දෙදෙනාගේ ආදරය වැඩිකර ගනිමින් විවාහයේ සතුට දිගු කාලයක් රැක ගන්නෙ මෙහෙමයි.

0
11


ප්‍රීතිමත් සබඳතාවක් කියන්නේ අපි හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන දෙයක්.ඒත් කොහොමද එහෙම සබඳතාවක් පවත්වාගන්නේ ? විශේෂයෙන්ම විවාහ වුනාට පස්සෙ ඒ බැදීම සතුටින් ගත කරන්නෙ කොහොමද ?

ප්‍රීතිමත් සහ ස්ථාවර සබඳතාවක් ඔබට අවශ්‍ය නම් ඔබ කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් කීපයක් තියනවා.

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ විවාහ බැදීමක් ශක්තිමත් කර ගන්න වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි. මේ දේවල් ඔබ කරනවා නම් ඔබ දෙදෙනා අතර ඇතිවන්නට පුලුවන් බොහෝ ගැටලු සහ විරසක වීම් මග ඇරගන්න ඔබට පුලුවන්.

අපි හැමෝම තුල අඩුපාඩු තියෙනවා. ඔබටත් ඔහුටත් එසේමයි.ඒ නිසා ඔබේ සහකරු සෑම විටම සම්පූර්ණ කෙනෙක් වෙයි කියලා අපේක්ෂා කරන්න එපා.නිතරම ඔහුට හිරිහැර කිරීම හා විවේචනය කිරීම වෙනුවට, ඔහු අතින් යම් වරදක් උනොත්, ආචාරශීලී විදියට ඒ දේට ඔබ කැමති නැති බව ඔහුට කියන්න ඔබට පුලුවන් . අඩු පාඩුවක් වූ ගමන් මෙතෙක් ආදරය කල පුද්ගලයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගන්න එපා. එසේ වැඩි වන අප්‍රසාදය ඔබේ විවාහය නීරස කරාවි. ඒ නිසා අඩුපාඩු නැති පරිපූර්ණ මිනිසුන් මෙලොව නැති බව තේරුම් ගනිමින් හැකි තාක් ඒ අඩු පාඩු හදා ගන්න ඔබේ සහකරුට උදව් කරන්න , සියල්ල නිවැරැදි වේයැයි සිතන්න එපා. දෙදෙනාගේම යම් යම් අඩු පාඩු දරා ගනිමින් කැපකිරීම් එක්ක සතුටින් විවාහය ගත කරන්න ඔබට පුලුවන් .

ඔහු හැමවෙලාවෙම නිවැරදි තීරණ ගන්නේ නෑ.ඔහුට වැරදෙන අවස්තා වලදී ඔහු සමග ගැටුම් ඇති කර ගන්නවාට වඩා වැරදීම් නිවැරැදි කර ගන්න දෙදෙනාම උත්සහ ගැනීම තුලින් බැදීම තවත් ශක්තිමත් වෙනවා. මෙහිදී යම් දුරකට ඉවසීමේ ගුණයත් අපිට වැදගත් වෙනව. වැරදි වූ සැනින් ආරවුල් ඇති කර ගන්නවාට වඩා එකිනෙකාගේ අඩුපාඩු පිළිගෙන ඉදිරියටත් එම පුද්ගලයාට කොන්දේසි විරහිතව ආදරය කිරීමෙන් ඔබේ සබඳතාවය ශක්තිමත් කර ගැනීම සබදතාව රැක ගන්න උදව්වක් වේවි.

ඔහු අවුරුදු ගණනාවකට පෙර කළ දෙයක් ගැන ඔහුට දොස් පැවරීම අපට ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.හැබැයි අපි ගොඩක් වෙලාවට අපේ වැරදි නම් ලේසියෙන් පිළිගන්නේ නෑ.නමුත් ඔබේ වරදක් ගැන ඔහු චෝදනා කලහොත්, ඔබ කරන්න ඕනේ ඔබේ වැරැද්ද පිළිගැනීම සහ එය නැවත නොකිරීමට උත්සාහ කිරීමයි. එය කිසිවිටෙකවත් මදිකමක් කියල හිතන්න එපා.

ඔබට අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් , ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ කෙලින්ම ඔහුට ඒ ගැන කියන්න.නැතිනම් නිවිසැනසිල්ලේ ඒ ගැන කතා කරන්න. ඔහු ඒක තේරුම් අරගෙන ඔබෙන් අහයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා නිකරුනේ හිත් අමනාපකම් ඇති කරගන්න එපා.

ඔබ විවාහ උනාට පස්සෙ අනිවාර්යයෙන්ම ඔබට ඔහුගේ පවුල සමඟත් තදබල බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඔබ ඔබේ පවුලට ආදරය කරනවා හා සමානව ඔහුගේ පවුලේ අයටත් ආදරය සහ කරුණාව දක්වන එක අත්‍යවශ්‍යයම දෙයක්, ඔහුගේ දෙමාපියන් සමග ආදරෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම උපායශීලීව යම් යම් සිදුවීම්, මත ගැටුම් මගහැර යාම තුලින් අනවශ්‍ය ගැටුම් ඇති වීම වලක්වා ගන්න ඔබට පුලුවන් . මොකද සමහර පවුල් තියනව තවමත් ලේලිය දුවක් හැටියට පිලිගන්න සූදානම් නැති පවුල්, එවැනි අවස්තා වල ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග ආරවුල් ගොඩ නගා ගන්නවාට වඩා එම ගැටුම් මගහැර යාම තුල ඔබ දෙදෙනාගේ සබදතාව තුල අනවශ්‍ය ගැටුම් ඇති වීම වලකාවි.

සම්බන්ධතාවයකදී, අපි හැමදෙනාම එකිනෙකාගේ කුඩා දේවල් පවා දැනගන්නවා.සමහර ඒවා ඔබට ප්‍රියජනක වෙන්න පුලුවන් උනාට සමහර ඒවා ඔබට ඔහු ගැන නොරිස්සුමක් ඇති කරන ඒවා වෙන්න පුලුවන් .ඔබ දෙදෙනාටම එකිනෙකාගේ රුචිකත්වයට අනුව හැඩගැහෙන්න යම් කාලයක් යනවා.ඉතින් අනෙකාට ඒ කාලය දෙන එක ඔබේ යුතුකමක්

ඔහුගේ ජංගම දුරකථනයට එබී බැලීම , සමාජ මාධ්‍ය වල මුර පද ඉල්ලීම් වගේ දේවල් කොහෙත්ම කරන්න එපා. ඔහුට ඒ දේවල් නිදහසේ භාවිතා කරන්න ඉඩ දෙන්න. ඒ වගේම මිතුරන් සමඟ සාද වලට යෑම , විනෝද චාරිකා යෑම වගේ දේවල් වලට නිතරම හරස් කපන්න යන්න එපා. ඔබ ඔහුගේ ඒ නිදහසට බාධා කලොත් සබඳතාවය පලුදු වෙන්න එයත් හේතුවක් වෙන්න පුලුවන් . මොකද නිදහස හා ස්වාධීන බව මිනිසුන් විදියට ඉතාම වැදගත් කරුණු . ඔබටත් ඔහුටත් ඒ දේවල් එක ලෙසම අයිති බව මතක තබා ගන්න.

යම් විදියකින් ඔබ දෙදෙනා අතර යම් දෙයකට තර්ක කිරීමක් සිදු වෙනවා නම් ඔබ සන්සුන් වෙන්න හැකිතාක් උත්සහ කරන්න.එමඟින් ඔහුගේ කෝපය මැඩ පවත්වන්න ඔබට ලේසියෙන්ම පුලුවන්.ඔහු කෝප ගෙන ඉන්න වෙලාවට ඔබත් කෝපයෙන් ඇවිලෙන්න පටන් ගන්නවා නම් කොහෙන් කෙලවර වෙයිද කියලා ඔබටවත් හිතාගන්න බැරි වේවි

ඔබේ සබඳතාවය ශක්තිමත් එකක් කරගන්න පුලුවන් ඔබටමයි.ජීවිතය බෙදාගන්න ඔබේ සහකරුවා එක්ක ගැටලු ඇති නොවෙන විදියට සබඳතාවය පවත්වාගෙන යන්න නම් මේ ලිපියෙන් අපි ඔබට කිව්ව කරුණු අත් හදා බලන එක ඔබට ගොඩක් වැදගත් වේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here