දියණියගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව ඔබටත් ගැටලුවක්ද?

0
12


දියණියක් වැඩිවිය පැමිණි දිනයේ සිට මාස්පතා නිසි ක්‍රමවත් බවකින් යුතුව ඔසප් සිදු විය යුතුය යන්න මව්වරුන් සිතන නිසාම එහි ඇති වන අක්‍රමවත් බව ඔවුන් පීඩාවට පත් කරන්නේ ඔසප් චක්‍රය එසේ අක්‍රමවත්ව පැවතීම ඇයට යම් රෝගාබාධයක් නිසා ඇති වන තත්ත්වයක්ද කියා ඔවුන් බියට පත් වෙන නිසයි. ඒ ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීම සාමාන්‍ය තත්ත්වයක්ද එසේත් නැත්නම් අසාමාන්‍ය තත්ත්වයක්ද යන්න පිළිබඳවත් එසේ වීමට හේතු මොනවාද යන්න පිඝිබඳවත් දැනුවත් වීම ඉතා වැදගත් වේ. 

වෛද්‍යතුමනි, ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය සාමාන්‍යද අසාමාන්‍යද යන්න පිළිබඳව තීරණය කරන්නේ කුමන සාධකවලට අනුවද?

ඔව්. ඔසප් චක්‍රයක් සාමාන්‍ය ද කියා සොයා බැලීමේදී  සාධක තුනක් සම්බන්ධව අපි සැලකිලිමත් වෙනවා.

ඔසප් චක්‍ර අතර ඇති පරතරය

සාමාන්‍යයෙන් ඔසප් සිදු වන්නේ දවස් 28කට වරක් බව බොහෝ විට පැවසෙනවා. ඒත් දින 28කට වරක් සෑම ගැහැනු දරුවෙකුගේම ඔසප් ඇති වන්නේ නැති විය හැකියි. එය දින 2135 ත් අතර, දින 21 න් 21ට, දින 31 න් 31 ඇති විය හැකියි. ඒ පරතරය සාමාන්‍ය පරතරයක් ලෙස අප හඳුන්වනවා. ඒත් යම් ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍ර අතර පරතරය දින 35ක් හෝ ඊට වැඩි නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වනවා. 

ඔසප් ආරම්භ වීමත් සමග පිටවන රුධිර පරිමාව

සාමාන්‍යයෙන් 80ml ලෙස පැවසුවත් එය මැනිය නොහැකියි. ඒ ගැන අදහසක් ලබා ගැනීමට පහත කරුණු වැදගත් වනු ඇත.

ඔසප් සමයේ ඇති වන වේදනාව

වේදනාව හේතුවෙන් දෛනික වැඩකටයුතු සියල්ල අවුල් වනවා නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. 

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවට බලපෑ හැකි හේතු මොනවාද?

පෝෂණ තත්ත්වය සහ ව්‍යායාම – මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න නම් නිසි පෝෂණයක් වගේම උසට සරිලන බර පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දරුවන් ක්‍රීඩාවලට යොමු වීම ව්‍යායාම වල යෙදවීමත් වැදගත්. 

මහතින් වැඩි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් බව සාමාන්‍ය ව්‍යවහාරයේ කතා වෙන දෙයක්. වර්තමානයේ අපේ දරුවෝ පිටි කෑම, ක්ෂණික ආහාර වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. වයස අඩු වුවත් දරුවන්ගේ බර වැඩි වීමට මේ ආහාර රටාව හේතුවක් වෙනවා. ශරීරය, වයසට වඩා බර පිළිබඳව සැලකිලිමත් වන නිසා ඔසප් චක්‍රය කලින් ආරම්භ වීමට එය හේතුවක් වෙනවා. වයසට වඩා උස මහත දරුවෝ කල්තියා වැඩි විය පැමිණෙන්නත් ඒක හේතුවක්. ඒ වගේම මේ හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. එයට හේතුව නිසි සමබල පෝෂණ රටාවකට හා ව්‍යායාම වෙත දරුවන් යොමු නොවීමයි. 

ජානමය  සාධක – මේ සාධක මත ඇති වන තත්ත්වයන් වයස අනුව වෙනස් විය හැකියි. එනම් යොවුන් දියණියකට  මෙන්ම වැඩිහිටි කාන්තාවකට බලපාන හේතු වෙනස් විය හැකියි. එ් වගේම ආර්තවභාවයට ආසන්නව සිටින කාන්තාවන්ට ඇති විය හැකි වෙනත් ගැටලු තිබෙනවා. මැදි වයසේ කාන්තාවකට අධික රුධිර වහනයක් පවතිනවා නම් එය ගර්භාෂයේ ඇති වන ගෙඩි එහෙමත් නැතිනම් මස්ගෙඩි ලෙස හඳුන්වන තත්ත්වය නිසා විය හැකියි. අන්න ඒ ආකාරයට ඇති වන තත්ත්වයන් වෙනස් විය හැකියි..

නව යොවුන් දියණියන්ගේ බොහෝ විට ඔසප් චක්‍රය අක්‍රමවත්. එ් ගැන සැලකිලිමත් විය යුතු තවත් කරුණු තිබෙනවාද?

ඇතැම් අම්මලා ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රය ගැන වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්නේ ඒ දරුවාගේ විවාහය ආසන්න වන විට. නමුත් ගැහැනු දරුවා වැඩිවිය පැමිණි දිනයේ සිටම ඇයගේ ඔසප් චක්‍රය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ මන්ද හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා උදාහරණයක් ලෙස ගත්තොත් තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩු/වැඩි වීම, පෝලැක්ටීන් හෝමෝනය අසාමාන්‍ය ලෙස ශ්‍රාවය වීම වැනි හේතු මත ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. අන්න ඒ නිසාම යොවුන් දරුවන්ගේ ඔසප් චක්‍රය ගැන සැලකිලිමත් වීම වැදගත්. එසේ නොවුණහොත් තවත් රෝගාබාධ තත්ත්ව ඇති වන තුරු මව්පියන්ට ඒ ගැන අවබෝධයක් ලබා ගත නොහැකියි.

වෛද්‍යතුමනි, ඔසප් චක්‍රයේ අක්‍රමවත් වූ විට ඇතැම් වෛද්‍යවරු තරුණ දරුවන්ට උපත් පාලන පෙති නිර්දේශ කරනවා. මව්වරු එය තදින්ම ප්‍රතික්ෂේප කරනවා. තරුණ දියණියන්ට උපත් පාලන පෙති වර්ග ලබා දීම අහිතකරයි නේද?

කිසිසේත්ම නැහැ. කාන්තාවන්ට ඇති රෝග බොහොමයකට අපි උපත් පාලන පෙති ලබා දීම සිදු කරනවා. ඒක අපේ සමාජයේ පවතින මිත්‍යා මතයක් පමණයි. අපි එක් එක් රෝග තත්ත්ව වලදී හෝමෝන පෙති වර්ග පාවිච්චි කරනවා. උපත් පාලන පෙති කියන්නෙත් හෝමෝන පෙත්තක්. එහි අඩංගු වෙන්නේ කාන්තා ශරීරයේ පවතින ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක පමණයි. එහිදී සිදු වෙන්නේ ඒ කාලය තුළ ඩිම්බ මේරීම අඩාල කිරීම පමණයි. පෙති නතර කළ වහාම මාස දෙක තුනක් ඇතුළත නැවතත් ඩිම්බ මේරීමට පටන් ගන්නවා. මේ පෙති අවුරුදු කිහිපයක් ගත්තත් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. 

ඇතැම් අවස්ථාවලදී යම් රෝග තත්ත්වයකදී උපත් පාලන පෙති ලබා දුන්නත් රෝගී කාන්තාවන් ඒවා ගන්නේ නැහැ. මොකද ඔවුන් දරුවන් සෑදීමට නොහැකි වේය යන බියෙන් සිටින නිසයි එහෙම වෙන්නේ. ඉතිං ඔවුන් කාලයක් ගත වෙලා ප්‍රතිකාර සදහා පැමිණෙනවා පැවතුණු රෝග තත්ත්වයටම. උපත් පාලන පෙති ගැනීම දරුවන් අහිමි කරවනවා යන මතය සමාජයේ මුල් බැසගෙන තියෙන නිසා වෙනස් කිරීම ඉතාම අපහසුයි. 

ගැහැනු දරුවකු තම ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වලක්වා ගැනීමට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

සැමවිටම ගැහැනු දරුවන් නිසි ආහාර රටාවකට වගේම ව්‍යායාම වෙත යොමු විය යුතුයි. සියලු පෝෂක අන්තර්ගත සමබල ආහාර වේලක් ලබා දිය යුතු අතරම ක්ෂණික ආහාර/අධික ලෙස මේද සහිත ආහාර අවම කළ යුතුයි. ඒ අනුව උසට සරිලන බර පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි‍.

වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙන්නේ ඒ ඒ වයස් සීමාවන්ට අදාලවයි. උදාහරණයක් ලෙස වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් සඳහා කිසියම් වූ අසාමාන්‍ය ලක්ෂණයක් ඇත්නම් පරීක්ෂණ වෙත යොමු කරලා අනතුරුව ඇති ගැටලුව නිරාකරණය කරගන්නවා. එය හෝමෝන සම්බන්ධ ගැටලුවක් නම් මාසයෙන් මාසයට හෝමෝන පෙති (උපත් පාලන පෙති) ලබා දීම සිදු කරනවා. වෙනත් ගැටලුවක් නම් ඒ සඳහාත් අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කෙරෙනවා. තරුණ ගැහැනු දරුවන්ට නම් බොහෝ විට ආහාර පාලනය මගින් බර අඩු කිරීමෙන් ඔසප් චක්‍රයේ ගැටලු මගහරවා ගත හැකියි. 

 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ
MBBS (COL),MD(OBS AND GYN),MRCOG (UK)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here