දිවි ඇතිතෙක් හිරේ ගිය පොලිසියේ 4 දෙනා නිදොස් කොට නිදහස්

0
6

1998 වසරේදී ත්‍රිකුණාමලය භාරතිපුරම්හිදි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යැයි සැකකරන පුද්ගලයන් අට දෙනකු වෙඩි තබා ඝාතනය කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වූ පොලිස් නිලධාරීන් හතර දෙනකුට අනුරාධපුර මහාධිකරණය විසින් නියම කර තිබූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියෝගය බලරහිත කළ අභියාචනාධිකරණය එකී විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (10දා) නියෝග කළේය.

අනුරාධපුර මහාධිකරණය විසින් 2024.02.26 වැනිදා ලබාදුන් දඬුවම් නියෝගය අභියෝගයට ලක්කරමින් එකී පොලිස් නිලධාරීන් සිව්දෙනා ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් විභාග කළ වී. ශෂි මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝග කළහ. ඒ අනුව එම නඩුවේ දෙවන, හතරවන, පස්වන හා අටවන විත්තිකරුවන් වූ කෝණාර මුදියන්සේලාගේ නිහාල් ප්‍රේමසිරි කෝණාර, රාජපක්‍ෂ මුදියන්සේලාගේ රණරාජා බණ්ඩාර, සෝගම ලියනගේ සෝමරත්න හා රටේ රාළලාගේ සෙනරත් බණ්ඩාර මඩවෙල යන විත්තිකාර අභියාචකයෝ සිව්දෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

වර්ෂ 1998 ක් වූ පෙබරවාරි 1 වන දින හෝ ඊට ආසන්න දිනකදී සංශෝධිත මහජන ආරක්‍ෂක පනතේ දෙවන වගන්තිය යටතේ ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ 138 වන වගන්තිය අර්ථකථනය කොට ඇති අන්දමින් මිනීමැරීමේ පරමාර්ථ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු අධිචෝදනා 37 ක් යටතේ එම විත්තිකරුවන් ඇතුළු 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. පසුව අනුරාධපුර මහාධිකරණය හමුවට මාරුකර නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරුව පෙර කී පොලිස් නිලධාරීන් ඇතුළු පස් දෙනකු වරදකරුවන් බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එකී දඬුවම් නියම කොට තිබිණි. පළමු වන විත්තිකරු එකී දඬුවම් ලබාදීමට පෙර අධිකරණය මගහැර ගොස් තිබිණි.

එකී විත්තිකරුවන් පස්දෙනා භාරතිපුරම් මුරපොළට ඉතා ආසන්නයේ පිහිටි නිවාසවල සිට රැගෙන ආ සිවිල් වැසියන් මරණයට පත්වීම පොදු අරමුණ කරගත්

රැස්වීමක සාමාජිකයන්ව සිට ඇති බවට මහාධිකරණය විනිසුරුවරයා නිගමනය කර ඇතත් එකී නිගමනය සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බවට විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු වී. ශෂි මහෙන්ද්‍රන් මහතා ලියා සකස් කළ එකී තීන්දුව මගින් පෙන්වා දී තිබිණි.

නීතිඥ රවිහංස විජේසිංහ මහතා සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පස්වන විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ රන්දුණු හීල්ලගේ, ඉමාෂි සෙනරත් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරංජන් ජයසිංහ මහතා දෙවන හා අටවන විත්තිකරුවන් වෙනුවෙනුත් නීතිඥ තිවංක ආටිගල, නිපුන් සමරතුංග සහ නීතිඥ නටාෂා විජේසේකර සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හතර වන විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here