සමාජ – දේශපාලන විමර්ශනයකින් අපේක්ෂා කෙරෙන යථාර්ථවාදී දැක්මත් සමකාලීන සමාජ දේශපාලන විඥානය තීව්‍ර කිරීමත් කෙතෙක් දුරට සාර්ථක වී තිබේදැයි නිශ්චිතව කිව නොහැක. එයට එක් හේතුවක් වී ඇත්තේ බොහෝවිට එකම රාමුවක් තුළ සිරවී ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුව තිබීමය. දේශපාලන සංවාදවලටත් ජනමාධ්‍යවලටත් ඒ තේමාවන් මඟහැර යා නොහැකිය. එහෙත් ඇතැම් විද්වතුන් විසින් නඟනු ලබන එක් චෝදනාවක් වන්නේ අද බොහෝවිට පාතාලය, අල්ලස්, දූෂණ, වංචා හා ප්‍රතිගාමි දේශපාලන භාවිතාවන් උද්දීපනය කරන බවය. ඒ කිසිවකින් සමාජ සුබසාධනයක් හෝ ප්‍රඥාවක් හෝ සිදු නොවන බවය. කුලී ඝාතකයන් හා පාතාල මැරයන් යනු හුවා දැක්විය යුතු අය නොව සමාජයම වෙළා ගත් ගර්හිත, අමන ප්‍රවාහයක් බව නිසැකය. ඒ පාතාල මැර ක්‍රියාකාරකම් සමග ගැටගැසී තිබෙන වසල දේශපාලනය ගැන ද සමාජයේ බහුතරයක්ම වටහාගෙන සිටිති. සමාජ යාන්ත්‍රණය, නීතිය ඇතුළු බොහෝ ආයතන වෙළාගත් දේශපාලන බූවල්ලන් විසින් සිදු කරන ලද සමාජ චර්යාධර්ම විනාශය මැඬලිය නොහැකි ළැව් ගින්නක් සේ පැතිර ගිය ආකාරය ද අපි දකිමු. එහෙත් උභතෝකෝටිකය වන්නේ ඒ දුෂ් පිළිවෙත වනසා සමාජ යහපතට පියවර ගන්නේ කෙසේද යන්නය.
මේ ආණ්ඩුව බලයට පත්කළ ජනතා අපේක්ෂාවන් ඉටුවෙමින් තිබේ ද යන ප්‍රශ්නය සමහරු නඟති. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන පක්ෂ හා බලවේග යළිත් හිසඔසවමින් තිබීම යනු ඒ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳ අපේක්ෂාවල අනාථභාවයත් හිස් බවත් විනා අන්දෙයක් නොවේ. එතෙක් මෙරටේ පාලන බලය හිමිකරගත් වැඩවසම් දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පැරදවූ ජනතාව තුළ අපේක්ෂාභංගත්වයක් ඇතිවී තිබේද? යන ප්‍රශ්නය අද ඇසෙයි. සමහරු මතුකරමින් ද සිටිති. මේ වනවිට රටේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය සම්බන්ධයෙන් කෙරෙන විවේචන විග්‍රහවලින් වුව ද පැහැදිලි වන්නේ ගුණාත්මක සහ හරයාත්මක සංවාදයක් සිදු නොවන බව ය. රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශය කෙරෙන වාද විවාදවල සාධනීය තත්ත්වයක් තිබේ ද යන ප්‍රශ්නය ඒවා නරඹන ප්‍රේක්ෂකයකු ලෙස මා තුළ ද නැඟෙයි.
දසක කීපයක් තිස්සේ දේශපාලන බලය හුවමාරු වූ ආකාරය දෙස බලමින් නැතහොත් ආවර්ජනය කරමින් වත්මන් දේශපාලනය ගැන තක්සේරුවකට එළැඹීමට ජනතාව ද පුරුදු වී සිටිති. දේශපාලන ප්‍රභූ නායකයන් ගෙදර යැවූ ප්‍රබුද්ධ පුරවැසියන්ට යළිත් ඇසෙන්නේත් පෙනෙන්නේත් ඒ අයගේම කටහඬ හා රූපරාමු පමණකි. 2022දී විවෘත වූ අලුත් දේශපාලන භූමිය නැතහොත් අවකාශය තුළ අලුත් සම්ප්‍රදායක සරු බිජුවටක් වපුරාලීමට ජාජබය සමත් විය යුතුය. දේශපාලන දැක්මක් හා ඒ පිළිබඳ අලුත් කියැවීමක් නැති කණ්ඩායම්වල හිස් හා නිසරු වාද විවාදවලින් ජනතාවට අත්වන ප්‍රතිඵලයක් ද නැත. සජබය ඒ අලුත් දේශපාලනයේ ස්වරූපය හඳුනාගත් බවක් ද කිව නොහැක. ඔවුන්ගෙන් බොහෝවිට සිදුවන්නේ සිල්ලර ගණයේ හෙවත් මතුපිටට සීමා වූ විවේචන බව ද පෙනේ.
මේ දිනවල ආන්දෝලනාත්මක දේශපාලන විවාද බවට පත්ව තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම මෙන්ම අයිස් ඇතුළු මත්කුඩු ආකරයක් බවට රට පත්වීම ගැන ගැඹුරු දේශපාලන කියවීම් තිබෙන බවක් අපට ද නොපෙනේ. විපක්ෂයේ එක් විවේචනයක් වූයේ දැන් හිටපු ජනාධිපතිවරුන්ගේ නිවෙස් ආපසු ගැනීමෙන් ඉතිරිවන මුදල් බඩු මිල හා විදුලි බිල අඩු කිරීමට යොදාගත හැකි බව ය. මේ ළාමක විවේචනය සජබයේ දේශපාලන හිස් බව ද? නැතහොත් කුහකකම ද? තවත් විවේචනයක් වූයේ මහින්දට ලබාදුන් නිවස ලක්ෂ 46ක් වැනි මුදලකට කුලියට දිය හැකි බවට කළ ප්‍රකාශය ගැන ය.
කුමක් වුවත් මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල හා චන්ද්‍රිකා යන තිදෙනාටම මේ නිවාස හිමිකම් අහෝසි වුව ද සමාජ, දේශපාලන හා මාධ්‍යවල අවධානය යොමුව ඇත්තේ මහින්දට පමණි. මහින්ද ඒ නිවසින් ඇදදැමීමේ වෛරී දේශපාලනය හා එය දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ ක්‍රියාවක් ලෙස ද විපක්ෂ පෙන්වා දී තිබේ. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මේ පිළිබඳව මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණි. එසේම මහින්දගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ තංගල්ල නිවසට යන ජනතාව ගැන ද මාධ්‍යවල සඳහන් වේ. මේවා පුළුල් දේශපාලන බලපෑමකට හේතු නොවුවද එයින් පොහොට්ටු පක්ෂයේ සුළු හෝ පිබිදීමක් නැතැයි කිව නොහැක.
ජාජබයට අනුව ඔවුන් විසින් කරන ලද්දේ ජනතාවට ලබාදෙන ලද පොරොන්දුවක් ඉටු කිරීමය. එය මහින්ද ඉලක්ක කරගත්තක් නොව, ජනතා මුදලින් දේශපාලනඥයන් රැකගැනීම අසාධාරණය යන ප්‍රතිපත්තිය මත පදනම්වූවක් බව ද ආණ්ඩු පාර්ශ්වය පවසා තිබේ. එහෙත් ජනතාව තුළ කිසියම් සංවේදී ප්‍රතිචාරයක් ලබාගැනීමට ඒ සිදුවීම යොදා ගැනීමට පොහොට්ටුවට මෙන්ම විපක්ෂවලට ද හැකි විය. එයට වගකිව යුත්තේ ද ආණ්ඩුවේ සැලසුම්වල අවිධිමත් බවත් ඒවා ගැන නිශ්චිත විවේචනාත්මක කරුණු දැක්වීමක් කළ නොහැකි වූ ජාජබ පාර්ශ්වයේම අයයි.
මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කෙරෙන පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් හා ඒ සඳහා තෝරාගත් නිවැරදි මාවතක් ගැන ජනතාවට පැහැදිලි චිත්‍රයක් තවම ලැබී නැතැයි ආණ්ඩුවට හිතවත් සමහරුන්ගෙන් ද එල්ල වන චෝදනාවකි. මේ සතියේ ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ ප්‍රතිසංස්කරණය ගැන ඇසුනේ, එය ආණ්ඩුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේම පියවරක් බවය. එහෙත් මෙයට මාස කීපයකට පෙර මාර්ග ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා එම ව්‍යාපෘතිය යොදාගන්නා බව පැවසුණි. මගී ප්‍රවාහන බස්වල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම ද ඒ අනුව ඇරඹුණි. එහෙත් මගී බස් සේවය පිරිපහදු කළ නොහැකි විය. බස් අනතුරු බහුල විය. දැන් යළිත් ඒ බස්වල කොටස් ගැලවීම ඇරඹී තිබේ. බස් සංගම්වල නිලධාරීන් යළිත් සටනට බැස සිටින බවක් ද පෙනේ. මේවායින් පෙනී යන්නේ නිසි සැලැස්මකට ඒවා සිදු නොවන බව නොවේද?
අනෙක් විවාදාත්මක මාතෘකාව වී ඇත්තේ ආණ්ඩුව මැදිහත්ව මේ රටට රැගෙන ආ කුප්‍රකට පාතාල චරිතවල ක්‍රියාකාරකම්ය. පාතාලය මෙහෙයවූ ඝාතනවලට අමතරව මේ රට මත්කුඩු, අයිස් නිෂ්පාදනයට අවතීර්ණ වී සිටින ආකාරය ද වාර්තා වී තිබේ. ඉන්දුනීසියාවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමක් අනුව මෙරටට රැගෙන ආ පාතාලයන්ගේ මෙහෙයුම්, ක්‍රියාකාරකම් දැන් සෑහෙන කලක සිට රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රදර්ශනය වන කුප්‍රකට නාටකයක් සේ අපි නරඹමු. ඒ ජාලය විසින් වපුරන ලද භීෂණය හා මත්කුඩු නිෂ්පාදන කම්හල් ගැන ද මාධ්‍යවලින් හෙළි වේ.
වරායේ නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් තුන්සිය ගණනක් පිටවීමේ පුවත තවමත් මාධ්‍යවල දැක්වේ. විපක්ෂය ඒවා ගැන කරන අනතුරුඇඟවීම් ද බොහෝය. රතු ලේබල් වර්ගයට අයත් බහාලුම් ද හෙමින් සීරුවේ පිටව ගිය බව විපක්ෂයේ චෝදනාවය. ඇත්තටම ආණ්ඩුව එයට සාර්ථක පිළිතුරක් දී නැත. අන්තරායකාරී ඖෂධ නියාමන කටයුතු ගැන ද සැකයක් මතුකෙරෙන විවේචන ද ඇසේ. මේවායේ එක නරක නිලධාරියෙක් සිටීම හොඳටම සෑහේ. මොන ක්‍රමයකින් හෝ බැංකු ගිණුම තර වේ නම් නීතියේ සිදුරුවලින් රිංගන ක්‍රම සහ විධි දනිත් නම් නිලධාරීන්ට නොකළ හැක්කක් ද නොමැත. මිද්දෙණිය ඇතුළු ස්ථාන කීපයකම බැකෝ යන්ත්‍ර මගින් කෙරෙන විමසුම් කටයුතු අපි කුහුලින් බලා සිටිමු. ජනමාධ්‍ය ඇමැති නලින්ද පැවසූ පරිදිම ජනමාධ්‍යවලත් මාධ්‍යකරුවන් වන අපගේ මතකයටත් දැන් වැඩිපුරම නැඟෙන්නේ ද පාතාලයන්ගේ නම් ගම් ය. උන්ගේ අසමජ්ජාති ක්‍රියාකාරකම් ය. ඇත්ත වශයෙන්ම අද දවසේ පාසල් සිසුවකුගෙන් ප්‍රශ්න කළත් පාතාලයන්ගේ නාමාවලියේ නම් සෑහෙන ප්‍රමාණයක් අසාගත හැකිය.
මේ දිනවල පරණ පාතාලයකු ලෙස හැඳින්වූ මාකඳුරේ මදුෂ් ගැන ද සංවාදයක් ඇසෙයි. ඔහු සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් පිළිබඳ තෝම්බුවක් ද එළිදැක්වෙන බව ඇසුණි. කුමක් වුවත් මේ පාතාල සබඳතා – ඒ හා සම්බන්ධ ජාලය තුළ මොන මොන දේවල් සැඟවී තිබිය හැකිද? මාකඳුරේ නම යළි සමාජයට ඒම ගැන ද ප්‍රශ්න ගණනාවක්ම තිබේ.
මේ රටට බොහෝ දේවල් ලැබෙන ප්‍රධාන ද්වාර දෙක හෙවත් දොරටු දෙක වරාය හා ගුවන්තොටුපළ වුව ද ඒවාට පිටින් ක්‍රියාත්මක වන ජාලයක් තිබෙන බව ද අපි දනිමු. මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු ජාලයක් ද වේ. එමගින් මෙරටට රැගෙන එන වස විස ඇතුළු බොහෝ දේවල් පිළිබඳව ද වාර්තා වේ. නාවික හමුදාවල ගෞරවනීය මෙහෙයුම් නිසාම ඒවා නීතියේ රැහැනට අසුකර ගත හැකි වී තිබෙන බව ද කිව යුතුය. මේ අයිස් මත්කුඩු, ගංජා ඇතුළු නීතිවිරෝධි දේවල් නැඟෙනහිර, උතුරු වෙරළ තීර ඔස්සේ මෙන්ම තවත් තැන්වලින් ද රටට එන වෙනම ජාලයක් තිබේ. ඒවාට ආරක්ෂක අංශවල හා පොලිසියේ සමහරුන්ගේ උදව්, අනුග්‍රහය ලැබී තිබෙන බව ද හෙළි වී ඇත.
මේ හැම විනාශයක්ම අද ඊයේ සිදුවූ දේවල් නොවේ. කලක් තිස්සේ විනාශයට දොරවල් හැර දුන් අයත් අද ඒවාට විසඳුම් ඉල්ලති. ඒ අපවිත්‍ර දුගඳ කළු පැල්ලම් සැණෙකින් සිදු කළ හැකි දේශපාලන වෙල්ලෑහැළියක් මේ ආණ්ඩුවට තිබේදැයි අපට නම් කිව නොහැක. රට ගැන නොව බඩ ගැනත් තම පරපුර හා අනුගාමිකයන් ගැනත් හිතූ වසල දේශපාලන කසළ ගොඩක් බවට රට පත්වී තිබේ. කුමක්ද මේ රට? ඇහුවොත් ඝාතනයකි. දූෂණයකි. වංචාවකි. චෞරයන්ගේත් පාතාලයන්ගේත් අනීතික අධම නිලධාරීන්ගේත් අපායක් බවට රට පත්ව තිබේ.
මේ සතිය ආරම්භයේදී පුවත්පතක පළවූ පුවතකින් හෙළි වූයේ ඇමැති පුතෙක් මාස 21කින් කෝටි 27ක් උපයාගත් බවට අල්ලස් කොමිසම කළ අනාවරණයකි. බිරියගේ ඉතුරුම් ගිණුම් හතරකි. කෝටි 14ක නිවසක් හා ලක්ෂ 180ක් වටිනා නිවසකි. මේසා ධනස්කන්දක් සාධාරණ ලෙස උපයාගත හැකි ද? මේ ඇමැති පවුලම අද අධිකරණය ඉදිරියේ අධිචෝදනා ලැබ සිටින්නෝය. දුප්පත්කමේ පතුලටත් යටින් ඇසෙන අසරණයන්ගේ විලාපයට කන් නොදෙන දේශපාලන අධමයන්ගේ නොසන්ඩාල ක්‍රියාකාරකම් අද හෙළිවෙමින් තිබේ. මේ දේශපාලන හා දූෂිත නිලධාරි වළල්ල තවමත් සක්‍රීයව තිබේ ද? ගුවන්තොටුපළේ ඉහළ නිලධාරියකු තම පයෙහි මේස් ඇතුළත සඟවාගෙන කෝටි විස්සකටත් වැඩි රන් බිස්කට් තොගයක් සමග අල්ලාගෙන ඇත. අනුන්ගේ හොර අල්ලන්න ඉන්න එකා කම්බා හොරෙක් වෙද්දී ඒ ආයතනය ගැන කුමන කතා ද? කෝප් කමිටුව ඉදිරියේ හෙළිවන අනීතික අශිෂ්ට ක්‍රියාකාරකම් බොහෝවිට මාධ්‍යයක පළවන පුවතක් පමණක්දැයි සිතේ. දසක ගණනාවක් තිස්සේ හැර තිබුණ දේශපාලන අපායේ දොරටුව තවමත් වසා ගැනීමට නොහැකි වී තිබේ. එක පැයෙන්, එක රැයෙන් කළ නොහැකි බව ඇත්තය. එහෙත් තවමත් බොහෝ තැන්වල විනයක්, පාලනයක්, නීතියක් නැති හැඩ ය. හට්ටියේ කළු පාටට මුට්ටිය සිනාසෙන්නාක් මෙන් රට විපතට හෙළුෑ පිරිස්ම එකිනෙකාට චෝදනා නැඟීම ද උත්ප්‍රාසය දනවයි. ඒ අතරම රට ගොඩනැඟීමේ ජාතික නායකත්වයට රනිල් ඔසවා තබන දේශපාලන මෙහෙයුමක් ද දිස්වේ. එහි අරමුණ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කඳවුරු බැඳ මේ ආණ්ඩුව පලවාහැරීම බව ද සමහරු කියති.
ජනාධිපති අනුර කුමාර නම් පවසන්නේ රට නූතනත්වයට ඔසවා තැබීමට මෙවර අය – වැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවකි. ප්‍රාර්ථනාව උතුම්ය. ඇත්තටම දේශපාලන නන්දෙඩවිලි ගැන නොතකා රටේ ව්‍යවසායකයන්ට දිරිදීම, විනය හා නීතිගරුක රාජ්‍ය සේවයක් ඇතිකිරීම යන සාධක ඔස්සේ යා හැකි නම් ඒ ඉලක්කය ජය ගත හැකිය.
මේ අතර මේ දිනවල වෙළෙඳපොළ සම්බන්ධ ගැටලු කීපයක් ගැන ද වාර්තා විය. එහිලා මූලිකවම කතාබහට නිමිති වී ඇත්තේ හාල් හිඟයකි.
කීරි සම්බා හිඟය හා හාල් මාෆියාවක් ගැන ද සමහරු කතා කරති. කුමක් වුවත් වෙළෙඳපොළේ හාල් හිඟයක් ඇති නොවන බව නම් අදාළ බලධාරීහු පවසති. විපක්ෂනායක සජිත් ද පවසා තිබුණේ අද රටේ වී ගොවියා අසරණව සිටින බවකි. කෘෂි රසායන මිල ඉහළ යෑම, පොහොරවල තත්ත්වය බාල වීම මෙන්ම වී මිල ගැටලු ගැන ද ඔහු සඳහන් කර තිබුණි. ඇත්ත වශයෙන්ම වී ගොවියා පමණක් නොව එළවළු, පලතුරු වැනි ගොවිතැන් සම්බන්ධයෙන් ද බොහෝවිට අපට ඇසෙන්නේ දුක්බර කතා හා මැසිවිලි ය. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂකයන් හා ප්‍රමාණිකයන් පවසන ආකාරයට මෙරටේ අභාවයට යන එක් ක්ෂේත්‍රයක් වී ඇත්තේ කෘෂිකර්මයයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධ ගැටලු ගණනාවක්ම තිබෙන බව ද දැනට ගොවිතැන් කටයුතුවල නිරතව සිටින පාරම්පරික ජනතාවට ද ගොවිතැන එපා වී ඇති බව ද කියති. ස්වභාවික වැසි සම්පත මෙන්ම උචිත කාලගුණයක් ද සහිත වටපිටාවක් එදා ගොවියන්ට තිබුණත් අද ඒ සියල්ල පරිහානිය කරා යොමුව ඇති බව ද කියති. මෙරටේ වප්මඟුල්, වගා සංග්‍රාම වැනි විශේෂ සැලසුම් ද කලින් කලට ඒ ඒ පාලන කාලවල ආරම්භ වූ බව ද අපට මතකය. යාපනයේ පමණක් වුව ද මිරිස් හා රතු ලූනු වගාවලින් පොහොසත් ජනතාවක් එදා වූ බව ද රහසක් නොවේ. ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක පමණක් නොව ජේ. ආර්. ජයවර්ධන ද රට ස්වයංපෝෂිත කිරීම සඳහා ගත් බොහෝ ක්‍රියාමාර්ග අවසන් වූයේ විකාරරූපී නාටක ලෙස ය. ඒවා බොහෝවිට කටින් බතල සිටුවීමේ ව්‍යාපෘති ලෙස තිබුණු ඒවා ය. එක අල ගෙඩිය හොණ්ඩර ගණනක් බර වූ හැටි ද වී ගබඩා කිරීමට ඉඩකඩ නැති වූ බව ද ඒ දිනවල දේශපාලන වේදිකාවලින් ද ඇසුණි. ගොවි රජවරුන් තෝරා ඔටුනු පැලඳි උත්සව ද තිබුණි. කුමක් වුවත් ගොවියා අදත් සරණාගතයෙකි යි කීමට අපට සිදුව තිබේ.
මේ සියල්ල අතර ලංවිමයේ වර්ජන තර්ජන රාවයක් ද ඇසෙයි. මේ ලියන මොහොත වනවිට ලංවිම වෘත්තීය සංගම් ලෙඩ නිවාඩු දැමීමේ හා අකුරට වැඩ කිරීමේ සූදානමක් ගැන ද පවසා තිබුණි. වෘත්තීය සංගම් හා ආණ්ඩුව අතර තිබෙන වාද විවාද පිළිබඳ මාධ්‍යවල ද පළ වී තිබුණි. එසේම ලබන 21 වැනිදා වැඩවර්ජනයක් ගැන ද අනතුරු ඇඟවීමක් කර තිබේ. ජවිපෙ වෘත්තීය සමිති ඒ සඳහා සහාය නොදැක්වුවද අනෙක් සංගම් වර්ජනයට සූදානම්ය.
ගාමිණි සුමනසේකර
Saru FM Media