දියවැඩියාව හෙවත් මධුමේහය

0
1

(ඉතිරි කොටස පසුගිය සතියෙන්)

රාත්‍රී ආහාර වේල ද දහවල් ආහාරයට සමානව ගන්න නැතිනම් කැකුළු හාල් පිටිවලින් සාදන ලද ඉඳිආප්ප 07-08ක් පමණ තැම්බූ බිත්තරයක් පරිප්පු වෑංජනයක් සමග ගැනීම වරදක් නොමැත.

දිනකට වතුර ලීටර් 02ක් පමණ පානය කරන්න. දහවල් කෑමෙන් පසු සවස 3.30ත් 4.00ත් අතර සීනි රහිත පානයක් ගැනීම උචිතය.

වැදගත්ම කරුණ නම් සවස් කාලයේ එක දිගට කරන ව්‍යායාමයක යෙදීම ඉතාම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි දෙයක් හොඳයි. මෙය සතියකට දින 05ක් පමණ විනාඩි 40ක පමණ කාලයක් කළ යුතුයි.

සතියකට එක් දිනක් රාත්‍රියකට කිසිදු පිෂ්ඨය නොමැති ආහාර වේලක් ලෙස සලාද කොළ, ගර්කිං හෝ කැකිරි, තක්කාලි, බෙල්පෙපර් හා තැම්බු කැරට්, බෝංචි, ගෝවා වැනි දෙයක් මිශ්‍රකර ලුණු ගම්මිරිස් කුඩු සහිතව ගැනීම ඉතාම හොඳයි.

එලෙසම සතියකට වරක්, සවස 6.00ට පමණ සියඹලා මිශ්‍ර රසම් එකක් යෝග්‍ය වේ. දෙහි ගෙඩියක පමණ සියඹලා ගෙන වතුර කෝප්ප 1 1/2කට දියකර ඇට ඉවත්කර ගන්න. ඊට පසුව සුදුළුණු බික් 06ක් සමග රතුළුණු ගෙඩි 05ක් හා කරපිංචා ඉති 03ක් ගෙන සිහින්ව කපාගෙන කුරුඳු කුඩු ටිකක් අමුමිරිස් කරල් 01ක් කපා දමා කරදමුංගු කරල් 02, කරාබුනැටි කරල් 02ක් සිහින්ව තලා දමා උම්බලකට කුඩු තේ හැඳි 1/2ක් පමණ දමා හොඳින් නටවා ගන්න. මෙය සවස 6.00ට පමණ පානය කරන්න.

සේරකොළ තැම්බූ වතුර ද පානය හොඳයි. එලෙසම මොනරකුඩුම්බිය මුල් තැම්බු වතුර ද හොඳයි.

මෙලෙස පානය කරනවිට රුධිරයේ සීනි මට්ටම යම්කිසි පාලනයකට ලක්වේ. පසුව ආහාර ජීර්ණය ශක්තිමත් කර අග්න්‍යාසයේ සෛල වර්ධනය සඳහා ප්‍රතිකාර ආරම්භ කරන්න.

පළමුව සිහින් දිග කොළ සහිත මුකුණුවැන්න කොළ ඉවත් කර දඬු මුල් පමණක් ගෙන සෝදා පිරිසිදු කර සිහින්ව ලියා කොටා ඉස්ම මේස හැඳි 3ක් පමණ ගන්න. වතුර ඉතාම ස්වල්පයක් දමා ඝන ඉස්ම ගන්න.

ඊටපසු එළකිරිවලින් මුදවන ලද කිරි මේ සඳහා ගතයුතුයි. (වෙළෙඳපොළේ ඇති මුදවන ලද කිරි යෝග්‍ය වේ.) මෙයින් මේස හැඳි 2ක ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට ගෙන බ්ලෙන්ඩරයට දමා නිවුන වතුර කෝප්ප 1ක් දමා එයට ගම්මිරිස් කුඩු ටිකක්, සූදුරු කුඩු ටිකක්, කළුදුරු කුඩු ටිකක්, ලුණු කුඩු ඉතා ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරන්න. හොඳින් බ්ලෙන්ඩර් වුණාට පසුව මුලින් සකසාගත් මුකුණුවැන්න ඉස්ම ද දමා කලවම් කර උදේට හිස්බඩ පානය කරන්න. දින 07ක් කරන්න. මෙය පානය කළ පසු පැය 3ක් පමණ වනතුරු කිසිවක් ආහාරයට නොගන්න. උදේ පැය 3ක් ගියාට පසුව ක්‍රැකර් වර්ගයේ බිස්කට් එකක් සමග කිසියම් දියරමය සීනි රහිත පානයක් ගන්න.

ඊළඟට කළු හීනටි සහල් 30ට ඕලු සහල් 10ට පෙර දින රාත්‍රියට හොඳින් සෝදා භාජනයකට දමා වතුර කෝප්ප 3ක් පමණ දමා වසා තබන්න. උදේට ළිප තබා වතුර ප්‍රමාණය බත් ප්‍රමාණයට වනතුරු තම්බා ගන්න. ඊටපසු රණවරා යුෂ කෝප්ප 3/4ක් පමණ දමා මිටිකිරි කෝප්ප 1/2ක් දමා සුදුලූනු ටිකක් කුරුඳු කුඩු ටිකක් බැද කුඩුකරගත් උළුහාල් ටිකක් කළුදුරු කුඩු ටිකක් පදමට ලුණු ටිකක් දමා හොඳින් නටවා ගන්න. නිවුනාම හිස් බඩ පානය කරන්න. දින 14යි. ඊළඟ දින 14ක් රණවරා යුෂ වෙනුවට ඊළඟ දින 14 මුකුණුවැන්න කොළ යුෂ දමා කැඳ බොන්න. ඊළඟට හීන්බෝවිටියා කොළ යුෂ දමා කැඳ බොන්න. ඊළඟ දින 14 වැල්පෙණෙල කොළ යුෂ කැඳ සාදා බොන්න. පළමු කැඳ වට්ටෝරුව අනුව අනෙකුත් කැඳ වර්ග සාදා ගන්න.

තේ වෙනුවට, වියළාගත් අමු බෙලිකොළ 50ට, ඉඳුණු වරකා කොළ වියළා 50ට, කළුදුරු 25ට, රණවරා මල් 25ට, උළුහාල් කබලේ බැද මඳක් කුඩු කර 25ට, සූදුරු කුඩු 10ටයි සියල්ල හොඳින් කුඩුකර වරකට තේ හැඳි 1 බැගින් නටන උණුවතුර කෝප්පයකට දමා උදේට සවසට සීනි රහිතව පානය කරන්න.

මුත්‍රා නිතර වැඩිපුර යයි නම් අමුනෙල්ලි ගෙඩි ඉස්ම මේස හැඳි 2ක් ගෙන එයට ඇඟිලිතුඩුවලට අසුවන ප්‍රමාණයට වියළි කහකුඩු දමා උදේට රාත්‍රියට බොන්න.

මෙම ප්‍රතිකාර ක්‍රමය පටන් ගැනීමේදී පරීක්ෂණය කරන්න. මාස තුනකට පසුව ද යළිත් පරීක්ෂණ දෙකම කරන්න. වෙනස වටහා ගන්න.

විශේෂයෙන්ම දහවල් කාලයේදී නිදාගැනීම අහිතයි. රාත්‍රියට නිදිවැරීම ද අහිතයි. රාත්‍රියට පැය 7ක් පමණ නිදාගැනීම දියවැඩියා රෝගියකුට සුදුසුයි.

කේ. ඩබ්ලිව්. උපාලි ඉන්ද්‍රසෝම
(වතුගෙදර වෙද පරම්පරාව)
D.S.A.C.‍ (ගෞරව) ගම්පහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here