දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාමයට

0
2

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙරටට වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 07 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ පින්සාර අවස්ථාව සැදැහැවතුන්ට හිමි වේ. 

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයා ගැණුනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ  ඊයේ (04) මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරණු ලැබීය.

එම සර්වඥ ධාතූන් වහන්සේ ලාංකික සැදැහැවතුන්ට වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙමිනි.

ඉන්දියාවෙන් පිටතට  පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමට නන් දෙසින් සැදැහැවතුන් හුණුපිටිය ගංගාරාම  විහාරස්ථානයට  පැමිණෙමින් සිටියි. 

සර්වඥ ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුල ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකව පවති.

එමෙන්ම එහි පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පැය 24 පුරාම දන්සැලක්ද සංවිධාන කර තිබේ.

මෙවන් පසුබිමක ධාතූන් වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත

ඒ අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාය.

එමෙන්ම සර්වඥධාතු වන්දනාව හේතුවෙන් විහාරස්ථාන අවට රථ වාහන තදබදය අවම කිරීමට ඒ අවට මාර්ග කිහිපයක වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබුණි. 

මේ අතර සර්වඥධාතූ වන්දනාව වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ට සිය වාහන ගාල්කිරීමට ගාස්තු අය කිරීමට තොරව රථගාල් කිහිපයක්ද ක්‍රියාත්මක වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here