ලෝකයේ ඉදිරි පැවැත්ම මිනිසා සහ සෙසු ජීවීන්ට සුදුසු තත්ත්වයක පවත්වා ගැනීම පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයක් දැනට ලෝකය පසුකරමින් පවතියි. දැනට සියවස් දෙකකට ඉහත දී ලෝකය මුහුණ දුන් කාර්මික විප්ලවය හා එයින් පසුපස පැමිණි මානව දියුණුව මිනිසා ළඟාකරගත්තේ ජීවයේ තිරසාර පැවැත්ම ප්‍රශ්න කෙරෙන දේශගුණයේ විපර්යාසයේ අඳුරු සෙවනැලි තුළිනි. කාර්මික දියුණුව ළඟා කර ගැනීම සඳහා බලශක්ති ප්‍රභවයක් ලෙස ගල් අඟුරු හා ඛනිජ තෙල් වැනි පොසිල ඉන්ධන දහනය කිරීමට අවශ්‍ය වූ අතර මෙහි අතුරු ප්‍රතිපල වූයේ කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් හරිතාගාර වායූන් ප්‍රතිශතය වායුගෝලය තුළ ක්‍රම ක්‍රමයෙන් ඉහළ යෑමයි. කාර්මික විප්ලවයට පෙර 280 ppm මට්ටමේ පැවැති වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වර්තමානයේදී 425 ppm අගය පසුකර ඇත. හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම හරහා හරිතාගාර ආචරණය නමැති ක්‍රියාවලිය මගින් වායුගෝලය ද එයට ප්‍රතිචාර දක්වන්නට විය. එහි ප්‍රතිඵල වූයේ ලෝකයේ වායුගෝලීය උෂ්ණත්වය සියවස් දෙකකට පෙර පැවැති ප්‍රමාණයට වඩා 1.3oC ප්‍රමාණයකින් ඉහළ යාමයි. 1.3oC පරිසර උෂ්ණත්වය ඉහළ යෑම අපට සාමාන්‍ය වෙනසක් ලෙස දැනුනද පරිසර උෂ්ණත්වයට ඉතා සංවේදී කාලගුණ හා දේශගුණික රටා මෙයට ප්‍රතිචාර දක්වන්නේ ඉතාමත්ම වෙනස් ආකාරයකිනි. සංවහන සුළං රටා ඇතිවීම, ඒවා ගමන් කරන දිශාවන්, වායු ගෝලීය පීඩන කලාප ඇතිවීම යනාදී කරුණු ගොඩබිම හා සාගරය උණුසුම වෙනස්වීම මත රඳා පවතී. මෙම උණුසුම වෙනස්වීමට අනුකූලව ප්‍රාදේශීය කාලගුණ හා දේශගුණ රටාවල ද වෙනස්කම් ඇතිවේ. මේ ආකාරයට වසර දසදහස් ගණනාවක් සමතුලිතව පැවති දේශගුණික රටාවන් කුඩා උෂ්ණත්ව වෙනසක් නිසා අසමතුලිත තත්ත්වයට පත්වේ. මෙම වෙනස අප හඳුන්වන්නේ දේශගුණ විපර්යාසය ලෙසයි.
දේශගුණ විපර්යාසය සඳහා වන ජගත් සම්මුතිය
මෙලෙස දේශගුණයේ සිදුවන විපර්යාසයන් හඳුනාගත් විද්‍යාඥයන් මෙම තත්ත්වය පෘථිවියේ අනාගතයට දැක්විය හැකි බලපෑම පිළිබඳ පර්යේෂණ කිරීමේ හා ඒ පිළිබඳ කතිකාවතක් ගොඩනැංවීමේ ප්‍රතිපලයක් ලෙස නිසා දේශගුණ විපර්යාසය පිළිබඳ රාජ්‍ය නායකයින්ගේ අවධානයද යොමුවිය. එහි ප්‍රතිඵලය වූයේ 1992දී බ්‍රසීලයේ රියෝ දි ජැනීරෝ නගරයේදී රටවල් 179 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වය ඇතිව මෙතෙක් පවත්වන ලද විශාලම පරිසර සමුළුව වන මිහිතල සමුළුව (Earth summit) පැවැත්වීමයි. ලෝකයේ පරිසරය පිළිබඳ ඉදිරි ගමනේ දිශානතිය වෙනස් කළ මෙම සමුළුවේ එක් වැදගත් ප්‍රතිඵලයක් වූයේ දේශගුණ විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිඵල අවම කිරීම සඳහා රාජ්‍ය නායකයින් එකඟ වීම හා ඒ සඳහා ක්‍රියාත්මක වීම සඳහා UNFCCC (United Nations Framework Convention on Climate Change) හෙවත් දේශගුණික විපර්යාසය සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය අත්සන් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් ඇති කර ගැනීමයි. මෙම සමුළුවෙන් අනතුරුව දේශගුණික විපර්යාසයන්ට තුඩුදෙන හේතු අවම කිරීම සඳහා විවිධ රටවලින් ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා වරින්වර පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා හෙවත් Convention Of Parties (COP) සමුළු පවත්වන ලදී.
මේ ආකාරයට 2015 වසරේදී රටවල් 125ක සහභාගිත්වයෙන් පැරිස් නගරයේදී පැවැති COP 21 සමුළුවේදී විශේෂිත එකඟතාවන් රාශියක් සහිත පැරිස් ගිවිසුම අත්සන් කරන ලදී. නෛතික වලංගු බවකින් යුක්ත සහ වගකිවයුතු ගිවිසුමක් වූ මෙම ගිවිසුමේ එකඟතා අතර මූලික වශයෙන් කාර්මිකකරණයට පෙර පැවැති උෂ්ණත්ව අගයට වඩා 1.5o C උෂ්ණත්ව වැඩි වීමක් හා උපරිම ලෙස 2o C සීමාව තුළ ගෝලීය උෂ්ණත්ව වැඩිවීම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගැනීමට සහභාගි වූ රටවල් එකඟ විය. මෙම සීමාවන් තුළ උෂ්ණත්ව පාලනය කිරීම සඳහා රටවල්වල හරිතාගාර වායූන් විමෝචනය වන ක්ෂේත්‍ර වන බලශක්තිය, ප්‍රවාහනය, ඉඩම් පරිහරණ හා වනාන්තර, කර්මාන්ත, වාරිමාර්ග, ජල හා සාගර, සෞඛ්‍ය සහ වෙනත් ක්ෂේත්රවලින් සිදුවන වායු විමෝචනයන් හඳුනාගෙන ඒවා ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා සැලසුම් සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීමට එකඟ වන ලදි. මීට අමතරව දියුණුවෙමින් පවතින රටවල්වල දේශගුණික විපර්යාසයන් හරහා ඇතිවන අයහපත් තත්ත්වයන්ට අනුගත වීම සහ අදාළ වෙනස්කම් කිරීමට දියුණු රටවල්වලින් මූල්‍යමය සහ තාක්ෂණික සහාය ලබාගැනීමට ද එකඟ විය. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීම සඳහා සෑම රටකින්ම විවිධ ක්ෂේත්‍ර සඳහා නිශ්චිත සැලසුම් සකස් කර එම ක්ෂේත්‍ර සඳහා සපුරාගත හැකි ඉලක්ක ලබාදීමට ද වසර පහකට වරක් එම ඉලක්ක සමාලෝචනය කර ඉලක්ක සපුරා ගැනීම තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගිවිසුම හරහා එකඟතාව ඇති කරගන්නා ලදී. සෑම රටක්ම තමුන්ගේ ස්වයං සැලැස්මක් යටතේ ඉදිරිපත් කරන මෙම ඉලක්කයන් Nationally Determind Controlutions (NDC) හෙවත් ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් ලෙස හැඳින්වේ.
NDC ඉලක්කයන් සහ ලබා ඇති යථාර්ථයන්
ගෝලීය උණුසුම කාර්මිකකරණය කලින් පැවති අගයට වඩා 1.5o C අගයකින් පාලනය කිරීම යනු ළඟා කර ගැනීමට ඉතා අසීරු දැඩි උපේක්ෂා සහගත ඉලක්කයක් බවට දැනටත් බිය පහළ කරනු ලබයි. එයට හේතුව වන්නේ මේ අවස්ථාව වන විටත් ගෝලීය උෂ්ණත්වය 1.3o C ප්‍රමාණයකින් ඉහළ අගයක් වාර්තා කර තිබීමයි. පැරිස් සමුළුවේ දෙවෙනි ඉලක්කය වන 2o C ප්‍රමාණයකින් උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීම සඳහා ද රටවල් ඉතාමත් ඉහළ කැප කිරීමකින් කටයුතු කළ යුතු වේ. ලෝකයේ රටවල්වල NDC ඉලක්කයන්වල වර්තමාන ප්‍රගතිය නිරතුරු පසු විපරම් කරන ආයතනයක් වන Climate Action Tracker සිය නවතම වාර්තාව COP 30 සමුළුව ඉලක්ක කර ගනිමින් පසුගියදා එළිදක්වනු ලැබීය. දේශගුණ විපර්යාසය අවම කිරීමේ දැනට ප්‍රගතිය පිළිබඳ මෙම වාර්තාවේ සඳහන් කරුණු ඉතාමත් කනස්සල්ල දනවනසුලු බව මෙහිදී කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි.
ලෝකයේ දේශගුණික වෙනස්වීම අවම කිරීම සඳහා උපරිම උෂ්ණත්ව වෙනස ලෙස 2o C හඳුනාගෙන තිබුණද 2015 පැරිස් සමුළුවේදී රටවල් විසින් ඉදිරිපත් කර තිබූ NDC ඉලක්ක අනුව කටයුතු කිරීමේදී ළඟා කර ගත හැකිවන්නේ 2.6o C උෂ්ණත්ව වෙනසක් කරා යන ගමන් මාර්ගයක් පමණි. මීළඟ NDC ඉලක්ක හරහා මෙම ගමන් මාර්ගයේ වෙනසක් එනම් 2.6 සිට 2.0 දක්වා අවම කිරීමක් සඳහා විවිධ රටවල් දැඩි ක්‍රියාමාර්ග ගතයුතුව තිබුණද 2025 වන විටත් තත්ත්වයේ කිසිදු වෙනසක් වී නැත.
පැරිස් ගිවිසුමෙන් පසු මුල් වසර පහ තුළදී ලබාදුන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී රටවල් විශාල ප්‍රගතියක් පෙන්නුවද දෙවෙනි වසර පහ තුළදී ලබාගත් ප්රගතියේ විශාල පසුබෑමක් ඇතිවී ඇතිබව මෙම වාර්තාව පෙන්වා දෙනු ලබයි. මෙය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්ත්වයක් සහ ළඟාවිය යුතු ඉලක්කයෙන් පැහැදිලි අපගමනය වීමකි. ඒ අනුව දැනට පවතින තත්ත්වය මත ලෝකය අපේක්ෂා සහගතව සිටි සෙල්සියස් අංශක දෙකක පාලනයක් වෙනුවට 2.6o C උෂ්ණත්ව වෙනසක් කරා ලෝකය ගමන් ගන්නා බවට Climate Action Tracker වාර්තාව පෙන්වා දෙනවා. මෙහි භයානක තත්ත්වය වන්නේ 2.6 o C උෂ්ණත්ව වෙනසක් යනු ලෝකයේ පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳවැට්ටුව හැකි ප්‍රධාන ලක්ෂයක් හෙවත් tipping point බවට විද්‍යාඥයින් කරන අනතුරු ඇඟවීමයි.
ඉදිරි දශක ගණනාව තුළ ලෝකය මෙම උෂ්ණත්ව වැඩිවීම යනු දැනටමත් අපි අත්විඳින ඉතාමත් අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ තවත් තීව්‍රවීමක් බවට අමුතුවෙන් කිව යුතු නැත. නොවැම්බර් මාසයේ මුලදී එක සතියක් තුළ එකා පසුපිට එකා ලෙස දැඩිව හමා ආ Fung wong හා Kalmaegi යන ටයිපූන් කුණාටු දෙකකින් පිලිපීනයක් බැට කෑවා මෙන්ම 240 කට අධික ජීවිත හානි හා බිලියන ගණනක දේපළ හානියකට මුහුණ දෙනු ලැබුවා. සමකය ආසන්න කලාපවල මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකිය.
ලොව දේශගුණයට වඩාත්ම බලපෑම් කළ හැකි අත්ලාන්තික් නිවර්තන සමුද්‍ර ජල ප්රවාහයේ බිඳවැටීම මිනිසාට විශාල හානියක් ගෙනදිය හැකි තවත් වැදගත් ගැටලුවකි. ගෝලීය උෂ්ණත්ව ඉහළයෑම හරහා සිදුවිය හැකි බිඳවැටීම්වලින් ඔබ වඩාත්ම බිය වන්නේ කවර බිඳවැටීමටද යන ප්රශ්නය විද්‍යාඥයින්ට යොමු කළවිට ඔවුන් ලබාදෙන පිළිතුරෙහි අත්ලාන්තික් නිවර්තන සමුද්‍ර ජල ප්රවාහයේ බිඳවැටීම ඉහළින්ම අඩංගු වේ. අත්ලාන්තික් නිවර්තන සමුද්‍ර ජල ප්‍රවාහය හෙවත් AMOC (Atlantic Meridian Overturning Currents) ලෙස හඳුන්වන්නේ මුළු ලෝකයේම කාලගුණ නියාමනයට වැදගත්වන සමුද්‍ර ජල ප්‍රවාහ පද්ධතියකි. මෙය ශීත කලාපයේ සිසිල සමකාසන්න ප්‍රදේශයට රැගෙන එන හා සමකාසන්න ප්‍රදේශවල උණුසුම ධ්‍රැවාසන්න ශීත ප්‍රදේශවලට රැගෙන ගොස් ලෝකයේ උණුසුම හා සිසිල බෙදාහරිමින් නියාමනය කරන ප්‍රධාන සමුද්‍ර ජලවහන ධාරාවකි. ලෝක උණුසුම වැඩිවීම නිසා සීත හා උණුසුම් සමුද්‍ර ජලයෙහි උෂ්ණත්ව අන්තරය අඩුවීම හේතුකොටගෙන මෙම සමුද්‍ර ප්‍රවාහය ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නතර විය හැකිය. මෙය ඉතා දරුණු පුරෝකථනයකි.
අපට දැනෙන පරිදි කිවහොත් මෙම සමුද්‍ර ධාරාවට ආශ්‍රිතව සිදුවෙන කුඩා වෙනසක් පවා ලෝකයටම දැඩි ලෙස බලපෑම් ගෙනදේ. කලකට වරක් ස්වාභාවිකව සිදුවන සමුද්‍ර ධාරාවේ වෙනස නිසා ඇතිවන තත්ත්වයන් අපි හඳුනාගන්නේ එල්නිනෝ හා ලා නිනා තත්ත්වයන් ලෙසය. අත්ලාන්තික් සමුද්‍ර ජල ප්රවාහයේ සිදුවන වෙනස ශ්‍රී ලංකාවේ වර්ෂාවට හා නියං තත්ත්වයන් ඇතිකිරීමට බලපානු ලබයි. මෙවැනි තත්ත්වයක මෙම සමුද්‍ර ප්‍රවාහය සම්පූර්ණ බිඳවැටීම යනු මුළු ලෝකයේම කාලගුණික දේශගුණික තත්වවල දැවැන්ත වෙනසක් ඇති කිරීමට හේතු විය හැක. මේ නිසා සමකය ආසන්න ප්‍රදේශවල දරුණු සුළි කුණාටු, නියඟය තත්ත්වයන් මෙන්ම උතුරු අර්ධගෝලය ආශ්‍රිතව දැඩි සීතල තත්ත්වයන් ඇතිවීමේ හැකියාව වැඩිවිය හැකිය. සීත ඍතුවේදී ආක්ටික් අයිස් පැතිරීම යුරෝපයේ රටවල් විශාල ප්‍රමාණයක් ගිලගනු ඇතිය. වගාවන් විනාශ වනු ඇත. ග්‍රීස්ම ඍතුවේදී ධ්‍රැවීය ප්‍රදේශවල අයිස් දියවීම, උණුසුම් සාගර ජලය නිසා සමකය ආසන්න සියලුම කොරල්පර විනාශ වීම හා ඒ සමග සාගර මත්ස්‍ය සම්පත් අඩුවීම මෙන්ම තවත් දැවැන්ත පරිසර හානි රැසක් පිළිබඳව දැඩි ලෙස අනතුරු අගවනු ලබයි. ලෝකයේ පෙනහැල්ල ලෙස සැලකෙන ගොඩබිම ඔක්සිජන් විශාලම ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන ඇමසන් වනාන්තරය මේ උෂ්ණත්ව වෙනස් වීම හරහා සැවානා පතන් බිමක් බවට පත්විය හැකි බවට කෙරෙන පුරෝකථනයත් ඉතාම දරුණුයි.
තත්ත්වය මේ ආකාරයට පැවතියහොත් තවත් දශක කීපයකින් යුරෝපයේ කෘෂිකාර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටිය හැකි බවට, ආසියාවේ සහ අප්‍රිකාවේ කෘෂිකර්මය දැවැන්ත නියං හා මෝසම් වැසි තත්ත්වයන්ට මුහුණ දී විනාශ විය හැකි බවටද, ඉහළ උණුසුමෙන් හා ආර්ද්‍රතාවයෙන් මිනිස් සෞඛ්‍යයට හා ජීවිතවලට දැඩි හානි ඇති විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු හඟවති.
මෙවැනි මහත්වූ ව්‍යසනයන්ගෙන් ආරක්ෂාවීම සඳහා දැඩි විනයකින් යුතුව NDC ඉලක්ක ක්‍රියාත්මක කිරීම යුගයේ දැවැන්තම අවශ්‍යතාවයකි. බ්‍රසීලයේ බෙලෙම් නගරයේදී මෙම 21 දක්වා පැවැත්වෙන COP 30 සමුළුවෙහි මෙම NDC ඉලක්ක සමාලෝචනය කිරීම වැදගත් අංගයක් කොට සලකනු ලබයි. අපේක්ෂිත NDC ඉලක්ක සපුරා ගැනීම දුර්වල මට්ටමක පවතින තත්ත්වයක, ලොව ප්‍රධාන හරිතාගාර වායු විමෝචකයකු වන ඇමරිකාව තම සංවර්ධනයට මෙම NDC ඉලක්කයන් බාධාවක් ලෙස සලකා පැරිස් සම්මුතියෙන් ඉවත් වීම සහ COP 30 සමුළුව වර්ජනය කිරීම, දියුණුවන රටවල් NDC ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය සපයා ගැනීමේ ක්‍රමවේද සෙවීම, ඛනිජ තෙල් සමාගම් සිය වෙළඳාම ආරක්ෂා කරගැනීමට කරන අතපෙවීම් වැනි කරුණු හරහා මෙවර COP 30 සමුළුව විශාල කඹ ඇදීම් මධ්‍යයේ පැවැත්වෙන සමුළුවක් බවට පත්ව ඇත. මෙවැනි පසුබිමක ධනය හා බලය සඳහා කෙරෙන බල අරගලවල කඹ ඇදිල්ලට හසු නොවී සැබැවින්ම හරිතාගාර වායු විමෝචනය අඩුකර මිනිසාට ජීවත් විය හැකි මහ පොළොවක් ඉතුරු කිරීමට හැකි වඩා යහපත් තීරණ මෙම සමුළුවේදී ගැනීමට හැකි වේවා යන්න මුළුමහත් ලෝකවාසී ජනතාවගේ පැතුම වී තිබෙනවා. එය කොතරම් දුරට සඵල වේද යන්න දැන ගැනීමට සමුළුවේ දෙවන සතියත් අවසන් වන තුරු අපට බලා සිටීමට සිදුවනවා.
ෆස්ලි මොහමඩ්
වැඩසටහන් කළමනාකරු
ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය
Saru FM Media









