දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් රටට වෙන පාඩුව

0
10

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන අතර වසරකට රුපියල් බිලියන 225 – 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් පවසයි.

ඔවුන් මේ පිලිබඳව පවසා ඇත්තේ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයේදී අකරුණු දක්වමිනි.

මෙ‍ම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඔවුන් පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.

එහිදී දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදුකර ඇත.

ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කර තිබේ.

තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීන් පෙන්වා දී ඇත.

තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කරයි.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පවසා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here