දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය  ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි

0
11


අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද  (09) පැවති  “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජවී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස්වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළා.

අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළා.

නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්,  අපරාධයකට දඩුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු  කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධවන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරා කන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කළා.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහනීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහසන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විතඅල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක්  නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා,  එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කරනවා.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊලඟ පරම්පරාවට  භාර  නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබාගත්  ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙනයාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද  කියා සිටියා.

ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින්  ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාප්‍රකාශ කරනවා.

එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ  විශ්වාසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද  අපරාධයක් සිදුකර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

“ජාතික දූෂණ විරෝධී 2025-2029  ක්‍රියාකාරි සැලැස්ම”මගින් රට“සුපිළිපන් දේශයක් කරා” ගෙන යාම අරමුණ  වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්‍ෂණය කළ හැකි වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය, ආයතනික ශක්තිමත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ සලසන උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා.

රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ, එකී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here