දෙවැනි පෙළේ මත්ද්‍රව්‍ය තහනම් කිරීමේ වැදගත්කම

0
2

2025 ඔක්තෝබර් මස 19 වැනිදා ඉරිදා

හරක් තණකොළ කති. එළුවෝ පෝස්ටර් කති. ඉක්මනට මියයෑමට කැමැති මෝඩ මිනිස්සු දුම්කොළ කති. බුලත්විට කති. බාබුල් සපති. සිගරට්, සුරුට්ටු සහ ඊ සිගරට් උරති. මෙහිදී ඊ සිගරට් ගැන දෙයක් කිව යුතු ය. ඊ සිගරට් යනු බැටරියකින් වැඩ කරන ඇළුමීනියම් සහ ප්ලාස්ටික් යොදාගෙන තැනූ සිගරට්ටුවේ හැඩය ගත් නිෂ්පාදනයකි. මෙහි දුම්කොළ නැත. හැබැයි නිකොටීන් අඩංගු ස්ප්‍රීතු වර්ගයක් ඊ සිගරට්වල ඇත. සිගරට්ටුවේ තිබෙන කුඩා ස්විච් එකක් ඔන් කළ විට ඊ සිගරට්ටුවේ තිබෙන ස්ප්‍රීතුව රත්වෙන්නට පටන්ගනී. එවිට දුම් පිට නොකර නිකොටීන් සාරය පෙණහැල්ලට ඇදගැනීමට ඊ සිගරට්ටුව බොන එකාට පුළුවන.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සහ විශේෂඥයන්ගේ සමුළුවක් පසුගියදා කොළඹ දී පැවැත්විණ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික රටවල 78 වැනි සමුළු වාරය වෙයි. ශ්‍රී ලංකාව ද මෙම සමුළුවේ සාමාජික රටකි. අග්නිදිග ආසියාතික රටවල සිටින මිලියන 280 කට වැඩි පිරිසක් ඊ සිගරට් ගහන බවත්, සිගරට්, සුරුට්ටු සහ බීඩි කොට උරන බවත්, බාබුල් හා පැණි පුවක් කන බවත්, දුම්කොළ සහ බුලත් විට සපන බවත් මේ සමුළුවේදී හෙළිදරව් විය. මෙය නිකන් සැපිල්ලක් නොව ඉහත සඳහන් නිෂ්පාදනවලට ඇබ්බැහිවීමකි. පැණි පුවක් සහ බාබුල් වැඩි වශයෙන්ම ජනප්‍රියව ඇත්තේ ළමා පරපුර අතර ය. නව යෞවනයෝ මදනමෝදකය කති. ඉන් පසු වැඩි සීනි කිරිතේකක් පානය කර, මස්කට් කෑල්ලක් කෑ කල්හි මේ නව යෞවනයෝ පැයක පමණ කාලයකට උඩින් යති. යොවුන් වියෙන් තරුණ වියට එළැඹෙන මේ පිරිස ඊළඟට අයිස්, හෙරොයින්, හෂීස්, මරිජුවානා, කුෂ් යනාදියට පුරුදු වෙති. ඉතා සුළු කලකින් නව යෞවනයාගේ සිරුර දිරාපත් වී එක්ස් රේ ඡායාරූපයක් හා සමාන තත්ත්වයට පත්වෙයි.

මෙතැන් සිට ඔහු දවසකට හොටු ගැලුමක් පමණ පිටකරයි. කඳුළු ගැලුමක් පමණ ඔහුගේ ඇස්වලින් ගලයි. කුඩු නැතිවිට හෙතෙම සට සට ගා වෙවුලයි. පශු වෛද්‍යවරයා වෙත ගෙන යන සුනඛයෝ ද මෙසේ සට සට ගා වෙවුලන ආකාරය අපි දැක ඇත්තෙමු. අවසානයේ දී කුඩු ගසන තරුණ පරම්පරාව තරුණ විය පසුනොකරම මියයති. ඔවුන් මරණයට පත්වන්නේ දහදුක් විඳීමෙන් පසුවය. සමහර විට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් නැති නිසා ගෙවල්වලට පැන බඩු සොරකම් කිරීමට ගොස් ඔවුහු ගුටිකා මියයති.

දුම් පිටනොවන මත්ද්‍රව්‍ය තහනම් කිරීමට ආසියාතික රටවල 78 වන සමුළු වාරයේදී සියලු සාමාජික රටවල් එකඟත්වය පළකර තිබේ. ලංකාව දෙවැනි පන්තියේ මත්ද්‍රව්‍යවලින් පීඩාවට පත්ව සිටින රටකි. දෙවැනි පන්තියේ මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලබන්නේ ඊ සිගරට්, බාබුල්, පැණිපුවක්, කසිප්පු, බුලත්විට, හපන දුම්කොළ වැනි ද්‍රව්‍යයන් ය. මේවා පරිහරණය කිරීමෙන් රටේ තරුණ පරම්පරාව බේරාගත යුතු නිසා ඒවා තහනම් කිරීමට ලංකාව ද එකතු වී සිටීම ඉතා වැදගත් ය.

බාබුල් යනු පාකිස්තානයේ නිෂ්පාදනයකි. මෙයට අවුරුදු හාරසියයකට පෙරත් මැදපෙරදිග මිනිස්සු බාබුල් කා මත් වූහ. බාබුල් හා පැණි පුවක් අනුභව කිරීමෙන් කිසියම් ලිංගික කික් එකක් ද හටගනී. මෙවැනි කික් හටගැනීම නිසා මේවා කන නව යෞවනයෝ වේලාසනින්ම ලිංගික අත්දැකීම් ලබා ගැනීමට නැඹුරු වෙති. ගාණක් හොයාගෙන ඔවුන් කෙළින්ම යන්නේ ‘ස්පා’ ලෙස හැඳින්වෙන මසාජ් ක්ලිනික් එකකට ය. මෙහිදී මේ දරුවෝ තවත් පියවරක් ඉදිරියට යති. එනම් ඔවුහු ගණිකා ඇසුරට ද පුරුදු වෙති. අපි ගණිකාවන්ට දොස් නොකියමු. ඔවුන් ඒ දුෂ්කර රස්සාව කරන්නේ සිය පවුල් ජීවත් කිරීම පිණිස ය. එය ඔවුන්ගේ වැඩකි. ඔවුන් වෙත නොයෑම සහ ඔවුන් වෙත අපගේ පිරිමි දරුවන් නොයැවීමට වගබලා ගැනීම අපේ වගකීමකි. සමහර විට මුළුමහත් ආසියා කලාපයේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්ම පවත්නා රට ශ්‍රී ලංකාව වීමට ඉඩ තිබේ. අපේ රට තුළ පාන්පිටිවලට වඩා කුඩු තිබෙන බව මෙයට පෙර ද පවසා ඇත්තෙමු. එසේම මතුයම් දවසක පිටිවලින් රොටී හදනවා වෙනුවට කුඩුවලින් රොටී හැදීමට සිදුවිය හැකි බව ද අපි පවසා ඇත්තෙමු. මේ කාරණය ඉතා භයානක ය. ඒ නිසා ඉහත සඳහන් රටවල් පෙර කී මත්ද්‍රව්‍ය තහනම් කිරීමට සාමූහිකව ගත් තීන්දුව ඉතා වටනේ ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here