ලෝක සංචාරක දිනය අදයි
සැප්තැම්බර් 27 ලෝක සංචාරක දිනයයි. මෙය හුදෙක් එක් දිනකට සීමා වූ සැමරුමක් නොව, මානව සංහතියට අසීමිත වූ ආස්වාදයක් ලබා දෙන සංචාරක කර්මාන්තයේ වැදගත්කම සහ එහි වර්ධනය පිළිබඳව ලෝකයට සිහිගන්වන සුවිශේෂී අවස්ථාවකි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) විසින් 1980 වසරේදී මෙම දිනය ප්‍රථම වරට නම් කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලෝකයේ සංස්කෘතික, ආර්ථික සහ සමාජයීය අංශයන්ට සංචාරක කර්මාන්තය ලබා දෙන අසීමිත දායකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමයි. වර්තමානයේ එය ලෝකයේ විශාලතම ආර්ථික කලාපවලින් එකක් ලෙස සැලකේ. සංචාරක ව්‍යාපාරය ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, සහ විවිධ රටවල් අතර සාමය සහ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සංචාරක ව්‍යාපාරයේ විවිධ අංශයන් තිබේ. ඒ අතරින් සොබාදහමේ සිරි විඳින සංචාරකයන්, විවිධ රටවල ඉතිහාසය හා සංස්කෘතිය ගවේෂණය කරන සංචාරකයන්, වික්‍රමාන්විත ක්‍රියාකාරකම්වල යෙදෙන සංචාරකයන්, ආගමික වතාවත්වලට සම්බන්ධ වන සංචාරකයන් මෙන්ම වෙරළ තීරයන්හි නිවාඩුවක් ගත කරන සංචාරකයන් ද වේ. මේ සියලු ආකාරයේ සංචාරකයන්ට ඔවුන්ගේ රුචිකත්වයන්ට අනුව විවිධ සංචාරක අත්දැකීම් ලබාගත හැකිවීම ලෝක සංචාරක කර්මාන්තයේ විශේෂත්වයකි. එක් එක් වර්ෂයන්වලදී විවිධ තේමාවන් අරමුණු කරගනිමින් ලෝක සංචාරක දිනය සමරනු ලබයි. 2023 වසරෙහි තේමාව වූයේ සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය යන්නයි. 2024 දී, ලෝක සංචාරක දිනයේ තේමාව වනුයේ “සංචාරක ව්‍යාපාරය සහ ලෝක සාමය යි. 2025 මෙම වසරේ ලෝක සංචාරක දින තේමාව වන්නේ “සංචාරක ව්‍යාපාරය සහ තිරසාර පරිවර්තනය” යන්නයි.
සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ පැරැණිතම කර්මාන්තයකි. සියවස් ගණනාවක් පුරාවට නැගෙනහිර ආසියාව සහ යුරෝපය අතර සංචාරකයන් සංක්‍රමණයට, වෙළෙඳාමට, නැරඹීමට පැමිණියේ ලංකාව එයට කදිම දිවයිනක් වූ බැවිනි. යුනෙස්කෝව විසින් ලෝක උරුම ලෙස නම් කරන ලද ස්ථාන අටක්ම ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබීම මෙරට සංචාරක ව්‍යාපාරයේ දියුණුවට මග සලකුණු තබන්නට විය. විවිධ දේශගුණික කලාපයන්, වෙරළ තීරයන්, කඳු, දිය ඇලි, ගංගා මෙන්ම ඓතිහාසික උරුමයන්, පුරාවස්තූන්, ස්වභාවික සෞන්දර්ය, දේශීය නර්තන සම්ප්‍රදාය, වෙස් මුහුණු කලාව, කැටයම්, කලා ශිල්ප ආදී බොහෝ ක්ෂේත්‍රයන්ගෙන් ලංකාව පරිපූර්ණ වීම නිසාම සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් හිමිකර ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ගෙවී ගිය වසර කිහිපය තුළදී බිඳ වැටීමට ලක් විය. දේශපාලනික ස්ථාවරය, කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුදය ආදී විවිධ ගැටලු රැසක් සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතු විය. නමුත් 2024-2025 කාලවකවානුව තුළ සංචාරක කර්මාන්තයේ දියුණුවක් දක්නට ලැබේ. රටේ ආර්ථිකය ඉහළ නැංවීමට උපයෝගී වන එක් ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අත්‍යවශ්‍ය වේ. සංචාරකයන්ට වඩාත් නවීන සහ විවිධ වූ අත්දැකීම් ලබාදීමට රජය විසින් අවධානය යොමු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඩිජිටල්කරණයට ලක් කිරීම මෙන්ම නව තාක්ෂණයෙන් හඳුන්වා දීමට හැකි නම් ඉහළ සංචාරක අවධානයක් මෙරටට ගෙන්වා ගැනීමට අපහසු නොවේ. එසේම ලොව හොඳම සංචාරක ස්ථානය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන බ්‍රිතාන්‍යයේ Time Out සඟරාව විසින් ඔක්තෝම්බර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබීම සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුවට මඟ සලකුණු කියා පෑමකි. මෙහිදී ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුම, දිවයින වටා ඇති ආකර්ෂණීය වෙරළ තීරයන්, පෞරාණික නටබුන්, වනජීවී සෆාරි යනාදිය ද ශ්‍රී ලංකාවේ හොඳම සංචාරක ගමනාන්ත ලෙස තෝරාගෙන තිබීමද විශේෂත්වයකි. සංචාරය යනු හුදෙක් ස්ථාන නැරඹීමට වඩා එහා ගිය කාරණයකි. එය අපගේ ජීවිතයට නව අත්දැකීම් එක් කරනු ලබයි. අප නව ස්ථාන, නව සංස්කෘතීන් සහ නව මිනිසුන් හමුවීමෙන් අපගේ ලෝක දැක්ම පුළුල් කර ගනියි. එමෙන්ම, සංචාරක ව්‍යාපාරය යනු බොහෝ රටවලට ආදායම් මාර්ගයකි. දේශීය කර්මාන්ත දියුණු කිරීමටත්, රැකියා අවස්ථා බිහි කිරීමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සංචාරක කර්මාන්තය ඉවහල් වේ. සංස්කෘතිය සහ ඉතිහාසය ආරක්ෂා කිරීමට ද සංචාරක ව්‍යාපාරය බෙහෙවින් උපකාරී වේ. සංචාරය යනු සොයා බැලීමක් පමණක් නොව, එය අපගේ මානව බැඳීම් ශක්තිමත් කරන ආයෝජනයක් බවත්, ලෝකය වඩාත් සුසංයෝගී තැනක් බවට පත්කිරීමට අපට ඇති වගකීමක් බවත් මෙම දිනය අපට නැවත සිහිපත් කරයි.
ලක්මිණී විජයනායක
Saru FM Media