දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව පැවසූවේ කොළඹ බුර්හානි සෙරන්ඩිබ් විද්‍යාලයේ ඊයේ (28) පැවැති, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් කණ්ඩායම් 66ක් සහභාගී වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයකි. “Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම තරගාවලියට සිසුන් 500කට අධික පිරිසක් සහභාගී වූ අතර දේශීය සංස්කෘතිය සහ නවීන ඉංජිනේරු විද්‍යාව මුසු වූ නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“වර්තමාන වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම රටක ජාතික ප්‍රමුඛතාවක් විය යුතුයි.
ලෝක රොබෝ ඔලිම්පියාඩ් වැනි අවස්ථාවන් හරහා අපේ තරුණ පරපුරට තර්කානුකූල චින්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැනි අත්‍යවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙනවා.
2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමත් අපේ දරුවන්ට ලැබුණු ඉතා වැදගත් අත්දැකීමක්.
දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට මෙවැනි තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ” යැයිද අවධාරණය කළාය.
මෙම අවස්ථාවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, මෙරට රාජ්‍ය නිලධාරීන් පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.





0
Saru News













