දේශපාලන උවමනාවන් වෙනුවෙන් අසත්‍ය ප්‍රචාරය කළාට ආර්ථික මධ්‍යස්ථාන සියල්ල 100%ක් කොටස් රජය සතු සමාගමක් වන නැෂනල් ඇග්රි මාර්කට් සර්විසස් ලිමිටඩ් (National Agri market services limited) සමාගම යටතට පැවරීමේ ක්‍රියාවලිය කිසිසේත් නවතින්නේ නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පවසයි.
ඔහු මේ බව පැවසූවේ, මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර පළවීම සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වෙළඳ අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එම මාධ්‍ය හමුවට නැෂනල් ඇග්රි මාර්කට් සර්විසස් ලිමිටඩ් (National Agri market services limited) හි සභාපති වසන්ත සේනානායකද එක්විය.
පසුගිය 2025 වසරේ ජුනි මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් මගින් මෙරට ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර 100%ක් කොටස් රජය සතු සමාගමක් යටතට පැවරීමට තීරණය කළ බවත් ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදී ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරිත්වය සහ වෙළෙඳ සංගම් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ එම මාධ්‍යධ්‍ය හමුවේදී පෙන්වා දෙන ලදී.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව මෙම නව සමාගම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන්ගෙන් කර තිබූ ඉල්ලීමක් අනුව පසුගිය ජනවාරි මස 31 වනදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් එම වෙළෙඳුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් නව සමාගම සම්බන්ධයෙන් එහිදී ඔවුන් දැනුවත් කළ බවත් සඳහන් කළේය.
අදාළ සමාගම 100%ක් කොටස් රජය සතු සමාගමක් බවත්, දැනට ව්‍යාපාරවල නිරත පිරිසට එම කඩ කාමර අහිමි කිරීමක් සිදු නොකරන බවත් එහිදී ඇමති පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත්, දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති ඇතුළු ඇතැම් පාර්ශව නව සමාගම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බව මාධ්‍ය හමුවේදී ඇමති පෙන්වා දෙන ලදී.
නැෂනල් ඇග්රි මාර්කට් සර්විසස් ලිමිටඩ් (National Agri market services limited) පිළිබඳව දඹුල්ල වෙළෙඳ සංගමය දක්වන විරෝධතාව පිටුපස පරාජිත දේශපාලනඥයන් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති එහිදී පැවසීය.
“මේ පිටුපස ඉන්නේ දේශපාලනයෙන්. පැරදිච්ච ජනක බණ්ඩාරලා, ජනක තෙන්නකෝන්ගේ පුත්තු. මොකද ඒගොල්ලොන්ටත් කඩ තියෙනවා. දැන් ඒගොල්ලෝ මේ බියක් හදන්නේ මොකටද අපි දන්නවා.
දැනුත් දවසකට රුපියල් 1000ක කුලියට කඩයක් දෙන්නේ. නැත්නම් මාසෙකට රුපියල් ලක්ෂ තුනක (රු. 300,000) කුලියට දෙන්නේ. හැබැයි රජයේ නව සමගම ගන්නේ රුපියල් හතලිස් දෙදෙහස් පන්සියයි (රු. 42,500). නැත්නම් උපරිම රුපියල් හතලිස් පන්දහසයි (රු. 45,000) මාසෙකට.
එක්තරා පුවත්පතකට මම දැක්කා වෙළෙඳ සංගමයේ සභාපති විවේචන ටිකක් ඉදිරිපත් කරලා තිබුණා. මම මේ 31 ගිහින් ඒ ගැන කියලා තියෙද්දිත් බොරු කියනවා. ජනතාව ඇත්ත දැනගත යුතුයි. රාජ්‍ය සමාගමක අයිතිය තියෙන්නේ භාණ්ඩාගාර ලේකම් යටතේයි. මේ සමාගම තියෙන්නෙත් භාණ්ඩාගාර ලේකම් යටතේ. මේ සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා හදපු සමාගමක්ලු. ඒකට ඒගොල්ලො තර්කයක් හදනවා කලින් කැබිනට් පත්‍රිකාව අනුමත කළේ private limited කියලා, දැන් මේක තියෙන්නේ limited කියලා. සමාගම් මැඳුරෙන් විමසන්න පුළුවන් private limited සහ limited කියන එකෙයි වෙනස මොකක්ද කියලා.
මම මේවා පැහැදිලි කරලා දුන්නා මං ඉතින් වාණිජ පාඩමක් කරනන්න ඕනේ නැහැ. හැබැයි මේ බොරු කීම වෙනුවෙන් අපි වෙළෙඳ සංගමයට ඉතාම පැහැදිලිව කිව්වා අසත්‍ය පතුරන්න එපා, ඇත්ත කියන්න කියලා. වෙළෙඳ සංගමය දේශපාලන උවමනාවන් වෙනුවෙන් අසත්‍ය පැතිරෙව්වා කියලා මේ ක්‍රියාවලිය නවතින්නේ නැහැ. අපි කරන්නේ මේ ආර්ථික මධ්‍යස්ථාන වැඩිදියුණු කරලා ගොවියාට හොඳ මිලක් දීලා පාරිභෝගිකයාටත් හොඳ එළවළු, පළතුරු යන විදිහට මේ ක්‍රියාවලිය විධිමත් කරන්නයි”
ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට පාලනය වන කළමනාකාර භාරය හරහා ගනු ලබන තීන්දු තීරණ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ක්‍රියාත්මක කිරීමේ ගැටලු පවතින බව පෙන්වාදුන් ඇමති වසන්ත සමරසිංහ, එවැනි අවස්ථාවලදී තීරණ ගැනීමේ පහසුව සහ ආර්ථික මධ්‍යස්ථාන වඩා හොඳින් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මෙම නව සමාගම ස්ථාපිත කළ බව පෙන්වා දෙන ලදී.
ආර්ථික මධ්‍යස්ථාන ඉන්දීය සමාගමක් යටතට පවරන බවටද වෙළෙඳ සංගමය අසත්‍ය ප්‍රචාර පළ කරන බව පෙන්වා දුන් ඇමති වසන්ත සමරසිංහ ඉන්දියාවට පැවරීමක් හෝ පෞද්ගලීකරණය කිරීමක් හෝ සිදු නොකරන බව පැහැදිලිව අවධාරණය කරන ලදී.
“මේක ඉන්දියාවට දෙන්න හදනවා. පුද්ගලීකරණය කරන්න හදනවා. ප්‍රයිවට් ලිමිටඩ් කියලා දාලා තියෙන්නේ ඒකයි. මේ බොරු තර්ක. ඉතාම පැහැදිලිව කියන්න ඕන මේක කිසිසේත් පෞද්ගලීකරණය වෙන්නේ නැහැ. මේක සීයට සියයක් රජයට අයිති සමාගමක්. භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ තියෙන්නේ තියෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ හත්දෙනයි. 04ක්ම අමාත්‍යාංශ ලේකම්වරු. 04 දෙනෙකුම අමාත්‍යාංශ ලේකම්වරු වීමේ හේතුව තමයි ඉඩම් හා එම ක්‍රියාවලිය අමාත්‍යාංශ හතරක් සමග බැඳී ඇති නිසයි. වෙළෙඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ගොවි සංවිධාන ව්‍යාපාරික සංගමය පොලිස් ස්ථාන සියල්ල ඇතුළත් වන පරිදි අපි හදනවා කළමනාකරන කමිටුවක්. මොකද ආර්ථික මධ්‍යස්ථාන හරහා එකතු වෙන සල්ලි මේ කළමනාකරණ භාරවලින් තීන්දු අරන් තමයි වියදම් කරන්නේ. එහෙම වියදම් කළාම ප්‍රසම්පාදන ක්‍රියාවලි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර කල් එකතු වුණ මුදල් තියෙනවා කළමනාකාර භාර යටතේ. ඒවා අයිති භාණ්ඩාගාරයට. මේවා රජයේ සල්ලි. කළමනාකාර භාරය අහෝසි වුණාම ඒවා භාණ්ඩාගාරයට යොමුකළ යුතුයි”
මෙම සියලු ආර්ථික මධ්‍යස්ථාන හරහා කළමනාකාර භාර සතුව තිබෙන මුදල් ප්‍රමාණය පිළිබඳ මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලය ලබාදුන් පිළිතුරු,
“රුපියල් මිලියන දහසකට අඩු මුදල් ප්‍රමාණයක් පවතිනවා. ඒ මුදල් පිළිබඳ දැනට විගණනයක් කිරීමට යොමු කරලයි තියෙන්නේ. සමහර තැන්වල මුදල් තැන්පත් කිරීම්, වියදම් කිරීම්, මුදල් මාරු කිරීම් පිළිබඳ ගැටළු තියෙනවා. සමහර අමාත්‍යාංශවලටත් මුදල් දාලා තියෙනවා. ඒ නිසා විගණනයක් සිදු කෙරෙනවා”
ආර්ථික මධ්‍යස්ථාන සතු කඩකාමර විකිණීමක් සිදුකළ නොහැකි බව අවධාරණය කළ ඇමති වසන්ත සමරසිංහ, වසර පහෙන් පහට අලුත් වන බදු ගිවිසුමක් හරහා ව්‍යාපාරිකයන්ට ලබා දෙන බව පැවසීය. සෑම වසර තුනකටම වරක් රජයේ නිසි තක්සේරුවකින් පසු සාධාරණ කුලී වැඩිවීමක් සිදුකෙරෙන අතර දැනට ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට කඩකාමර අහිමිවීමක් සිදු නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. කඩ කාමර පවරනු ලබන්නේ බදු ගිවිසුම හරහා මත පමණක්ම වන අතර ටෙන්ඩර් ක්‍රියාවලියකින් කඩ කාමර ලබා දෙනු ලබන්නේ යම් ව්‍යාපාරිකයෙක් කඩ කාමර පවත්වාගෙන යාම අත් හරින අවස්ථාවක පමණක් බව ඇමති වසන්ත සමසරසිං මාධ්‍ය හමුවේදී පැවසීය.
එමෙන්ම ස්වාමිපුරුෂයා මියගිය අවස්ථාවක බිරිඳට හෝ දරු දැරියන්ට එම කඩ කාමර පැවරීමට එහි හිමිකරුවන්ට නිත්‍යානුකූල හැකියාවක් පවතින බවත්, ස්වාමිපුරුෂයා මිය ගිය අවස්ථාවක බිරිඳට කඩ කාමර පවත්වාගෙන යාම කළ නොහැකි නම් එය කුළියට ලබාදීමට හැකියාව පවතින බවත් විෂය භාර ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.
“මෙතැන ඉන්නවා වෙන වෙන කට්ටිය. පහුගිය මාසේ දඹුල්ලේ එක කඩයක් කෝටි හතකට විකුණලා තියෙනවා. තවත් කඩයක් කෝටි පහකට විකුණලා තියෙනවා. කොහොමද එහෙම විකුණන්නේ? මෙන්න මේවා තමයි දඹුල්ලෙ කට්ටිය මේ හදන ඝෝෂාව පිටුපස තියෙන රහස්. සමහරු කඩ කාමර දෙක තුන අරන්. මේ කඩ එහෙම විකුණන්න බැහැ. අපි බොහොම පැහැදිලිව කියනවා සමාජය නොමඟ යවන්න බොරු කියන එක නවත්වන්න”
3
Saru News








