කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.
වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව අල්ලස් කොමිසමට පසුගියදා පැමිණිල්ලක් කළේය.
කුලරත්න මහතා කතානායකවරයාට විරුද්ධව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත.
චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙහි නීතිවිරෝධී ලෙස ද්විත්ව ඉන්ධන දීමනා ලබා ගැනීම, නිල වාහන පෞද්ගලික හෝ අවිධිමත් කටයුතු සඳහා යොදා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ උපකරණ අවභාවිත කිරීම, නිසි ගාස්තු ගෙවීමකින් තොරව පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර, රජයේ අරමුදල්වලින් ඔහුට වැටුප් හා පහසුකම් සැපයීම, නිල නිවාස දෙකක් අවභාවිත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ඉදිරිපත් වූ ඉල්ලීම්වලට බාධා කිරීම සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලන කටයුතුවලට නීතිවිරෝධී ලෙස මැදිහත් වීම යන චෝදනා 8 සඳහන්ය.
කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූහ.
මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාට එරෙහිව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද අල්ලස් කොමිසමට බාරදී ඇතැයි වාර්තාවේ.
Saru News








