1947 අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ලොස් ඇන්ජලීස් නුවර තමන්ගේ දියණිය එක්ක ගමන් කරමින් උන්න අම්මා කෙනෙක්ට දකින්න ලැබුණේ ජීවිතේ කවදාවත් හීනෙකින්වත් දකින්න බලාපොරොත්තු වුන දසුනක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම නිරුවත් තරුණ යුවතියකගේ දෙකඩ කරපු මළ සිරුරක් ඇයට ඉදිරියෙන් වැටිලා තිබුණා. ඉණ ළඟින් දෙකඩ වෙන්න කපලා තිබුණ සිරුර දැකපු කාන්තාව ඉමහත් කම්පනයකට පත් වෙලා වහාම පොලිසිය දැනුවත් කලා.
පදික වේදිකාවේ ඉඳන් අඩි කිහිපයක දුරින් වැටිලා තිබුණ මළ සිරුර, ඉස්සෙල්ලාම දකිනකොට තමන් හිතුවේ ඒ විසි කරලා දාපු ඩමියක් කියලා බව මේ අම්මා පොලිසියට කියලා තියෙනවා. ඩමියක් කියලා පේන තරමට මළ සිරුර සුදු පැහැයකට වෙනස් වෙලා තිබුණා. පෙට්‍රල් වැනි යමකින් මළ සිරුර පිරිසිදු කරල තිබුණ් නිසා මළ සිරුරේ වර්ණ වෙනස්වීම් ඇති වෙලා තිබුන බව පස්සේ හොයාගන්නවා.
විශාල විකෘති කිරීම් වගේම ශරීරයෙන් ඉවතට කපලා දාපු මස් කොටස් දකින්න තිබුණත්, ඒ අවට ලේ පැල්ලමක්වත් තිබිලා නැහැ. ඒ නන්නාඳුනන තරුණිය වෙනත් ස්ථානයක මරලා දාලා , පිරිසිදු කරලා ලොස් ඇන්ජලීස් වල මේ පාර අද්දරට ගෙනල්ලා දාලා තිබුණ බව හෙලි වෙන්නේ එතනින්.
බැඳලා දාලා වධහිංසා පමුණවපු තරුණියගේ ගේ මරණයට හේතුව , මස්තිෂ්ක රුධිර වහනය සහ කම්පනය කියලා මූලික මරණ පරීක්ෂණ වාර්තා වලින් හෙළිදරවු වෙනවා.
මිනීමරුවා අපරාධය සිදු කිරීමේදි යොදලා තියෙන ඉතා පැහැදිලි කැපුම් නිසා, ඝාතකයාට මිනිස් සිරුරු ඡේදනය කිරීමෙහි ලා ඉහළ අවබෝධයක් තිබිය යුතුය යන සැකයත් මුල ඉඳන්ම පරීක්ෂණ කටයුතුවලට සලකා බැලෙනවා
මළ සිරුරෙන්වත්, ස්ථානීය පරික්ශා කිරීම් වලින්වත් ඝාතකයා ගැන කිසිම ඍජු ඉඟියක් නොලැබෙන නිසා පොලිස් පරීක්ෂණ වල තිබුණේ ශූන්‍ය ප්‍රගතියක්. ඒ නිසාම මූලික පොලිස් පරීක්ෂණ වලට පස්සේ, වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් එෆ් බි අයි සහය ඉල්ලන්න ලොස් ඇන්ජලීස් පොලිසිය කටයුතු කරනවා.
ඒ අනුව, අවුරුදු විසි දෙකක් වුණ, හොලිවුඩ් සිනමාවට එකතු වෙන්න හීන මවපු, එලිසෙබෙත් ශෝටර් ව ඒ විදියට මරලා දාලා තිබුණ බව සවුන්ඩ් ෆොටෝ කියලා හඳුන්වන ෆැක්ස් යන්ත්‍රයක් භාවිතයෙන් එෆ් බී අයි ආයතනය ඉතා ඉක්මනට හෙලිදරව් කරගන්නවා.
එෆ් බී අයි ආයතනය හොයාගත්ත විස්තර වලට අනුව එලිසෙබෙත්, 1943 දී කැලිෆෝනියාවේ කුක් කඳවුරේ, කොමසාරිස් කාර්යාලයේ ලිපිකරු තනතුරකට අයදුම් කරලා තියෙන බව අනාවරණය වෙනවා. ඊට පස්සේ ඇය වේටර්වරියක් විදියට වැඩ කරලා තිබුණ බවත්, හොලිවුඩ් සිනමාවට එකතු වෙන්න අවස්ථාවන් වෙනුවෙන් උත්සාහ කරලා තිබුන බවත් හෙලිදරවු වෙනවා. ඊටත් කාලෙකට පස්සේ, සැන්ටා බාබරා වල පොලිසියක අත් අඩංගුවේ එලිසෙබෙත් ඉඳලා තියෙන බවත් පොලිස් වාර්තා වලින් හෙලි වෙනවා.
ඒ අතරෙදී, පරීක්ෂණ වල එක් තැනක ඝාතකයා විසින් පොලිසියට එව්වා කියලා සැක කරපු ලියුමක තිබුණ ඇඟිලි සලකුණු පස්සේ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ කරනවා. ඒ ලියුම් කවරේ “මෙන්න ඩාලියාට අයිති දේ” කියලා පුවත්පත් වල වචන වලින් කපලා අලවලා තියෙනවා. එලිසෙබෙත්ගේ උප්පැන්න සහතිකය, ව්‍යාපාරික කාඩ්පත්,චායාරූප, ලිපින පොත වගේම කොළ කැබලි වල ලියලා තිබුන නම් ඒ ලියුම් කවරය ඇතුළේ තිබිලා පොලිස් භාරයට පත් වෙනවා. අවාසනාවට ඒ සියළු අන්තර්ගතයන්, පෙට්රල්වලින් පිරිසිදු කරලා තිබීම නිසා කිසිඳු ඇඟිලි සලකුණක් හෝ වෙනත් සාක්ශියක් හොයාගන්න පොලිසියට ඉඩ ලැබෙන්නේ නැහැ.
ඒත් එක්කම, ලොස් ඇන්ජලීස් පොලිසිය එක්ක එෆ් බී අයි ආයතනය සැකකරුවන් සොයාගැනීම වෙනුවෙන් රට පුරාම පැරණි පොලිස් වාර්තා පරික්ශා කිරීම් සහ සම්මුඛ සාකච්ඡා තියන්නේ ඝාතකයා ගැන කිනම් හෝ ඉඟියක් බලාපොරොත්තුවෙන්. මළ සිරුර තිබුණ පාරට කිට්ටුවම තිබුණ දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් පවා ප්‍රශ්න කිරිීම් වලට යොමු කරගන්න පොලිසිය කටයුතු කරන්නේ සියුම් කැපුම් වල තිබුන තාක්ෂණික බව කෙරෙහි වැඩි අවධානය දීලා.
එලිසෙබෙත් කළු පාට ඇඳුම් සහ බ්ලූ ඩාලියා කියන චිත්‍රපටය වෙනුවෙන් දක්වපු අසීමාන්තික කැමැත්තත් ඇගේ තද කළු පාට කොණ්ඩයත් නිසා පස්සේ කාලෙකදි මේ සිදුවීම බ්ලැක් ඩාලියා අභිරහස විදියට මාධ්‍ය අතරේ ප්‍රසිද්ධ වෙනවා.
මේ අභිරහස කොච්චරක් සිත් ඇද ගන්න සුළු කතාවක් බවට පත් වුනාද කියනවානම්, 2008 දී The black Dhalia කියලා නවකතාවක් පවා ලියැවෙනවා. පාඨක විශ්වාසය වෙන්නේ, ඒ කතාව සැබෑ අපරාධයක් අනුසාරයෙන් ලියවුන නවකතාවක් නෙවෙයි ප්‍රබන්ධයක් කියලා. පස්සේ, ජේම්ස් එල් රෝයි මේ සිදුවීම සිනමාවටත් ගේනවා.
ඒ අතරේම මේ මිනීමැරුම කලායැයි ඉදිරිපත් වෙන්න මිනිස්සු ඕනෑ තරම් පාපොච්චාරණය කලත්, ඒ සියළු පාපොච්චාරණ හිතළු පමණක් බව හෙලිදරවු වෙන්නේ මේ අභිරහස තව තවත් සිත් ඇදගන්නා සුළු අපරාධ කතාවක් බවට පත් කරලා.
මේ වෙද්දීත් එලිසෙබෙත් හෙවත් බ්ලැක් ඩාලියාගේ මරණයට හේතුවක්වත්, සැකකාරයෙක්වත් හොයාගෙන නැහැ. සමහරවිට ඒ මිනීමැරුම කල කෙනා ඒ රහස එක්කම මේ වෙනකොට මිය ගිහිල්ලා ඉන්නවා වෙන්නත් පුළුවන්.
එහෙම කොහොම හරි වෙලා බ්ලැක් ඩාලියා අභිරහස නොවිසඳුණු අභිරහසක් විදියට යට ගියත්, මේ පුරාවෘත්තය දිගින් දිගටම, පරම්පරාවෙන් පරම්පරාවට වර්ධනය වෙන බව නම් ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්.
| අපේක්ෂා ගුණරත්න |
Saru FM Media