
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයක මෝටර් රථයක් තුළ සොයාගත් රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනි අවියක් හිමිකාරිත්වය සම්බන්ධයෙන් ඔහු ඊයේ (23) උදෑසන බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය ආරම්භ වී ඇත්තේ වසර 11 ක කාලයක් දුමින්ද දිසානායක මහතා යටතේ කෝකියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හරහාය. මාස හයකට පමණ පෙර හිටපු අමාත්‍යයවරයා බෑගයක් ලබාදී එය හැව්ලොක් සිටි තම හිතවතියකට ලබා දී තැබීමට කරන ලද ඉල්ලීම අනුව කටයුතු කළ බව කෝකියා ප්‍රකාශ කර ඇත. කෝකියාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ මෙම තොරතුරු පදනම් කරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී කාන්තාවන් දෙදෙනෙකු සමඟ සොයාගත් රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනි අවිය කොටස් එකලස් කර තනන ලද එකක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම ගිනි අවිය අපරාධ සඳහා භාවිතා කළ එකක් දැයි සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමටද අධිකරණය නියෝග කර ඇත.
ගිනි අවිය සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකාරිය එම ගිනි අවිය අතැතිව හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා ඉදිරියට පැමිණ ඇත. විශ්‍රාමික යුද සෙබළකු වන ආරක්ෂක නිලධාරියා කාන්තාවගෙන් ඒ පිළිබඳ විමසීමට සැකකාරිය එය සෙල්ලම් ගිනි අවියක් බවට ප්‍රකාශ කළ නමුත් එසේ නොවන බව වටහා ගත් ආරක්ෂක නිලධාරියා ඇයව රඳවා ගෙන පොලිසියට දන්වා ඇත.
පසුව මුල් සැකකාරියගේ ලේලිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනි අවිය තිබූ බෑගය නිවෙසට රැගෙන ගිය සිද්ධිය සම්බන්ධයෙනි. මේ දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු හෙට (25) දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. හිටපු අමාත්‍යවරයාගෙන් විමර්ශනවලදී ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය තමාට අයත් එකක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන අතර තවදුරටත් විමර්ශන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ලැබේ.
Saru FM Media