දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ බස් රථ ධාවන සැලැස්මක්

0
2

එළැඹෙන දීර්ඝ සති අන්තය සහ 20 වැනිදාට යෙදී ඇති දීපවාලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

හැටන්, වැලිමඩ, බදුල්ල, පස්සර, වව්නියාව, යාපනය යන ගමනාන්තවලට වැඩිම මගී ඉල්ලුමක් අපේක්ෂා කරන බැවින් මාර්ග සඳහා අවසර පත්‍ර නිකුත් කර ඇති බස් රථ උපරිම ධාරිතාවයෙන් යුක්තව ධාවනය කරවීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රලාභී බස් රථ ද මෙම වැඩිවන මගී ඉල්ලුම් සපුරාලීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.

එම බස් රථ සඳහා තාවකාලික අවසර පත්‍ර නිකුත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බැස්ටියන් මාවත කාර්යාලය මඟින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා සාමාන්‍ය දිනවල කාර්ය චක්‍රයේ නිලධාරින්ට වඩා වැඩි ප්‍රමාණයක් අනුයුක්ත කර ඇත.

මෙම කාල සීමාවෙන් පසු නැවත කොළඹ දක්වා පැමිණෙන මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් වැඩි මගී ඉල්ලුමක් පැවති ප්‍රදේශයන්ට අයත් වන පළාත් ප්‍රවාහන අධිකාරි වෙත තාවකාලික අවසර පත්‍ර යටතේ බස් රථ යොදවන ලෙසට උපදෙස් ලබා දී ඇත. 

ඒ සඳහා අවශ්‍ය තාවකාලික අවසරපත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේ වන විටත් පළාත් ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කර තිබේ.

එමෙන්ම මෙම දීර්ඝ සති අන්තයෙන් පසු කොළඹ ප්‍රදේශයට වැඩි මගී ඉල්ලුමක් පවතී යැයි පුරෝකථනය කර ඇති බස් රථ නැවතුම්පලවල අධීක්ෂණය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද යෙදවීමට සැලසුම් කර ඇත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here