයන් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් අතර, සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී ඉන්දීය නියෝජිතයන් සඳහන් කර තිබුණේ, කච්චතිව් දූපත බි්‍රතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයකු යටතේ පැවති බවය. එහිදී ශ්‍රී ලංකා නියෝජිතයන් පවසා ඇත්තේ, කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබූ බව ය. වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කර කරමින් 1950 දී ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයකු වූ ශ්‍රීමත් ජේම්ස් එමර්සන් 1860 දී “සිලෝන්” නමින් එළිදක්වා තිබූ ග්‍රන්ථයක සිතියමක ද කච්චතිව් දූපත ඇතුළත් කර තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති.

විජේ 1999 අගෝස්තු 25 වන දින ශ්‍රී ලාංකික දෙමළ සංගීතා සමග විවාහ විය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටී: ක්‍රිස්තියානි පියෙකුට දාව උපන් ජෝශප් විජේ ධීවරයන් ආමන්ත්‍රණය කරන්නේ තම දේශපාලන බලය වෙනුවෙනි. එසේම ලෝකය පුරා දෙමළ ජනයාගේ වීරයකු වීම වෙනුවෙන් ඔහු ප්‍රභාකරන් අත නොහරී. එසේම ප්‍රිය බිරිය නිසාත් ඔහුට ප්‍රභාකරන් මතක් වේ. විජේ ඔහු රංගනයට සමු දී දේශපාලනයට පැමිණෙන බව නිවේදනය කළේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීයි. දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන එස්. ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක් වන ශෝබාගේ දරුවකු ලෙස එස්. ඒ. ජෝසප් විජේ චෙන්නායිහි දී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදායි. ඔහු පළමුව සිනමාවට පිවිසින්නේ සිය පියා 1992 දී අධ්‍යක්ෂණය කළ “නාලයියා තෙරප්පු” නම් චිත්‍රපටයෙනි. ඉන් පසු ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර තිබේ. මේ වන විට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 68ක් නිකුත් වී ඇති අතර, අවසන් චිත්‍රපටය GOAT වන අතර එම චිත්‍රපටයේ ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කර තිබේ.

කලින් කලට පුවත් මවන තමිල්නාඩු මහ ඇමැති ධුර මෙතෙක් දරා ඇති අයගෙන් බොහෝ දෙනකු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ අයයි. අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමැති ධුරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයකු ලෙස කටයුතු කර ජනප්‍රියත්වයට පත් වූ අයෙකි. වර්තමානයේ තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය දරන එම්. කේ. ස්ටාර්ලින් ඔහුගේ පුත්‍රයා ය. පස් වතාවක් මහ ඇමැති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ නිළියකි. ඔවුන්ට අමතර ව එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමැති ධුරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමග දේශපාලනයට පිවිසි අයයි.

ඇත්තෙන්ම 2008 දී තලපති විජේ ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කළ යුතු බව පැවසූ පුද්ගලයෙකි. ඔහු එම වසරේ නොවැම්බර් මාසයේ ලංකා හමුදා මෙහෙයුම්වලට එරෙහිව උපවාසයකට වාඩිවී මෙලෙස පවසා තිබිණි. මේ උපසාවසයට ඔහුගේ මවත් එක්ව තිබිණි. ඊළාම් දෙමළ ජනතාව රැඳී සිටීමට ස්ථානයක්, ඇඳීමට ඇඳුම් සහ ආහාර නොමැතිව අරගල කරමින් සිටිති, මේ වෙලාවේ, අපිට ඔවුන්ට කෑම නැතුව එක දවසක්වත් ඉන්න බැරිද? ඒක තමයි මේ උපවාස විරෝධතාවට හේතුව.” මට කැමති ඕනෑම කෙනකුට, මගේ රසිකයන්ට, මම එක ඉල්ලීමක් කරන්න කැමතියි – ඊළාම් යුද්ධය අවසන් විය යුතු අතර, දෙමළ ජනතාවට ආරක්ෂිත ඉඩක් තිබිය යුතුය. කරුණාකර ඉන්දීය අගමැතිතුමාට මේ බව දැනුම් දෙමින් ලිපියක් ලියන්න. ඉදිරි පැය 24 තුළ, ඔබ කොපමණ ලිපි ලිව්වත්, අවම වශයෙන් ලිපි කෝටියක්වත් ඔහු වෙත ළඟා වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඊළාම් දෙමළ ජනතාවට නිදහස උදා වේවා. මෙම ආයාචනය මගේ රසිකයන්ට පමණක් සීමා නොවේ; එය දෙමළ අනන්‍යතාවයේ සාරය ඔවුන් තුළ දරා සිටින ඕනෑම කෙනකුට කරන අවංක ආයාචනයකි අපට ශ්‍රී ලංකාවට ගොස් දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කළ නොහැක. මෙම උද්ඝෝෂණය ඔවුන්ට අපගේ ශක්තිමත් සහයෝගය පෙන්වීමේ උත්සාහයකි. මේ නළුවා ලබන වසරේ තමිල්නාඩු මහ ඇමැති වෙයිද නැද්ද යන්න අපට පැහැදිලි නැත. නමුත් ඔහු සිය දේශපාලනය වෙනුවෙන් මියගිය කොටි කූද්දන බව පෙනේ. තිලීපන්ගේ ප්‍රතිමාවලට නැවත පණ එන්නේද මියගිය කොටි නැවත අවදි කිරීම වෙනුවෙන් බව අප හොඳින් මතක තබාගත යුතුය. විජේ 2008 දී අපි කොටි පැටවුන්!’ යනුවෙන්ද කියා තිබිණි. මහා කොටියාගේ අළුත් 2009 දී මුහුදේ පාකර හැරු බව විජේ නොදන්නවා නම් නොවේ.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here