දිල්ලියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දියාව සසල වෙයි!

0
13

මරණ 13ක්: තුවාලකරුවෝ 20ක්

බෝම්බකරු වෛද්‍යවරයෙක්

ප්‍රහාරයට පෙර බුද්ධි අංශ මෙහෙයුමකින් වෛද්‍යවරුන් 4ක් අත්අඩංගුවට අරන්

ඉකුත් සඳුදා සවස දිල්ලියේ රතු බලකොටුව අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනකු මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.

මෙම පිපිරුම සඳුදා (10දා) පස්වරු 6.52ට සිදුවිය. දිල්ලි ගිනි නිවීම් සේවය ප්‍රකාශ කළේ එදින සවස 6:55ට රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවට දැනුම් දෙමින් ඇමතුමක් ලැබුණු බවයි.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ උමාර් මොහොමඩ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරු විසිනි. ඔහු වෛද්‍යවරයෙකි. ජම්මු සහ කාශ්මීරයේ පුල්වාමා හි පදිංචිකරුවෙකි. පසුගිය දින කිහිපයේ ඉන්දීය පොලිසිය හා බුද්ධි අංශ සිදු කළ මෙහෙයුමකින් හර්යානා ප්‍රාන්තයේ ෆාරිසාබාද් ප්‍රදේශයේ නිවසකින් පුපුරන ද්‍රව්‍ය ටොන් තුනක් ද, ආයුධ කිහිපයක්ද සොයා ගැනීමට හැකි විය. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ සම්බන්ධව වෛද්‍යවරුන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමයි. එක් අයකු කාන්තා වෛද්‍යවරියකි. ඇගේ නිවසින් ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන තිබිණි. ජයිෂ් මොහොමඩ් නම් අන්තවාදී කණ්ඩායමට අයත් යයි සැලකෙන මේ පිරිස ඉන්දීයාවේ නගර 20ක පිපිරීම් සිදු කිරීමට කුමන්ත්‍රණයක් කරමින් සිට තිබේ. මේ කණ්ඩායමට අයත් එක් වෛද්‍යවරයකු අතුරුදන්ව සිට ඇති අතර පොලිසිය පවසන්නේ දිල්ලියේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය සොයමින් සිටි වෛද්‍යවරයා බවයි.

මේ දිනවල භූතානයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ ප්‍රහාරය ‘කුමන්ත්‍රණයක කොටසක්’ බවත් මෙයට වගකිවයුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනෙන බවත් ප්‍රකාශ කර තිබේ. පිපිරීම හේතුවෙන් රතු බලකොටුව සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානය වසා දමා ඇති අතර රතු බලකොටුව දින තුනක් තාවකාලිකව වසා දමා තිබේ. රාජ්ධර් පාණ්ඩේ නමැති වැසියකු මාධ්‍යයට මෙසේ පැවසුවේය.

“අපි ගිනිදැල් නැගෙනවා දැක්කා. මගේ උඩුමහලට පෙනුණා. ඊට පස්සේ මම පහළට ආවා මොකද වෙන්නේ කියලා බලන්න. විශාල ශබ්දයක් ඇහුණා. බිල්ඩින් එකේ ජනෙල් හෙළවුණා. මගේ ගෙදර තියෙන්නේ ගුරුද්වාරා ළඟ” යනුවෙනි. දිල්ලි රෝහලේ ගිලන් රථ රියැදුරු මොහොමඩ් අසාද් පැවසුවේ තමා එම ස්ථානයට පැමිණෙන විට අවම වශයෙන් මළසිරුරු හතරක් බිම වැටී තිබෙනු දුටු බවයි.

“මළසිරුරු අසල වාහන ගිනිගෙන තිබුණා. මා සහ තවත් ගිලන් රථ රියැදුරන් කිහිප දෙනකු මළසිරුරු එකතු කර ගෙන රෝහලට ගෙනගියා” යනුවෙනි.

මෙම ප්‍රහාරයෙන් පසු දිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලේම ආරක්ෂාව තර කර තිබේ.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here