අල්ලස් කොමිසම මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, දැනට මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) අවසර ලබා දී තිබේ.
මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද දින අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය, බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.
අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන් සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබා ගත්තේ යැයි කියන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නම්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එලෙස පවසා තිබිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවය.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ආර්. දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබා ගෙන ඇති බවත්, මීට අමතරව රුපියල් ලක්ෂ සීයක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුකු මේ වනවිට මියගොස් ඇති බවත් අල්ලස් කොමිසම පවසා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුවකු ලෙස නම් කරන ආර්. දුමින්ද සිල්වා සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කර තිබේ.
1
Saru News
















