ෆයිබර්, ප්‍රෝටීන්, කැලරි සහ කාර්බ් වලින් සංතෘප්ත වන දෙළුම් අතීතයේ ඉඳලම ශ්‍රී ලාංකීය අපේ අතුරුපස සංස්කෘතියට නුපුරුදු පළතුරක් නෙමෙයි.
රුධිර පීඩනය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන්න, බැක්ටීරියා සහ වෛරස් ආසාදන වලට එරෙහිව සටන් කරන්න, මතක ශක්තිය වර්ධනය කරන්න වගේම දියවැඩියාව ඇතිවීමේ අවධානම අඩු කරන්න දෙළුම් වල ඇති මේ පෝෂ්‍ය පදාර්ථ වලින් ලැබෙන්න හොඳ උදව්වක්.
ඉතිං රස වගේම ගුණෙනුත් අනූන දෙළුම් ගෙඩියක් ප්‍රතික්ෂේප කරන්න කවුද කැමති ?
අපි දෙළුම් ගෙඩියෙ ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නෙ දෙළුම් ඇට විතරයිනෙ. ඔබ නොදැනුවත්වම ඉවත දාන දෙළුම් පොතු වලත් මේ හා සමානම ගුණ රාශියක් තියෙනව කියල ඔබ දැනන් හිටියද?
ඔන්න එහෙනම් ඒ ගැන හරිම වැදගත් කරුණු ටිකක් ඔබ එක්ක බෙදාගන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. අපි ඉවත දමන දෙළුම් පොතු භාවිතයට ගන්න පුළුවන් විදිහට සකස ගන්නෙ කොහොමද කියලත් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙන නිසා ලිපිය අවසානය වෙනකම්ම කියවන්න කියලත් අපි ඔබට ආරාධනා කරනවා.
දෙළුම් පොතු වල ඉතාම ප්‍රභල ප්‍රතිඔක්සිකාරක සහ පොලිෆෙනෝල් අඩංගු වෙනවා. ඒවා සමේ කුරුළෑ වලින් ඇතිවෙන අඳුරු ලප කැළැල් ඉවත් කර දීප්තිමත් සහ පැහැදිලි සමක් ලබාදෙන්න උපකාර කරනවා.
මීට අමතරව පාරජම්බුල කිරණ මඟින් සමට ඇතිවෙන හානිය යථා තත්වයට පත්කරන්න වගේම වයස්ගත වීමේදී සමේ ඇතිවෙන වෙනස්වීම් පාලනය කරන්නත් උදව් වෙනවා.
පර්යේෂණ මඟින් හෙළිවී ඇති ආකාරයට දොඩම් පොතු අධික බර සහ තරබාරු පුද්ගලයන්ගේ රුධිරගත කොලෙස්ට්‍රෝල් සහ සීනි මට්ටම අඩු කිරීම සඳහා ප්‍රභල දායකත්වයක් ලබාදෙන අතරම හෘද රෝග සහ දියවැඩියාව ඇතිවීමේ අවධානමත් අඩු කරනවා.
දෙළුම් ප්‍රතිඔක්සිකාරක බලාගාරයක් කියලත් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න වගේම ඇල්සයිමර් වැනි රෝග තත්වයන් ඇතිවීම පාලනය කරන්නත්
එම රෝග වලින් සිදුවන බලපෑම අවම කරන්නත් උපකාරී වෙනවා.
දෙළුම් පොතු වල සාරය මුඛය සේදීමට වගේම දන්තාලේප සඳහාත් භාවිතා කරනවා. දත්වල මැළියම් බැඳීම, දත් දිරායාම වළක්වමින් දත් ශක්තිමත් කරන්නත්, දෙළුම් පොතු වල ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ ගුණ මුඛයේ සහ විදුරුමස් වල ඇතිවන තුවාල ඉක්මණින් සුව කරන්නත් උපකාරී වෙනවා.
ටැනින්, පොලිෆෙනෝල් සහ ෆ්ලේවනොයිඩ්ශරීරයට ඇතුළු අත්‍යාවශ්‍ය ඛණිජ සහ පෝෂ්‍ය පදාර්ථ වලින් සංතෘප්ත දෙළුම් පොතු අස්ථි ශක්තිමත් කිරීමටත් නව අස්ථි පටක ඇති කිරීමටත් ලබාදෙන්නෙ හොඳ උදව්වක්.
ඊට අමතරව, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට ඇතිවන ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳීම ඇතිවීමේ අවධානම අඩු කරන්නත් උපකාරී වෙනවා.
අහිතකර හිරු කිරණ සහ වායූන් වලට නිරාවරණය වීම නිසා වයසට වඩා වයස්ගත ලක්ෂණ ඔබේ සමේ ඇතිවෙන්න පුළුවන්.
පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට දෙළුම් පොතු සාරය මඟින් සමේ කොලැජන් බිඳ දමන එන්සයිම වලට එරෙහිව සටන් කරමින් සමේ නව කොලැජන් සංශ්ලේෂණය වැඩිදියුණු කරන අතරම නව සෛල ඇතිකිරීමටද උපකාරී වෙනවා.
මේ නිසා සමේ ඇතිවෙන රැළි සහ සියුම් රේඛා මැකීයාම සිදුවෙනවා.
හොඳයි, දැන් අපි බලමු මේ සියළුම ප්‍රතිඵල ලබාදෙන්න උපකාරී වෙන දෙළුම් පොතු භාවිතයට ගන්න පුළුවන් විදිහට සකසගන්නෙ කොහොමද කියල.
මුලින්ම ඔබ දෙළුම් පොතු ඇට ඉවත්කර වෙන්කරගන්න ඕන.
ඊළඟට එය භාජනයකට දමා කෙළින්ම හිරු එළිය වැටෙන විඳිහට ජනේලයක් අසල දින තුනක් පමණ තබන්න අවශ්‍යයි.
දෙළුම් පොතු සම්පූර්ණයෙන් වියළෙන තුරු තබාගන්න අවශ්‍යයි. මේ සඳහා සමහරවිට දින තුනකට වඩා ගත්වෙන්නත් පුළුවන්.
ඊළඟට, වියළාගත් දෙළුම් පොතු බ්ලෙන්ඩරයට දමා හොඳින් කුඩුවෙන විදිහට කුඩුකරගන්න ඕන.
හොඳින් සෝදා වතුර ඉවත්කරගත් වීදුරු බෝතලයක කාමර ඌෂ්ණත්වයේ දෙළුම් පොතු කුඩු ගබඩා කර තබාගන්න පුළුවන්.
දෙළුම් ලෙලි කුඩු තේ හැන්දක් උණු වතුරට දමා ඉඟුරු ස්වල්පයක් එකතු කර විනාඩි කිහිපයක් වසා හොඳින් තම්බා ගන්න.
ඉන්පසු එම මිශ්‍රණය පෙරා, කැමති නම්, මී පැණි එකතු කර නැවුම් ඖෂධීය තේ කෝප්පයක් රස විඳින්න ඔබට පුළුවන්.
දෙළුම් කුඩු සමඟ වතුර එක්කර සාදාගත් මිශ්‍රණයක් ඔබේ සමේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හැරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
වැඩිහිටියන් සඳහා දෙළුම් කුඩු මේ ආකාරයට භාවිතා කිරීමෙන් වුණු සෞඛ්‍ය හානී තාමත් වාර්තා වෙලා නැතිවුනත් ශරීරයට බාහිරින් නුපුරුදු දෙයක් ගැනීමේදී අනවශ්‍ය අවධානමක් නොගැනීම යහපත් නිසා දෙළුම් කුඩු පානය කරන්න කලින් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී ඒ ගැන උපදෙස් ගැනීම සුදුසුයි කියලත් අපි මතක් කරන්න කැමතියි.
විශේෂයෙන්ම, ඔබ ගර්භණී කාන්තාවක් නම්, විවිධ රෝගාබාධ සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න හෝ ආසාත්මිකතා සහිත පුද්ගලයෙකු නම් එය අනිවාර්යයි.
සටහන – දුලානි නවෝද්‍යා
Saru FM Media