දීප්තිමත් මුහුණක් වෙනුවෙන් හරියටම මුහුණ පිරිසිඳු කරගන්නේ කොහොමද ?

0
10


ඔබේ සම දීප්තිමත්ව සහ පැහැපත්ව තියාගන්න අපට අනුගමනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය ඔබ දන්නවද ? ඒ තමයි මුහුණ හරියාකාරව පිරිසිදු කිරීම. මුහුණ පිරිසිදු කිරීම කියන්නේ ෆේස් වොශ් එකක් ආධාරයෙන් ඔබේ මුහුණ සේදීම විතරක්ම නෙමෙයි. ඔබ ගැලපෙන නිෂ්පාදන සහ නිවැරදි ක්‍රම භාවිතා කළේ නැත්නම් ඔබේ මුහුණ හානියට පත් වන්නට පුළුවන්. බොහෝ දෙනකුගේ මුහුණ ඉක්මනින්ම රැළි වැටීම , වියපත් පෙනුමක් ලැබීම සහ සම එල්ලා වැටීම සිදුවන්නේ හරියාකාරව මුහුණ පිරිසිදු කිරීම නොකරන නිසායි. ඉතින් දීප්තිමත් සමක් ලබා ලබාගන්න නම් මුහුණ පිරිසිදු කරන ආකාරයයි අද අපි ඔබට කියන්නේ .

ඔබේ සමේ වර්ගය කුමක් වුණත් එය දිනපතා පිරිසිදු කිරීම සඳහා සුවඳින් සහ මධ්‍යසාරයෙන් තොර ඉතාම මෘදු පිරිසිදු කාරකයක් භාවිතා කරන්න.ඉතා රළු පිරිසිදු කාරකයන් භාවිතා කිරීම මගින් ඔබේ සමේ ස්වාභාවික තෙල් ඉවත් විය හැකි අතර එය සම වියලීමට සහ ඉරි තැලි යාමට හේතු වෙනවා.

ඔබේ සම මත ඇති සිදුරු අවහිර වීම වළක්වා ගැනීම සඳහා ඔබ මේකප් අනිවාර්යෙන්ම ඉවත් කළ යුතු වෙනවා. ෆේස් වොශ් එකක් හෝ ක්ලෙන්සර් එකක් කියන්නේ මුහුණ පිරිසිදු කාරකයක් මිස මේකප් ඉවත් කිරීමට ඇති නිෂ්පාදනයක් නොවේ. ඒ නිසා ඒ සඳහා පිරිසුදු කපු පෑඩ් එකකට බේබි ඔයිල් , පොල් තෙල් හෝ මේකප් ඉවත් කිරීමට ඇති නිෂ්පාදනයක් යොදා සියලුම මේකප් ඉවත් කරගත යුතුයි .

ඔබේ සම පිරිසුදු කිරීම සඳහා මද උණුසුම් ජලයෙන් සම තෙත් කරන්න.උණුසුම් ජලය මගින් ඔබේ සමේ ස්වාභාවික තෙල් ඉවත් කරනවා. ඒ වගේම සීතල ජලය සමේ කුණු සහ දුහුවිලි නිසි ලෙස ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා මුහුණ පිරිසිදු කර ගැනීමට ඔබට භාවිතා කළ හැකි හොඳම ක්‍රමය වන්නේ මද උණුසුම් ජලයයි.

ඔබේ මුහුණ පිරිසිදු කර ගැනීමට ඔබ භාවිතා කරන පිරිසිදු කාරකයන් ඔබේ මුහුණට යෙදීමට ඔබේ අත්ල වෙනුවට ඇඟිලි තුඩු භාවිතා කරන්න. ඔබ භාවිතා කරන ෆේස් වොෂ් එක හෝ ක්ලෙන්සර් එක ඔබේ ඇඟිලි තුඩුවලට ගෙන රවුම් චලිත ආකාරයෙන් ඔබේ මුහුණට යොදමින් කම්මුල් , නාසය, නලල , නිකට සහ බෙල්ල යන ප්‍රදේශ තත්පර 15ක් පමණ හොඳින් පිරිසිදු කර ගන්න.

ඔබේ සම වියලා ගැනීම සඳහා ඉතාම මෘදු කපු තුවායක් භාවිතා කරන්න. සම වියලා ගැනීමේදී කිසිම විටෙකත් තුවාලයෙන් මුහුණ ඇතිල්ලීම සුදුසු වන්නේ නැහැ . එමගින් සම වියළීම හෝ කුරුලෑ ඇතිවීම සිදුවිය හැකියි. ඒ නිසා මෘදු තුවායක් ආධාරයෙන් සම තෙත මාත්තු කරමින් මුහුණ මත ඇති වැඩිපුර තෙතමනය පමණක් ඉවත් කර ගන්න.

මුහුණ පිරිසිදු කිරීම අවසානයේදී ටෝනර් එකක් භාවිතා කිරීම මගින් සමේ තෙතමනය සමබර කර ගැනීම සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට තෙල් සහිත කුරුලෑ සහිත සමක් තිබෙනවා නම් හෝ වියළි සමක් තිබෙනවා නම් ඒවා සඳහා සුදුසු ටෝනර් එකක් උනත් භාවිතා කරන්න ඔබට හැකියාව තියෙනවා.

පිරිසිදු කිරීමෙන් පසුව සමය තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ මොයිස්චරයිසර් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුයි. මේ සඳහා ඔබේ සමේ තත්ත්වයට ගැලපෙන නිෂ්පාදනයක් තෝරාගන්න ඔබට පුළුවන්. මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීමේදී ගෙල ප්‍රදේශයට ආලේප කිරීමටත් අමතක කරන්න එපා. 

ඔබේ සමේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම සඳහා දිනකට දෙවරක් ඉතා හොඳින් මුහුණ පිරිසිදු කිරීම අවශ්‍ය වනවා. ඔබ රාත්‍රියේදී මුහුණට ආලේප කරන නිෂ්පාදන ඉවත් කර ගැනීම සහ මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා උදෑසන කාලයේදී මුහුණ සිදු කර ගැනීම අවශ්‍ය වන අතර දවස පුරා ඔබේ මුහුණේ තැවරෙන කුණු දූවිලි ඉවත් කර ගැනීම සඳහා රාත්‍රී කාලයේදී මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය වනවා. දිනකට කිහිප වරක් මුහුණ පිරිසිදු කිරීම සුදුසු නොවන අතර දහවල් කාලයේදී ඔබේ මුහුණට ප්‍රබෝධමත් බවක් අවශ්‍ය බව ඔබට දැනෙනවා නම් මද උණුසුම් ජලය ඉස මුහුණ තෙත මාත්තු කර ගැනීම පමණක් ඔබ කළ යුතුයි.

ඔබේ සම හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාම සඳහා මැරුණු සෛල ඉවත් කර ගැනීම අනිවාර්ය වනවා. ඒ සඳහා සතියකට වරක් මුහුණ exfoliate කර ගැනීම අවශ්‍ය වනවා. ඉන්පසුව මුහුණට ටෝනර් එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. මුහුණට භාවිතා කිරීම සඳහා ස්ක්‍රබ් එකක් තෝරා ගැනීමේදී එය ඉතා මෘදු එකක් වීමටත් ඔබ වග බලා ගත යුතු වන අතර නිවසේදීම සකස් කර ගත හැකි ස්වාභාවික ස්ක්‍රබ් වර්ගත් ඔබට භාවිතා කරන්න පුළුවන්.

හිරු කිරණින් සමට ඇතිවන අහිතකර තත්ත්වයන් වලින් සම ආරක්‍ෂා කර ගැනීම සඳහා sunscreen භාවිතා කිරීම වැදගත්. ඔබේ Skin care routine එකේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස මේ sunscreen භාවිතා කිරීම හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ පිටතට යාමට පෙර ඔබේ සමට ගැලපෙන sunscreen එකක් භාවිතා කරන්න. 

දීප්තිමත් සමත් ලබා ගැනීමට සහ පවත්වාගෙන යාම සඳහා හරියාකාරව මුහුණ පිරිසිදු කරන ආකාරයයි මේ ලිපියෙන් ඔබට ගෙන ආවේ. ඔබ ඔබේ මුහුණ පිරිසිදු කර ගැනීම සඳහා කුමන නිෂ්පාදනයක් භාවිතා කළත් එය ඔබේ සමේ තත්ත්වයට ගැලපෙන එකක් බව සහතික කර ගන්නට අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here