පුවත්පතකට අවුරුදු හතළිස් හතරක් සම්පූර්ණ වීමත් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායකගේ ධුරයට වසරක් පිරීමත් බැලූ බැල්මට අන්තර් සබඳතාවක් නොමැති සිදුවීම් දෙකකි. එහෙත් මේ වැකි දෙක මගේ මනස තුළ සටහන් වූයේ එහි සමාජ දේශපාලන සබඳතාවක් දිස්වීම නිසාය. ජනාධිපති ධුරයට අනුර කුමාර පත් වූයේ මෙරටේ දේශපාලන පුනරුදයක් රටට අවශ්‍ය බවට මෙරටේ බහුතර ජනතාව විසින් තීන්දු කිරීම නිසාය. එය අභිනව දේශපාලන හා සමාජ සංස්කෘතික අභිලාෂයකි. දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භ වන්නේ ද මෙරටේ වැඩවසම් සාම්ප්‍රදායි පුවත්පත් අධිරාජ්‍යයට එරෙහිව පොදු ජනතාවාදී පුවත්පතක අවශ්‍යතාව සමාජ ප්‍රාර්ථනාවක් වීම නිසාය. දිවයින ඒ කාර්යභාරය ඉටුකර තිබේ ද යන්න ඒ අභිනව පුවත්පත පිළිගත් පොදු පාඨක ප්‍රජාව විසින් විනිශ්චය කළ යුත්තකි. ජනාධිපති අනුර කුමාරගේ කාර්ය සාධනය මෙන්ම දිවයින සමාරම්භයත් සමග මෙරටේ මාධ්‍ය සංස්කෘතිය මෙන්ම පාඨක ආධ්‍යාත්මය සහ බුද්ධිමය පරිකල්පනය තුළ අභිනව කම්පනයක් සිදු වී තිබේ ද යන්න වෙන වෙනම විමර්ශනය කළ යුතු වේ.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලනය මෙන්ම පුවත්පත ද ජනතාවගේ ආරක්ෂාව, යහපත උදෙසා පෙනී සිටින ගාම්භීර ව්‍යාපාර නැතහොත් ක්‍රියාන්විතයන් දෙකකි. දේශපාලනය නියාමනය කිරීමට පුවත්පතට අයිතියක් ඇත්තා සේම පුවත්පත සුරක්ෂිත කිරීම ද දේශපාලනයක වගකීමකි. දේශපාලන බලයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නිශ්චිත කාල වකවානුවක් නියම වේ. එය වසර පහක් නම් ඒ කාලය නිම වූවිට යළි අලුත් ජනවරමක් ලබාගත යුතුය. එහෙත් පුවත්පතට ජන ප්‍රසාදය පවතින තෙක් ඒ ජන සමාජය තුළ පැවතීමට බාධාවක් නැත. දේශපාලනඥයා ප්‍රතික්ෂේප කරන ආකාරයටම නොවුවද ජනතාවට පුවත්පත ද ප්‍රතික්ෂේප කළ හැකිය. ඒ දෙතැන්හිම සිදුවන්නේ විශ්වාසය බිඳ වැටීම නිසා ජනතාවට එපා වීමකි. කලකිරීමකි.
දේශපාලනයේ ගමන්මඟ දෙස ජනතාව බලා සිටින ආකාරයටම පුවත්පත දෙස ද ජනතාව බලා සිටිති. බලයට ඒමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජනතාවට ලබාදෙන දේශපාලන පක්ෂය එය ඉටු කිරීමට බැඳී සිටියි. පුවත්පත හා ජනතාව අතර ද එබඳුම අලිචිත හෙවත් නොලියවුණු ප්‍රතිපත්ති මාලාවක් වේ. සත්‍යය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට පුවත්පත ද බැඳී සිටියි. රටක ප්‍රජාතන්ත්‍රවාදයට හානි – බාධා සිදුවේ නම් ඒ රටේ පුරවැසියන්ට සත්‍යය දැනගැනීමේ අයිතිය, නිදහස අහිමි වේ. පුවත්පත් මර්දනය යනු සත්‍යයේ හා යුක්තියේ ගෙල සිර කිරීමක් ලෙස ද පිළිගනු ලැබේ. රටක විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන කුලුනු තුනට අමතරව නිදහස් මාධ්‍ය නමැති කුලුන ද වේ. ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ ද ඒ කුලුන හතර මතය. දාර්ශනික ප්ලේටෝ වරක් ප්‍රකාශ කළේ තමන් කැමති අදහසක් නිර්බාධිතව ප්‍රකාශ කළ නොහැකි නම් ඔහුට කිසිවක් හිමි නොවන බවය. එසේම ඒ අදහස සමාජය කළඹවනසුලු, ප්‍රචණ්ඩත්වයට දිරිදෙන සාහසික එකක් ද නොවිය යුතුය. පුවත්පත හා ප්‍රකාශනය සම්බන්ධයෙන් චර්යා ධර්ම පද්ධතියකට අමතරව නීතිමය විධිවිධාන ද වේ.
දේශපාලනයේදී අධිපතිවාදී මනසකින් ක්‍රියා කිරීම නිසා සිදුවන විනාශය පිළිබඳ අත්දැකීම් අපට ද වේ. පුවත්පතක් එබඳු අනම්‍ය හෝ අධිපතිවාදී නොවන ජනතා අයිතිය ගරු කරන්නකි. හෙන්රි වෝල්ටර් (ප්‍රංශ දාර්ශනික) සඳහන් කළ අගනා මූලධර්මය දේශපාලනයට මෙන්ම පුවත්පතට ද අදාළය.
“මම ඔබ පවසන දේ සමග එකඟ නොවන්නෙමි. එහෙත් ඔබට ඒ අදහස ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය මම දිවිහිමියෙන් ආරක්ෂා කරමි.”
පුවත්පත යනු දේශපාලන බලවතුන්ගේ උපකරණයක් හෝ පාපිස්සක් ද නොවිය යුතුය. එය හඬක් නැති ජනතාවගේ හඬක් සේ නැඟීසිටීමේ ධෛර්යෙන් යුතු වියයුතුය. අභීත වියයුතුය.
දැන් ජනාධිපතිවරයාගේ අවුරුද්ද පසෙක තබා දිවයින ඉරිදා සංග්‍රහයේ හතළිස් හතර අවුරුද්ද පිළිබඳ සැකෙවින් විමසා බලමු. දිවයිනේ සමාරම්භය පිළිබඳව මේ වනවිට ප්‍රබන්ධ කරන ලද පුද්ගලවාදී අලංකාර රචනා ද වේ. එහෙත් දිවයින පුවත්පත බිහිවීම යනු ඊට වඩා පුළුල් සමාජ – දේශපාලන ආමන්ත්‍රණයක අග්‍රඵලයකි. එය මෙරටේ ජාතික සංස්කෘතික අරගලයේ ප්‍රබල ප්‍රකාශනයක් ලෙස අඛණ්ඩව පෙනී සිටි පුවත්පතකි.
පුවත්පතේ ආරම්භය
80 දසකයේ මෙරටේ පුවත්පත් කලාවේ නව්‍ය වෙනසක්, ජනතාවාදී හඬක් අපේක්ෂා කළ පාඨක සමාජයක පිබිදීමක් විය. ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වනවිටත් මෙරටේ පුවත්පත් ඒකාධිකාරි බලය හිමිව තිබුණේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වලටය. ඒ වනවිට දවස, රිවි රැස වැනි පුවත්පත් නිකුත් වූයේ ද නැත. ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ආණ්ඩුවේ හොරණෑ ලෙස පවතින බව බලයට ඒමට පෙර විවේචනයට ලක්කළ ජේ. ආර්. ද බලය ලබාගැනීමෙන් පසු ඒ පිළිවෙත වෙනස් කළේ නැත. නිදහස් මතධාරියකු මෙන්ම ජගත් කීර්තියට පත් මහා පරිමාණ ව්‍යාපාරිකයකු ද වූ උපාලි විජයවර්ධනයන්ට අලුත් පුවත්පතක් නිකුත් කිරීමේ මනදොලක් පහළ වෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළෙමින් ද පුවත්පත් නිදහස මත රජයේ මුද්‍රාව වැටී තිබීමෙන් ද උද්ගත වූ තත්ත්වය නිසාය. මේ දිවයින සමාරම්භක කර්තෘ වූ ද වර්තමානය වනවිට මෙරටේ සිටින ජ්‍යෙෂ්ඨතම මෙන්ම විශිෂ්ටතම පුවත්පත් කතුවරයා ද වූ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ ආවර්ජනයෙන් බිඳකි.
“උපාලි විජයවර්ධනයන්ට අවශ්‍ය වුණේ මේ රටේ ස්වදේශිකයන්ගේ චින්තනය හා ජාතික සංස්කෘතික අභිලාෂයන් මත පදනම් වූ සංවාදශීලී ජාතික පුවත්පතක් පටන් ගැනීමටය. ඒ සඳහා නායකත්වය දීමට මෙන්ම සුදුසු කණ්ඩායමක් තෝරාගැනීමට ඔහු මා වෙත වගකීම පැවරුවේ බලවත් විශ්වාසයකින් යුතුවය.”
1981 ඔක්තෝබර් 04 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය නිකුත් වෙද්දී පාඨකයන්ට අවශ්‍ය පිටපත් සංඛ්‍යාව මුද්‍රණය කිරීමට ද අපට පහසුකම් ප්‍රමාණවත් නොවීය. “පත්‍ර නියෝජිත මහත්වරුන් විසින් ඉල්ලුම් කරන ලද දිවයින මංගල කලාපයේ පිටපත් ප්‍රමාණය සැපයීමට නොහැකිවීම ගැන අපේ කනගාටුව පළ කරමු” යනුවෙන් ප්‍රථම පුවත්පතෙහි විශේෂ පුවතක් ලෙස එය සඳහන් කිරීමට ද අපට සිදුවිය. එහි තේරුම කුමක්ද? මෙරටේ බහුතර පාඨක සංඛ්‍යාවක් දිවයින කෙරෙහි තැබූ විශ්වාසයත්, තම නෑයකු මිතුරකු සහෘදයකු එනතෙක් අපේක්ෂා සහිතව මඟ බලා සිටි ආකාරයත් නොවේද? මෙය අප ගැන දොඩන පුරසාරමක් නොව, ඉතා නිහතමානී සතුටක සැමරුමක් පමණි.
කෙසේ හෝ දිවයින ඉරිදා පුවත්පතට (පසුව 1982 පෙබ. 04දා දිනපතා දිවයින ද එක්විය.) මේ ගෙවී ගිය සිව් දසකයකට වැඩි කාලය තුළ ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල කටයුතු කිරීමට සිදු වූ අතර දැන් ජනාධිපති අනුර කුමාරගේ යුගය සමග ගමන් කරමින් සිටිමු.
ඉකුත් දසක කීපයම මෙරටේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වසයෙන් ද විවිධ කැළඹීම්, හැලහැප්පීම් සිදුවූ අතර දිවයින ඒ හැම අවස්ථාවකම අභීතව අදීනව ජනතාවගේ පාර්ශ්වයෙහි හිටගත් පුවත්පත ද විය. එනිසාම අපට බොහෝවිට ආණ්ඩු සමග ද විවිධ ගැටුම්වලට මුහුණදීමට සිදුවිය. දිවයින ජනතාව අතරට යනවිට බලයේ සිටියේ එජාප නායක ජේ. ආර්. ජයවර්ධනය. ඔහු ඒ වනවිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද සම්මත කරගෙන විධායක ජනාධිපතිවරයකු ලෙස සිය දේශපාලන සැලසුම් ද ක්‍රියාත්මක කරමින් සිටියේය. අද මෙන් විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිත නොවූ ඒ කාලයේ ජාතික පුවත් ලෙස සක්‍රීය ධාරාවක් තිබුණේ ද නැත. ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ඒකාධිකාරය බිඳී නොතිබුණත් එහි ක්‍රියාකාරි යතුර තිබුණේ ද ජයවර්ධන ආණ්ඩුව අතේය. මේ නිසා දිවයින ගමන අභියෝගාත්මක එකක් විය. රජුන් තැනීමේ දේශපාලනය සමාජගත වී තිබුණ ද රජුන් පිනවීමේ මාධ්‍ය සම්ප්‍රදාය ඒ වනවිට ප්‍රබල ලෙස ව්‍යාප්තව තිබුණේ ද නැත.
දිවයින ආරම්භ වන්නේ ම ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන සමාජ, ආර්ථික න්‍යාය පත්‍ර සමග විවේචනාත්මක හා නිරීක්ෂකයකුගේ වගකීම් ද හිස මත තබාගෙනය. දිවයින නිර්මාතෘ උපාලි විජයවර්ධනයන් ඒ වනවිට එජාප දේශපාලනය සමග යම් එකඟතාවක ද සිටියේය. එහෙත් ඔහු දිවයින පුවත්පත් සමාගම දේශපාලන මෙහෙයුමක් කිරීමට සුළු හෝ ප්‍රයත්නයක් නොගත් බව ද කෘතවේදීව සඳහන් කළ යුතුය. දිවයින දොරට වැඩියේ ආණ්ඩුවල උපකාර අනුග්‍රහ දෙස බලාගෙන ද නොවේ. දිවයින මංගල කලාපය සඳහා අපට සුබ පැතූ ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කීපදෙනෙක් සිටියත් ආණ්ඩුව ඇතුළේම විරෝධතාවක් නිසා ඒ සුබ පැතුම් කිසිවක් පළ නොකිරීමට ද අපට සිදුවිය. එපමණක් නොව, ආණ්ඩුවේ කිසිදු ආයතනයක වෙළෙඳ දැන්වීමක් පවා දිවයිනට ලබාදීම තහනම් විය. ආණ්ඩුවේ මේ ප්‍රතිචාරය දැනගත් ඇතැම් ප්‍රකට වෙළෙඳ සමාගම් පවා පියවරක් පසුපසට ගත්තේ යළි අප සමග එක්වන බව පවසමින්ය.
මේ අපේ සමාරම්භය පිළිබඳ අභියෝගාත්මක පසුබිමෙන් බිඳක් පමණි. එහෙත් මෙරටේ ප්‍රබුද්ධ ජනතාව මහා පවුරක් සේ දිවයින වටා එක්ව සිටීම අපට විශාල ශක්තියක් විය. එඩ්මන්ඩ් රණසිංහයන් සමග ලේක්හවුස් පත්තර මාලිගාවෙන් අභිනික්මන් කිරීමට එක්වූ දුලබ ගනයේ මාධ්‍යවේදියකු හා සාහිත්‍යධරයකු ද වූ දයාසේන ගුණසිංහ සමග භද්‍ර යෞවනයේ දොරටුවෙන් පිටතට පැමිණි තවත් මාධ්‍යවේදීන් පිරිසක් ද දිවයිනට එක්වූහ. ලේක්හවුස් පත්‍ර කලාවේ දැවැන්තයකු වූ සාහිත්‍යධරයකු මෙන්ම කවියකු ද වූ මීමන ප්‍රේමතිලකගේ පුත් සටන්කාමී හා විප්ලවවාදී මාධ්‍යකරුවකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක ද දිවයිනට ආවේ අලුත් මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟීමේ අපේක්ෂාවෙනි. එඩ්මන්ඩ් රණසිංහයන්ගේ අනෙක් තේරීම්වල ප්‍රමුඛතාව ද ලේක්හවුස් ආයතනයටම ලැබුණි.
ඒ වනවිට සුබසෙත කර්තෘ ලෙස සිටි දයාරත්න රණසිංහ, සිළුමිණේ සිටි නන්දසේන සූරයආරච්චි (මොහු වේලාසනින්ම දිවයිනට එක්වූ අයෙකි) මේ ලියුම්කරුවන ගාමිණි සුමනසේකර හා දිනමිණ සමග සිටි විමල් වීරසේකර, උපාලි තෙන්නකෝන්, ධර්මරත්න විජේසුන්දර හා මෙරිල් පෙරේරා (ඔහු ඒ වනවිට ලේක්හවුසියෙන් ඉවත්ව දවසට බැඳී සිටියෙකි) ඒ සමාරම්භ කතු මඬුල්ලට අයත් වූහ. එසේම හා පුරා කියා පුවත්පත් කලාවට එක්වූ තරුණයකු වූ ශාන්ත කේ. හේරත් අපේ පළමු චිත්‍ර ශිල්පියා වීමට පෙරුම්පුරා තිබීම ද විස්මිත අහම්බයකි. මේ කර්තෘ මණ්ඩලයට එක්වූ තවත් සුවිශේෂ චරිත දෙකකි. ඒ මෙරටේ සිටි ප්‍රමුඛතම කාටුන් ශිල්පී විජේසෝම හා පුවත්පත් බෙදාහැරීම පිළිබඳ විශේෂඥයකු වූ පී. ඇම්. බී. සේනාරත්නය. අප උපාලි පුවත් ආයතනයට පැමිණීමෙන් පසු ඒ වනවිට චිත්‍රමිත්‍ර පත්‍රයෙහි කතුවරයා වී සිටි ලේක්හවුස් සගයකු වූ ජනක රත්නායක ද අපට සම්බන්ධ විය.
අද අපගේ සමාරම්භක සගයන්ගෙන් කීපදෙනෙක්ම දිවංගතව සිටිති. දිවයින ඉරිදා සංග්‍රහයට අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව, නන්දසේන සූරියආරච්චි, මෙරිල් පෙරේරා, ධර්මරත්න විජේසුන්දර හා දයාරත්න රණසිංහ ද එයට අයත් වෙති. විජේසෝම හා සේනාරත්න ද සමුගෙන ගොස් සිටිති. එසේම පසුව අපට එක්වූ කසුරි නමින් ප්‍රකට කරුණාදාස සූරියආරච්චි, චන්ද්‍රසිරි දොඩන්ගොඩ හා ජයනාත් ගුණවර්ධන ද දිවිහසර නිමකර ගොසින්ය. තිස්ස වීරසේකර, විනී හෙට්ටිගොඩ, ලක්ෂ්මන් කුමාර කීර්ති, සිසිර පරණතන්ත්‍රි හා ඊටත් පසුව අපට එක්වූ තවත් අය ද වෙති. (ඒ සියලු නම් මෙහි නොදැක්වීම ගැන කමත්වා)
දිවයින ජාතික මෙහෙවර

කෙසේ හෝ අපේ ආරම්භයට වඩා වැදගත් වන්නේ අප කළේ කුමක් ද යන්නය. එය ද දීර්ඝ ඉතිහාසයක අභිමානවත් සිදුවීම් පෙළක සත්‍යමය වෘත්තාන්තයකි. (ඒ පිළිබඳ කෘතියක් එළිදැක්වීමේ ප්‍රයත්නයක් ද වේ) කුමක් වුවත් අපි යමක් කළ රටක් දැයක් වෙනුවෙන් පෙනී සිටි පුවත්පතක සාඩම්බර දායකයන් වෙමු. අපේ ඒ ඉතිහාසයේ දීර්ඝ කාලයක් මෙරටේ ජාතික නිදහස වෙනුවෙන් කළ අරගලයට ගෙවුණු අර්ථ සම්පන්න මැදිහත්වීම් සඳහා කැපවී තිබුණි. ජයවර්ධන පාලන සමයෙහි ඔහු දැඩි පීඩනයකට ලක් කළ උතුරේ ත්‍රස්තවාදීන්ගේ මැදිහත්වීම් හා 1983 කළු ජූලියෙන් පසු මෙරටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවූ ඉන්දියාවේ ඉන්දිරාගේ හා ඔහුගේ පුත් රජීව් ගාන්ධිගේ තෙරපීම්වලට ලක්වෙද්දී දිවයින ඒ කිසිවක් නොතැකූ පොදු ජන හඬ බවට පත්විය.
1974 මැයි 10 වැනිදා වනවිටත් සැඟවී සිටිමින් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතව සිටි ජ. වි. පෙ. නායක රෝහණ විජේවීර දිවයින කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයන් නමට එවූ ලිපියක මෙසේ සඳහන් කර තිබුණි.
ඔබ මෙහෙයවන පුවත්පත රටේ පළවන සෙසු ජාතික යැයි කියාගන්නා පුවත්පත්වලට වෙනස් අයුරකින් ක්‍රියාකරමින් දුෂ්කරතාවයන් යටතේ වුවත් යුක්තියත් සාධාරණත්වයත් වෙනුවෙන් හඬක් නඟන බව අප විසින් තේරුම්ගෙන ඇති බව ඉතා නිහතමානීව පවසමි.
අද රට ඉතාමත් විපත්තිදායක භයානක අවස්ථාවකට මුහුණපා ඇති බවත් ජාතිය එහි ඉතිහාසයේ දරුණුතම අර්බුදයට අවතීර්ණ වී ඇති බවත් ඔබ ද පිළිගන්නවා ඇත. පසුගිය පෙබරවාරි 05 වැනිදා ඔබ ලියූ කතු වැකිය අනර්ඝ එකකි. ඉතින් ඒ දූෂණ හා හොරකම් නිලධාරි තට්ටුවට පමණක් සීමාවූවක් ද? අද සියල්ලන්ටම වඩා දූෂණයේත් වංචාවේත් උල්පත වී ඇත්තේ දේශපාලන නායකත්වය නොවේ ද? හිල්ටන් හෝටල්, රොබින්සන් හෝටල් ආයෝජන, කොමිස් ගැහිලි ඉහළින්ම කෙරෙන හොරකම්, දූෂණ හා කොන්ත්‍රාත් දීම්, මුදල් නෝට්ටු හොරට මුද්‍රණය ආදී කී නොකී සියල්ලක්ම කියාපාන්නේ අද රට පාලනය කරන්නේ ඔටුණු පලන් චෞරයන් පිරිසක් විසින් බව නොවේද?
ත්‍රස්තවාදය මැඬීමට වහසි බස් දොඩන මේ නායකත්වය සැබෑ ලෙසින්ම ත්‍රස්තවාදයේ නිධානය නොවේද? නිකලෝ මැකියවෙලීගේ අප්පොච්චිලා බවට පත්ව ඇති මේ ඔටුණු පලන් ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්තවාදී පීඩනයට මේ වනවිට ගොදුරු වී නැති ක්ෂේත්‍රය කුමක්ද?
විජේවීරගේ දීර්ඝ ලිපියම මෙහිලා උපුටා දැක්වීමට නොහැකිය. එහෙත් ඒ දීර්ඝ ලිපිය අද කියවන එදා සිටි අයට මෙන්ම වත්මන් පාඨකයන්ට ද ජයවර්ධන පාලන සමය ගැන යම් හෝ අවබෝධයක් ලබාගත හැකි වන අතරම දිවයින කැප වූ ජාතික මෙහෙවර ගැන ද අවබෝධයක් ලැබෙනු ඇත. විජේවීර සිය ලිපියේ සඳහන් කළ කතු වැකිය ‘ජනතාවගේ රුධිරය උරාබොන පරපුටුවෝ’ යන හිසින් 1984 පෙබරවාරි මස 5 වැනි ඉරිදා පළ වූවකි. ඇත්ත වසයෙන්ම එදා මෙරටේ රජ කළ භීෂණ යටත් ත්‍රස්තවාදයටත් ආණ්ඩුවේ සිටි ‘චෞර වළල්ලටත්’ අභියෝග කළ හැකි ශක්තිය දිවයිනට ලැබුණේ ජනතාවගේ හා මේ රටට ආදරය කළ සියලු ජන කොටස්වලින්ය. දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රතිලාභ, මුදල් හා විදේශ සංචාර සඳහා නොමිලේ දෙන ගුවන් ගමන් ටිකට්පත් නොලද අය දිවයින සමග සිටිද්දී ඒ ජාතිවාදීන්ගේ කප්පම් ලද ස්වල්ප දෙනෙක් දිවයිනට පරිභව කළහ. අවලාද නැඟූහ. ඇතැම් අය අපට ජාතිවාදී හංවඩුව ද එබූහ. එහෙත් සත්‍යය හා යුක්තිය උදෙසා කැපවූ ජාතික මෙහෙවරකට එක් වූ දිවයින ගැන අපට අදත් ආඩම්බර විය හැකිය.
ලංකාවේ මැතිවරණ සිතියම හකුළා දමන්නෙමියි වහසි බස් දෙඩූ ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ක්‍රීඩාවලට එරෙහිව නැඟී සිටින්නට ද දිවයින ශක්තිමත් විය. ජනමත විචාරණය ලෙස හැඳින්වුණු කුප්‍රකට ‘ලාම්පු කළගෙඩි සෙල්ලමට’ විරුද්ධව දිවයින සිටගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තේය. සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි වනවිට දිවයින පත්‍රය නොවීය. එහෙත් පසුකාලීනව ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව විශ්ලේෂණය කළ දිවයින ගැන ජයවර්ධන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමේ පොරයට වැටී සිටි ඇමැතිවරු ද කුපිත වූහ. එහෙත් ඒ කිසිවකින් දිවයින ආණ්ඩුවට හීලෑ කරගත නොහැකි විය.
ජනාධිපති ජයවර්ධන විධායක පුටුවෙන් බැස ගිය පසු එහි අසුන්ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ද දිවයින පුවත්පත් සමග නොසන්සුන් රණ්ඩුවක් තිබුණි. ජනාධිපති රණසිංහ ඉන්දියාවේ රූකඩයක් නොවූවද ඔහුට ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විනාශ කිරීමට සැලසුමක් නොතිබුණි. ඔහුට දිවයින දිරවා ගත නොහැකි වූයේ ඒ වනවිටත් ත්‍රස්තවාදීන්ට එරෙහිව දිවයින ගෙන ගිය අරගලයට දායක වූ ආචාර්ය ගුණදාස අමරසේකර, ආචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය මංගල ඉලංගසිංහ, සූරිය ගුණසේකර වැනි විද්වතුන්ගේ සමාජ දේශපාලන විග්‍රහයන් නිසාය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වරක් පැවසූවේ ඔහුට ලැබුණේ දෙකොනම පත්තු වෙන විලක්කුවක් බවය. රටේ ඒ තරමටම භීෂණය පැතිරෙමින් තිබුණි. කොටින්ට අමතරව කොළ කොටි ප්‍රා. වැනි ඝාතන කල්ලි ක්‍රියාත්මක විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ලෙස ජවිපෙ ආශිර්වාදය සහිත භීෂණයක් ද ගලා ගියේය. මේ භීෂණ යුගය දිවයින පුවත්පත් සමූහයටම මාරක අනතුරු සංඥා නිකුත් වූ යුගයකි. තුවක්කුව කාගේදැයි නිශ්චිත නොවූ පසුබිමක අපි භීතියට පත්ව සිටියෙමු.
දිවයින ට ආ අභියෝග

දිවයින කාර්යාලයෙන් පිටත්ව ගෙවල් බලා ගිය අප පසුපස ඝාතක කල්ලි ලුහුබැඳ ආහ. උපාලි තෙන්නකෝන් ගෙදර යෑමට ගොස් ආපසු කාර්යාලයට පැමිණ වෙනත් වාහනයකින් ගිය බවක් ද මට මතකය. මගේ කාර්ය පසුපස පැමිණි අයගෙන් මිදී මාලිගාවත්තේ නන්නාහඳුනන නිවසකට රිංගා පණ බේරා ගැනීමට මට හැකිවිය. මා ගිය නිවස දිවයින පාඨකයකුගේ බැව් පසුව හෙළි විය. එතැනට පැමිණි අපේ ටයිප්සෙටිං අංශයේ ප්‍රධානි සිරි අයියා පසුව මට පාර නිරවුල් කරදුන්නේය. මෙබඳු ලුහුබැඳීම්, දුරකථන තර්ජන සියල්ල කූටප්‍රාප්තියට පැමිණියේ දිවයින කර්තෘ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ කඩුවෙල බෝමිරියේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙනි. ඒ 1988 නොවැම්බර් 30 වැනිදාය. එහෙත් අපේ පෑන් නිහඬ කළ නොහැකි විය. මා ඔබට උපුටා දක්වන්නේ අපේ සුනිල් මාධව සත්‍යවාදියකුගේ දිනපොතට ලියූ එක් අදහසකි. ඒ 1987 අප්‍රේල් 12 වැනිදාය.
“බාල සුබ්‍රමනියම් සුන්දර පත්තර කාරයෙක්. ඒ නිසාම ඔහු සුන්දර මිනිහෙක්. මිනිස්කමට ඉතාමත් සමීප රස්සාවක් හැටියට පත්තර රස්සාව මං පිළිගන්නවා. ඒකයි එහෙම හිතුණේ. තමිල්ණාඩු ප්‍රාන්තයේ ආනන්ද විෂන් පත්‍රයේ පසුගිය දිනක ලස්සන චිත්‍රයක් පළවුණා. එයින් පෙන්වල තිබුණේ එහි මැති ඇමැතිවරුන් පික් පොකට් කාරයන් සහ මං පහරන්නන් බවයි. පාර්ලිමේන්තුව ඉදිරියේ සමාව ගන්න කියල අණ කළත් ඔහු සමාව නොගෙන හිරගෙට ගියා. උන්ගෙන් සමාව ගන්නවට වඩා එල්ලුම් ගහට යන එක උනත් හොඳයි මේ වගේ පත්තර කාරයන්ට වැන්දට පව් නෑ.
සුනිල් මාධව මේ කියන්නේ පත්තර රස්සාවේ අගයත් එහි අභිමානයත් රැකිය යුතු බවය. රටක පාලනය භාර දියයුත්තේ කෙබඳු පිරිසකට ද යන්නත් ඔහු ලියන්නේ අපේ පාලක ඇත්තන්ට ද ඇසෙන මානයේ සිටය. ඒ තමයි දිවයිනේ පිළිවෙත. ඒ තමයි දිවයින ගත් මඟ.
දිවයිනට යළිත් අභියෝගයක් එල්ල වූයේ චන්ද්‍රිකා කුමාරතුංග සමයේදීය. එයට ප්‍රධානම හේතුව වූයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කළ යුතු බවට දිවයින රැඳී සිටි ස්ථාවරයයි. එදා ඉදිරිපත් වූ සුදු නෙලුම්, තවලම්, පැකේජ් ආදී හැම දෙයක්ම ව්‍යාජ ඇස්බැන්දුම් විනා ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව දිවයින ස්ථාවරය විය. චන්ද්‍රිකා ජනාධිපතිනිය එදා අපට පෙන්වූ රණකාමී විලාසයෙන් දිවයින බියට පත් වූයේ නැත. එසේ වුවද චන්ද්‍රිකා පාලන යුගයෙහි දිවයිනට පදනම් විරහිත චෝදනා එල්ල විය. ඒවායින් මගේ මතකයට නැඟෙන එක් සිද්ධියක් පමණක් මෙහිලා දක්වමි.
දිවයින ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා යුද්ධමය මෙහෙයුමකට දිරි දුන්නේ එබඳු මඟකින් විනා ප්‍රභාකරන් පරදවා මේ රට රැකගත නොහැකි බව වේලාසනින්ම දිවයිනට පෙනී ගොස් තිබුණු නිසාය. ජාති වාදය යුද වාදය දිවයිනට එරෙහිව නැඟුණේ ද ඒ නිසාය. එහෙත් දිවයින කිසිවිටක දෙමළ ජනතාවගේ අයිතීන්, හිමිකම් නොදිය යුතුය යන අන්තවාදයකට ගියේ නැත.
දිවයින අවි ජාවරම් කරන බව විකල්ප පුවත්පතක වාර්තාවක් ලෙස දැක්විණ. උපාලි පුවත්පත් සමාගම එයට අභියෝග කළේය. පසුව පුවත පළවීම ගැන සමාව අයැ ද සිටියේය. මේ ඒ සම්බන්ධයෙන් පෑන අහිංසකද? (2009) කෘතියෙහි වික්ටර් අයිවන් දැක්වූ අදහසය.
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගෙන් ලැබුණු තොරතුරක් කෙරෙහි විශ්වාසය තබා හෙළිදරව්වක් කරන්නට ගොස් මම විශාල අමාරුවකට වැටීමෙන් වැළකුණේ අනූනවයෙනි.
උපාලි විජයවර්ධනගේ මරණයෙන් පසුව උපාලි සමූහ ව්‍යාපාරය පාලනය කළේ ජනාධිපතිනියගේ මාමා කෙනකු වූ (බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයෙකි.) දොස්තර සීවලි රත්වත්තය. චන්ද්‍රිකාට සීවලි සමග ඇති කරගත් විරෝධයක් තිබුණි. ඒ කෙරෙහි මාමාගේ පුවත්පත් ව්‍යාපාරය ඇයට ආධාර නොකිරීමේ හේතුව ද බලපා තිබුණි. උපාලි සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබූ ආයුධ වෙළෙඳාමක් පිළිබඳව ඇය කාගෙන් හෝ ලබාගත් තොරතුරු ප්‍රමාණයක් මට ලබාදෙන ලද අතර එම තොරතුරුවල ස්වභාවය හොඳින් පරීක්ෂා නොකොට ඇය කෙරෙහි විශ්වාසය තබා මම ඒවා පළ කළෙමි. අවසානයේ උපාලි සමාගම මට එරෙහිව නඩු පැවරුවේය. මෙම නඩුව ඉදිරියට ගෙන ගියේනම් මට ඉල්ලා සිටි වන්දිය ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. එහෙත් එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ එක් නීතිඥයකු මා සමග තිබූ හිතවත්කම නිසා නඩුව ඉදිරියට ගෙන නොගොස් අතර මැදි සමාදානයක් ඇතිකර ගැනීමට කැමති වීම නිසා බෙල්ල හිරවන තත්ත්වයක් ඇතිවීමෙන් වැළකුණි.”
(පෑන අහිංසකද – 323 පිටුව)
පසුව ඒ පුවත අසත්‍ය බවත් එයට කනගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු පුවත්පතෙහි මුල් පිටුවෙහිම පළ කළ බවද මට මතකය. දිවයිනට මෙබඳු නඩු හබ, චෝදනා, අවලාද එල්ල වූයේ සැබැවින්ම ඒ ඒ ආණ්ඩුවල සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිවීම නිසාය. ඇත්තටම මේ අභියෝග, ආණ්ඩුවල නොසණ්ඩාල ප්‍රතිචාර කිසිවකට දිවයින නොසැලීමට ප්‍රධානම හේතුව වූයේ උපාලි විජයවර්ධනයන්ගේ මෙන්ම ඉන්පසු අපගේ ආයතනයේ පාලක අධ්‍යක්ෂවරුන් ලෙස ක්‍රියා කළ සීවලි රත්වත්තේ, ලක්මිණි ආර්. වෙල්ගම, නිමල් වෙල්ගම වැනි පාලක මණ්ඩලවල තිබුණු අභීත, අදීන හා ජාතික නිදහස මෙන්ම සංස්කෘතික අභිලාෂයන් නිසා බවද කිව යුතුමය. ඇත්ත වසයෙන්ම දිවයින පුවත්පත නිසා උපාලි සමූහ ව්‍යාපාරයෙහි තවත් ආයතනවලට ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. එහෙත් අපේ කළමනාකාරීත්වය ඉන්ද්‍රඛීලයක් සේ දිවයින මෙන්ම දී අයිලන්ඩ් පුවත්පත් වෙනුවෙන් නොසෙල් වී සිටියහ.
ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඉන්දියාව රජීව් ගාන්ධි පාලන සමයෙහි ලංකාව ආක්‍රමණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. ජයවර්ධන ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කර හෝ උතුර නැඟෙනහිර බෙදා වෙනම පාලනයකින් කොටි පිනවීමට රජීව් ගාන්ධිට තිබුණු අරමුණට අභියෝග කළේ දිවයිනය. ඉන්දු ලංකා සාම ගිවිසුම්වලට එරෙහිව දිවයින නැඟී සිටීම ඉන්දීය හින්දු පුවත්පත පවා තිගැස්සීමට ලක් කරන්නක් විය.
එඩ්මන්ඩ් රණසිංහ දේශපාලන ලියුම්කරු ලෙස ලියූ ‘ඉතිහාසය දුක්වෙන දවස’ (1987 ජූලි 16) නිසැකයෙන්ම මෙරටේ දෙවන ජාතික නිදහස් සටන අරබයා නැඟූ සිංහ නාදයක් බඳුවිය. එදා උතුරට අහසින් ආහාර දමමින් ද ඉන්දියාව අනුගමනය කළ ආක්‍රමණික ක්‍රියා දැඩිව විවේචනය කළෙත් දිවයිනය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීමට පැමිණි රජීව් ගාන්ධි අගමැතිවරයාට නාවික හමුදා සෙබළකු විසින් රයිෆල් බඳින් පහර දුන් ආන්දෝලනාත්මක ක්‍රියාව රොයිටර් ප්‍රවෘත්තියක් ලෙස දුටු බටහිර රටවල්ම අන්ද මන්ද වූවකි. දිවයින මේ ක්‍රියාව හෙළා දැක අපේ කනගාටුව (1987 අගෝ. 01) කතුවැකියක් ද ලීවේය. එහෙත් පසු දිනක එයට වැරදිකරුවකු වූ නාවික භටයා දිවයින සගයකුට පවසා තිබුණේ ඉන්දියාවේ චණ්ඩිපාට්වලට බිය නොවී කෙලින් සිටීමට දිවයිනට හැකිනම් මෙරටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ සොල්දාදුවකුට එබඳු ශක්තියක් නැත්නම් කුමකට දැයි යනුවෙනි. රජීව්ට පහර දීමේ මේ සිද්ධිය ගැන ඩික්සිට් (ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්) සිය “කොළඹ භූමිකාව’ කෘතියෙහි ද විස්තර කර තිබුණේ කම්පිත හදකින් යුතුවය. එහෙත් රජීව් ඔහුට පවසා තිබුණේ විශාල පීඩනයක් යටතේ කටයුතු කරන විටෙක එබඳු දේ සිදුවිය හැකි බවය.
දිවයිනේ අවුරුදු හතළිස් හතරක කාලයෙන් අවුරුදු විසිපහකට නොඅඩුව අපට මැදිහත්වීමට සිදු වූයේ ද මේ රට නොබෙදා ඒකීය රටක් ලෙස රැකගැනීමේ අරගලය වෙනුවෙනි. එහෙත් දිවයින මෙරටේ සාහිත්‍යය, කලා, සිනමා, සෞන්දර්ය සියලු භූමිකාවන්ට අප්‍රමාණ අනුබල අනුග්‍රහ ලබාදුන් පුවත්පතකි. ඒවා වෙනම දැක්වීම මෙවැනි ලිපියකින් කළ නොහැක. සමකාලීනව විසූ සියලුම කලාකරුවෝ දිවයින සමග සමීපව බැඳී සිටියහ. විශ්වවිද්‍යාල වියතුන්ගේ සංවාද, පර්යේෂණ ලිපි දිවයිනට ශාස්ත්‍රීය අගයක් එක් කළ අතර මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි විචාරකයන්ට දිවයින විවෘත සංවාද මණ්ඩපයක් බඳු විය. ආචාර්ය සරත් අමුණුගම මැදිහත් වූ ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල මුල්කර ගත් “කනත්තේ සංස්කෘතිය” මගේ සිහියට නැඟෙයි. කුලසේන ෆොන්සේකාගේ පාලම යට නවකතාව චිත්‍රපටයට නැඟීමෙන් පසු සිනමා කලා පිටුවෙහි පළ වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පාලම යට රැව් දුන් දෙඤ්ඤම් බැටේ විචාරය නමැති ලිපිය මෙරටේ විචාර කලාවට අලුත් විචාර ක්‍රමයක් පිළිබඳ විවාදයක් ද එක් කළේය.
මේ දෙඤ්ඤම් බැටේ යන යෙදුම සරච්චන්ද්‍රයන් ඒ දිනවල නිබඳව යෙදූ නිසා මා එයින්ම මෙම ලිපියට සිරස් තලය යෙදීම ද ආන්දෝලනයකට තුඩු දුන්නේය.
දිවයින හතළිස් හතර වසරක ආවර්ජනයන් මෙතෙකැයි මෙසේ ලියා නිමකළ නොහැක. එහෙත් සියවස් අඩකට ආසන්න ඉතිහාසය ඔස්සේ සක්මන් කරන මේ මොහොතෙහි මා තුළ නැඟෙන ආවර්ජනයන් ද බොහෝය. දිවයින එකම පවුලක් ලෙස එදා පුවත් ලොව දික්විජය කළේය. සිය ජීවිත සැදෑවේ අනූව දසකගේ සිටින අප හැමගේම ගුරුන් ද නියමුවන් ද ලෙස පමණක් නොව, සුහද මිතුරකු ලෙසින් අපට සෙවණ දුන් එඩ්මන්ඩ් රණසිංහයන්ට දිගාසිරි පතමි. දයාසේන ගුණසිංහ, නන්දසේන සූරියආරච්චි, මෙරිල් පෙරේරා, දයාරත්න රණසිංහ, ධර්මරත්න විජේසුන්දර, සුනිල් මාධව ප්‍රේමතිලක, විජේසෝම යන වෙන්ව ගිය සගයන්ද සිහිපත් කළ යුතුය. නොකල්හි සමුගෙන ගිය ජයනාත්, කසුරි හා දොඩංගේ මතක කඳුළින් බොඳ වෙද්දී මේ අසම්පූර්ණ සටහන ලියා තබමි.
ගාමිණි සුමනසේකර
Saru FM Media