දෙපාවලටත් ආදරේ දෙන්න

0
10


ලස්සනවෙන්න කැමති හුඟක් කාන්තාවන්ට තමන්ගේ මුහුණට, කොණ්ඩයට, සමට, ඇස්වලට ලබාදෙන අවධානය තමන්ගෙ දෙපා වෙනුවෙන් ලබාදෙන්න අමතක වෙනවා. දණහිස මට්ටමට, කොට ඇඳුමක් අඳින වෙලාවට තමයි තමන්ගෙ දෙපා සම්බන්ධ ව බොහෝ දෙනා අවධානය යොමුකරන්නේ. ඒ වෙලාවට තාවකාලිකව ආලේප කරගන්නා ක්‍රීම් වර්ගයකින් දෙපාවල අවලස්සන තුරන් කරගන්නට අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ දෙපාවලට අවධානය යොමු නොකරන විට සිදුවන්නේ සම වියළී ගොස්, කොරල මතුවීම, නියපොතු අවලස්සන වීම, අනවශ්‍ය අයුරින් රෝමකූප වර්ධනය වීම,  නිරන්තරව දූවිලි සහ කුණු තැවරීම නිසා ඒවා නිසිපරිදි ඉවත් නොවීමෙන් සම අවපැහැයට ලක්වීම වැනි අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවීමයි. මේ නිසා ඔබේ සිරුරේ අන් තැන්වලට වගේ ම ඔබේ දෙපාවලටත් ආදරය කරන්න. හොඳින් රැකබලාගන්න. ඒ වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. ඒ වෙනුවෙන් මේ උපදෙස් ඔබට වැදගත් වේවි.

දවසේ නිමාවේ දී සිරුර පිරිසිදුකරගෙන නිaන්දට යන්නට හුරුව සිටියත් දෙපාවලට මෙතෙක් විශේෂ අවධානය යොමු කරන්නට ඔබට මඟහැරෙන්නට ඇති. දවස පුරා වැඩියෙන් ම දුහුවිල්ලට නිරාවරණය වන්නේ ඔබේ දෙපතුල්. පාවහන් පැළඳ සිටියත් දෙපාවලට දුහුවිලි  ඇතුළු වෙනවා වැඩියි. මේ නිසා ‍‍සබන් හෝ බොඩිවොෂ් හෝ පාවහන් සඳහා ම විශේෂයෙන් සකස් කළ සේදීම් කාරකයක් යොදාගෙන දෙපා පිරිසිදු කරන්න. මඳ උණුසුම් ජලයෙහි මිනිත්තු 20ක් පමණ දිනපතා දෙපා රඳවාගෙන සිටින්න. බුරුසුවක ආධාරයෙන් නියපොතු හොඳින් පිරිසිදුකරන්න. යටිපතුල් අතුල්ලා කුණු ඉවත්කරගන්න. දෙපා පැලී ඇත්නම් ඒ දාර අතර ඇති කුණු දුහුවිලි උණුවතුරේ දෙපා රැඳවීමෙන් බොහෝ දුරට ඉවත් වේවි.

නියපොතුවල ඇති නිය ආලේපන කල් ඉකුත් වන තුරු නොසිට ඉවත් කරගන්න.  ඒ වගේ ම නිය ආලේපන භාවිතයේ දී ප්‍රමිතියෙන් අඩු ආලේපනවර්ග භාවිතය සුදුසු වන්නේ නැහැ.

ෆුට් ස්ක්‍රබ් භාවිතයෙන් දෙපාවල මැරුණු සම ඉවත් කරගන්න. මේ සඳහා නිවසේ දීම හදාගන්නට පහසු ස්ක්‍රබ් එකක් තමයි කෝපි ස්ක්‍රබ්. කෝපි කුඩු ටිකක්, පොඩි කැට තියෙන සීනි ටිකක් සහ ඔලිව් තෙල් ස්වල්පයක් එකට මිශ්‍රකරලා මේ ස්ක්‍රබ් එක හදාගන්න. ඇඟිලි තුඩුවලින් ඉතා සෙමින් ස්ක්‍රබ් කිරීම සිදුකර, ඉන්පසු පිරිසිදු සිසිල් වතුරෙන් සෝදා හැර හොඳින් තෙතමාත්තු කර මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

දෙපාවල හැදෙන අනවශ්‍ය රෝම කැලැල් නොසිටින අයුරින් ඉවත් කරගන්න. කකුල්වල යටිපතුල් පැලෙන අයට කෝමාරිකා යුෂ හෝ ඔලිව් තෙල් කදිම සත්කාරයක්. දෙපාවලට මෙතෙක් කුඩම්මාගේ සැලකිලි ලබාදුන් අයටත්, තමන්ගේ දෙපා අලංකාර ලෙස පවත්වාගන්නට උනන්දුව ඇති තවමත් ඒ සඳහා යොමු නොවුණු අයටත් මේ උපදෙස් වැදගත් වන බව නිසැකයි.

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here