ගෙවී ගිය කාල සීමාව පාරිසරික ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකා රැසකින් සමන්විත වූ කාලයකි. ඒවා එකින් එක ගෙන සාරාංශගතව විමසා බැලීම මෙවර ‘හරිත’ තීරයේ අරමුණයි. මන්ද විටෙක ‘සංචාරේ’ විශේෂාංගය තුළින් සංචාරක ව්‍යාපාරයට ගැලපෙන විශේෂාංග සොයා රට-තොට සැරිසරණ අපට ඒ සඳහා පරිසරයක් ඉතිරි වන්නේ සංරක්ෂණ නිලධාරීන් සහ මහජනයා අපගේ පරිසරය, වන ජීවීන් රකින්නේ නම් පමණි. ඒවා විනාශයට ලක්වන්නේ නම් හෝ පරිසර පද්ධති, වන ජීවීන්, සංරක්ෂණ නිලධාරීන් තර්ජනයට ලක්වන්නේ නම්, බලපෑමට ලක්වන්නේ නම් එතැන අපට කතා කරන්නට සෞන්දර්යයක් නැත. එම නිසා එවැනි පාරිසරික අර්බුද නොසලකා අපට පාරිසරික සංචාර ගැන කතා කරන්නට සදාචාරාත්මක හිමිකමක් නොමැති නිසා, අද අපගේ අරමුණ පසුගිය කාලය රත් කළ එවැනි පාරිසරික අර්බුද කිහිපයක් ගැන අවධානය යොමුකිරීම සඳහාය.
වයඹ වන ජීවී කලාපයේ පොල්පිතිගම-‘හේරත්ගම’ වන ජීවී අඩවි ආරක්ෂක නිලධාරිවරයා සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය අතර වසරකට ආසන්න කාලයක් පැවැති නොහොඳ නෝක්කාඩුව (ගැටුම) දුර දිග යමින් එම අඩවි ආරක්ෂක නිලධාරී නීතිඥ චතුර ගුණරත්න මහතා කුරුණෑගල වන ජීවී කාර්යාලයට ස්ථාන මාරුකර යැවීම මේ වන විට මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්වී ඇත. චතුර ගුණරත්න මෑත කාලයේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු අති දක්ෂ නීති ගරුක ක්ෂේත්‍ර නිලධාරියෙකි. වෘත්තියෙන් වන ජීවී නිලධාරියකු වුවද, නීති විභාගය සමත්ව නීතිඥ තනතුරේ දිවුරුම්දී ඇති චතුර, වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥාපනත නියමාකාරයෙන් ක්‍රියාවේ යොදවා, ශ්‍රී ලංකාවේ වන ජීවී සංරක්ෂණ ප්‍රදේශ සහ වන ජීවීන් සංරක්ෂණය කරන්නට පෙරමුණ ගත් නිලධාරියෙකි. උතුරේ චුණ්ඩිකුලම් ජාතික උද්‍යානය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නිරත වෙමින් තම උපරිම දක්ෂතාවයෙන් කටයුතු කර, වනජීවී ලෝලීන් අතර මහත් ප්‍රකට නිලධාරියකු වන චතුර ගුණරත්න ‘හේරත්ගම’ අඩවිය භාර නිලධාරිවරයා ලෙස තම කාර්ය මණ්ඩලය සමග තම අඩවියට උපරිම සාධාරණත්වයක් කරන ලද නිලධාරියෙක් ලෙස නමක් දිනාගෙන සිටියේය. වයඹ වන ජීවී කලාපයට ගැනෙන විශාලතම වන ජීවී රක්ෂිත කලාපය වන කලාවැව ජාතික උද්‍යානයේ සිට තබ්බෝව-විල්පත්තුව වන ජීවී රක්ෂිත වෙත මාරු වන වන අලින්ගේ ආහාර හා ලැගුම් බිමක් වන කහල්ල-පල්ලෙකැලේ රක්ෂිතයේ පූර්ණ ආරක්ෂාව භාරව සිටි චතුර ගුණරත්න, මෙම රක්ෂිතය අනවසර ඉඩම් ආක්‍රමණිකයින්ගෙන් ගලවා ගන්නට තම ජවය පෙන්වා කටයුතු කළ නිලධාරියෙකි. ඒ වත්මන් රජය බලයට එන්නට පෙර සිටමය.
එනමුත්, වත්මන් රජය බලයට පැමිණීමත් සමග චතුර ගුණරත්න සිදුකරගෙන යමින් පැවැති කහල්ල-පල්ලෙකැලේ අනවසර ඉඩම් නැවත වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අයිතියට පවරාගැනීමේ නීත්‍යනුකූල කටයුතු සඳහා උදව් ලැබෙනු වෙනුවට, විශාල වශයෙන් ඔහුගේ රාජකාරි කටයුතු සඳහා බලපෑම් එල්ලවන්නට පටන්ගත් බව පරිසරවේදීන්ගේ චෝදනාවයි. විශේෂයෙන්ම කහල්ල-පල්ලෙකැලේ අභයභූමිය යටතට ගැනෙන ‘හක්වටුනාව’ ජලාශයේ වට ඉවුරු ප්‍රදේශයේ ඇති ජලාශ පෝෂිත කලාපය විශාල වශයෙන් ගම්මුන් විසින් අල්ලාගෙන සිටීමට එරෙහිව වන ජීවී නිලධාරීන් මෙසේ කටයුතු කිරීම ගැන උරණ වූ මේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම, කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයකු විසින් චතුර ගුණරත්නට එරෙහිව එළිපිටම ‘යුද ප්‍රකාශ කරන්නට’ පටන් ගත් බව පරිසරවේදීන්ගේ නිරීක්ෂණයයි. චතුර විසින් මේ දක්වා මෙසේ අනවසරයෙන් අභය භූමිය සහ හක්වටුනාව වැව් රක්ෂිතය අල්ලාගත් පුද්ගලයින් රැසකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මේ අනීතික ඉඩම් භුක්ති විඳින්නන් අතර අදාළ දේශපාලකයාගේ නෑදෑයින්, හිතවතුන් ද ඇතැයි කියනු ලැබේ. මෙනිසා පසුගිය කාලයේ ‘හේරත්ගම’ වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලය සමග අදාළ නියෝජ්‍ය ඇමැතිවරයාට යම් ඇරියස් එකක් තිබිණි. අඩවි ආරක්ෂක චතුර ගුණරත්න ඔහුගේ උදහසට ලක්ව සිටි පුද්ගලයෙකි.

මෙනිසා චතුර ගුණරත්නව හේරත්ගමින් එළවාගන්නට ඔහු නොගත් උත්සාහයක් නැති බව පරිසරවේදීහු කියා සිටිති. නමුත් අඩවි ආරක්ෂකයා තම කාර්ය මණ්ඩලය ද සමග ‘හක්වටුනාව’ පමණක් නොව, කහල්ල-පල්ලෙකැලේ බේරාගන්නට තම උපරිම හැකියාවෙන් කටයුතු කළේය. නමුත් ඒ සඳහා වන ජීවී සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයෙන් සහ වන ජීවී අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශයෙන් තම අඩවි ආරක්ෂකයා බේරාගන්නට කළ දෙයක් නැත. මේ අතර ලියුම්කරු විසින් ද ඍජුවම පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ දුරකථනයට ඇමතුමක් ලබාගනිමින් හේරත්ගම වන ජීවී අඩවි ආරක්ෂකයාට මුහුණ පාන්නට සිදුව ඇති තත්ත්වය පැහැදිලි කර දුන් අතර, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම ගැන පෙන්වා දුන් නමුත්, ඔහු ද ඉතා හොඳින් ඇහුන්කම් දුන් එම සිද්ධිය අවසානයේ විසඳී ඇත්තේ අඩවි ආරක්ෂකයාට ස්ථාන මාරුවක් ලබාදීමෙන් වීම කනගාටුවට කරුණකි. අප ද බලයට ගෙන එන්නට දර දිය ඇද්ද ආණ්ඩුවක් වර්තමානයේ බලයට පත්ව ඇති නමුත්, මෙවැනි සිද්ධීන් නිසා ආණ්ඩුවේ සායම සේදීයෑමට අමතරව, වන ජීවී සංරක්ෂණයට එය කෙතරම් නරක පූර්වාදර්ශයක්ද වේද යන්න මේ මොහොතේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ සියලු බලධාරීන් තේරුම් ගත යුතුව ඇත.
විශේෂයෙන්ම, අලි-මිනිස් ගැටුම උග්‍ර වයඹ වන ජීවී කලාපයේ එම ගැටුම අවම කරගැනීමට ඇති ප්‍රධාන විසඳුමක් වන්නේ අනවසර ඉඩම් අල්ලා ගැනීම්, අනවසර විදුලි වැට යොදා අලි සංක්‍රමණික මාර්ග අවහිර කිරීම සහ අනවසර සංවර්ධන ව්‍යාපෘති නවත්වා දැමීම යනාදියයි. එම තත්ත්වය අවම කරන්නට හැකි උපරිම රාජකාරි ඉටුකිරීමක් හේරත්ගම අඩවි ආරක්ෂකයා විසින් ඉටුකරන ලද අයුරු අපි ද ඉතා හොඳින් නිරීක්ෂණය කර ඇත්තෙමු. මෙම නිලධාරී-නියෝජ්‍ය අමාත්‍ය ගැටුම උග්‍රවීමත් සමග අප ද මාධ්‍ය කණ්ඩායමක් ලෙස දිනක් පොල්පිතිගම, හේරත්ගම, හක්වටුනාව, කහල්ල, පල්ලෙකැලේ ප්‍රදේශවල සංචාරය කරන ලද අතර, අනවසර රාජ්‍ය ඉඩම් කොල්ලකෑම බලන්නට වන අලින්ගේ නිජබිමක් ලෙස ප්‍රකට ‘හක්වටුනා ජලාශයේ’ ද සංචාරයකට එක්වන්නට අපි ක්‍රියා කළේමු. හක්වටුනාවේ වැවට ප්‍රවේශ මාර්ගය ඇති වැව් තාවුල්ල දක්වා යන මාර්ග දිගේ පමණක් නොව, වැව පිරෙන ඉස්මත්ත දක්වා මොනතරම් වැව් රක්ෂිත ඉඩම් ප්‍රමාණයක් මිනිස් ග්‍රහණයට ලක්ව ඇත්දැයි මෙහිදී අපට නිරීක්ෂණය කරන්නට හැකි විය. මේ සියලු සීමාවන් ජලාශ සීමාව වුවත්, අද වන විට මේ (රජයේ සහ අභයභූමියේ) ඉඩම් තුළ සරුසාර පොල් වගාවන් පවා ඇතිකර, ඒ වටා අලි වැට ද ඉදිකර අලි සංක්‍රමණික මාර්ග මුළුමනින්ම අවහිර කර ඇත.

එසේම, හක්වටුනාවේ ධීවර කර්මාන්තයේ නියුතු ධීවරයින්ගේ ඔරුවල නැගී අප පල්ලෙකැලේ ඉසව්ව දක්වා වැවේ ගමන් ගත් අතර, එහිදී අප දුටුවේ වැව් තලයට ආසන්නය දක්වා පල්ලෙකැලේ ප්‍රදේශයෙන්ද ඉඩම් අල්ලා නීති විරෝධී කෙසෙල් කොටු පවත්වාගෙන යන බවයි. එවැනි විටෙක වන අලි- මිනිස් ගැටුම් ඇතිවීම අරුමයක් නොවේ. අලි වෙඩි තබා, උගුල් අටවා මරාදැමීම අරුමයක් නොවේ. මේවා නවතා දමන තෙක් මෙරටේ අලි-මිනිස් ගැටුම නොනවතින බව පහේ පන්තියේ දරුවන්ටත් තේරුම් කර දිය හැක. ඒ නමුත් මේවා දකින්නට ප්‍රදේශයම නියෝජනය කරන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා, පරිසර (වන ජීවී) ඇමැතිවරයා වැනි අය අප මෙන් මෙම ප්‍රදේශයට නොයෑම මෙවන් ප්‍රශ්න ඔඩු දුවන්නට හේතු තිබේ. ඔවුන් එහි නිරීක්ෂණ කරන්නට යන්නේ නම් මේවා ඉතා හොඳින් තේරුම් ගනු ඇත. එහෙත්, මේවා රකින ආණ්ඩුවේම මිනිසුන්ටවත් තම රාජකාරිය කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේම ඇමැතිවරු තඩි බාන්නේ නම්, ස්ථාන මාරු දෙන්නේ නම්, ‘වැටත්-නියරත් ගොයක් කා නම් කාට කියන්නද ඒ අමාරුව’ කියන්නා සේ අපට සිදුවන්නේ උඩ බලාගෙන සිටින්නට ය. මෙනිසා අප පරිසර අමාත්‍යවරයා ඇතුළු, ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින්නේ ‘හේරත්ගම’ ප්‍රශ්නය විසඳන ලෙස ය. චතුර ගුණරත්න නොව, මොන අඩවි ආරක්ෂකයා ආවත් එතැන රාජකාරිය කරන්නට ඉඩ නොදෙන්නේ නම්, ‘හේරත්ගම’ වන ජීවී අඩවිය පොතෙන්ම අයින් කර, එම අඩවි ආරක්ෂක කාර්යාලය ද වසා දමන ලෙස අප ඉල්ලා සිටින්නට කැමතිය.

කෙසේ හෝ මේ වනවිට චතුර ගුණරත්න මහතා තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව රාජ්‍ය සේවා කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇත. එසේම ඔහුගේ සේවා මාරුවට එරෙහිව 22 වැනිදා බත්තරමුල්ලේ පිහිටි වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට එක්වූ පරිසරවේදීහු පිරිසක් මෙසේ වනජීවී නිලධාරීන්ට එරෙහිව සිදුකරන ‘දඩයම් කිරීම’ නවතා දමන ලෙස ඉල්ලමින් සාමකාමී විරෝධතාවක් සිදු කළහ.
පරිසර ක්ෂේත්‍රය උණුසුම් කළ තවත් සිදුවීම් දෙකක් වන්නේ දශකයක් පමණ තිස්සේ ඇදි-ඇදි පැවති කැලෑවලින් හොරෙන් අලි පැටවුන් අල්ලා ගැනීමේ සිද්ධියට එක් තීරණාත්මක විසඳුමක් අධිකරණයෙන් ලබාදීමයි. එනම්, බොහෝ විට මව මරාදමා හෝ මව පලවා හැර පැහැර ගන්නා ලද අලි පැටවුන් 38 කට ආසන්න ප්‍රමාණයක් මේ බෞද්ධ යැයි කියන සමාජයේ මුදලට විකිණී ඇති අතර, රාජ්‍ය සම්පත් අයථා භාවිතය යන වරදට ගැනෙන මෙම අලි සොරකමට යම් සාධාරණයක් ඉටු වෙමින් අධිකරණය මගින් තීන්දුවක් ලැබීම ඒ සම්බන්ධයෙන් මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ සංරක්ෂණ නිලධාරීන්, පරිසරවේදීන් අමන්දානන්දයට පත්වූ තීන්දුවකි. එනම්, මෙම අලි පැටවුන් සොරාගැනීම සහ විකිණීම යන ජාවාරමට සම්බන්ධ බවට නමක් දරාගෙන සිටි ‘අලි රොෂාන්’ නමැත්තාට වසර 15 ක සිරදඬුවම් නියමවීම සහ දණ්ඩනයට යටත් වීමය. ඒ ගැන වෙනම ලිපියක් පළවන බැවින් වැඩි විස්තර මෙහි කතා කරන්නට යන්නේ නැත.

අනතුරුව අපට කතා කරන්නට ඇත්තේ 2021 වසරේ දිනෙක ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගෙන විනාශ වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නමැති සිංගප්පූරු රසායනික පිරවූ නෞකාවෙන් හානියට පත් ශ්‍රී ලංකාවේ පරිසරයට වන්දි ගෙවීමේ අධිකරණ තීන්දුවයි. මෙම නෞකා හානිය සඳහා රජයේ නීතිපතිවරයා විසින් නඩුවක් පවරන ලද්දේ ශ්‍රී ලංකා අධිකරණයේ නොවේ. මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම සිද්ධියට අදාළ නැව් සමාගමට එරෙහිව නඩු පවරන ලද්දේ සිංගප්පූරු අධිකරණයක් හමුවේ ය. එය තනිකරම ප්‍රතිඵල රහිත ක්‍රියාවලියකි. එනම්, එම ක්‍රියාමාර්ග තුළින් හිටපු රජයේ දෙබිඩි පිළිවෙත නිරාවරණය වූ අතර, මේ මගින් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හානියට සැබෑ වන්දියක් ලබාගැනීම එහිදී නොසලකා හරින ලදී. එනමුත්, මෙම සිද්ධියේ සැබෑ ස්වරූපය තේරුම්ගත් ‘පරිසර යුක්ති කේන්ද්‍රය – Center For Environment Justice’ නැවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ නඩු ගොනු කළේය.
එම නඩුව තවදුරටත් ඇසෙමින් පවතින අතර අතුරු නියෝගයක් ලෙස මීට මසකට පමණ ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අදාළ නැව් සමාගමට නියෝග කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසටය. ඒ සඳහා කාල රාමුවක් ද අධිකරණය විසින් ලබාදෙන ලද අතර, එම වන්දිය වාරික 4 ක් ලෙස ගෙවන්නටත්, ඉකුත් සැප්තැම්බර් 23 දා වන විට ඉන් හතරෙන් එකක්, එනම් ඩොලර් මිලියන 250 ක් ගෙවීමට නියෝග ලබා තිබිණි. මෙම දිනය ඉකුත් වන්නට දිනයක් තිබියදී, එනම් සැප්තැම්බර් 22 වැනිදා අදාළ එම්.වී. එකස්ප්‍රස් පර්ල් නැව් සමාගමේ දේශීය නියෝජිත ‘සී කොන්සොර්ටියම් ලංකා’ නමැති සමාගම අධිකරණයට දන්වා ඇත්තේ, මෙම අවස්ථාවේ තම සමාගමට ඩොලර් මිලියන 250 ක් ගෙවීමට වත්කමක් නොමැති බැවින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවන බවයි. එසේ ගෙවන ලද බවට අදාළ ශ්‍රී ලංකා සමාගම ලිඛිත සාක්ෂි නඩුව ක්‍රියාත්මක කරන ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ වෙත පැමිණ භාරදී ඇත. එහි සභාපති සහ Friends of the earth ජාත්‍යන්තරයේ සභාපති හේමන්ත විතානගේ මහතා සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ නීති කටයුතු භාරව කටයුතු කරන නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මේ බව සනාථ කළේය.

එසේ හෙයින් මෙම වන්දි මුදල් ගෙවීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇතිවී තිබේ. මේ අතර අදාළ මව් සමාගම මෙම වන්දි මුදල නොගෙවන බවට ප්‍රකාශයක් දී ඇති බවට වාර්තා පළවේ. ඒ ශ්‍රී ලංකා රජය සමුද්‍ර රක්ෂණ කටයුතු සඳහා අන්තර්ජාතික නීතියට බැඳී නොසිටි තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අදාළ සමාගමට තම කනස්සල්ල පළකර ඇති බව වාර්තා වේ. කෙසේ හෝ මේ බොහෝ තැන්වලදී අපට දකින්නට ඇත්තේ නිලධාරීන්ගේ, අදාළ ආයතනවල සහ දේශපාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා රට වැටී ඇති ප්‍රපාතයක තරමය.
ජගත් කණහැරආරච්චි
Saru FM Media