බෞද්ධ සමාජය අපහාසයට ලක් කරන මෙවැනි සංවාද බරපතළ ඛේදවාචකයක්
මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් නිවේදනයක්
පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් මෙම කාල සීමාව තුළ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත්, බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදු කරන අපහාසාත්මක සංවාද බරපතළ ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කනගාටුවට කරුණක් බවත් අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පවසති.
ශ්‍රී දළදා මාලිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මහනාහිමිවරුන් එසේ ප්‍රකාශ කර ඇත.
ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේගේ සහ ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කොට ඇත.
එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරදූර වගකීම හිමි වන දියවඩන නිලමේ ධුරයේ කටයුතු මල්වතු – අස්ගිරි උභය මහා විහාරිය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10 ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියවඩන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයකු පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත.
තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි.
ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික බෞද්ධ සිද්ධස්ථාන හා සබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමගියට හේතු වන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දිනවල බහුල වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතු වෙන සිදුවීමකි.
ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාරදූර වගකීම් පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එකී කාර්ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
විවිධ සංවිධාන හා පුද්ගලයන් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.
සමන්ති වීරසේකර
Saru FM Media