දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට දුන් පොරොන්දු දැන්වත් හරියට ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත්

0
8

ආපදා අවස්ථාවේ සියලු දෙනා එකට එකතු වී විපතට පත් ජනතාවට සහන සලසන්නට කටයුතු කළ නමුත් රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් අසාධාරණ විවේචන රැසක් සිදු වූ බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියුවේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොව මේ දිට්වා ආපදා සමයේ මිනිසුන් විසින් එකට එකතු වී සිදු කළ ආපදා කළමනාකරණය ගැන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා කියූ දේ සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා විසින් වැරදියට වටහා ගෙන රජයට ලකුණු දමාගන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ආපදා සමයේ සහන ලබා දීම උන්හිටිතැන් නැති වූ ජනතාවට නිවාස ඉඩකඩම් ලබා දීම පූර්ණ හානි අර්ධ හානි සහන ලබා දීම අද මන්දගාමී වී ඇති බවත් මේ විනාශය සිදු වූ මොහොතේ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් දුන් බවට අමාත්‍යවරයා කියු බවත් ජනාධිපතිවරයා ඒ දුරකථන ඇමතුම දෙන විට විපක්ෂය සියලු වැඩ නතර කර ජනාධිපතිවරයා හමු වී එකමුතුභාවයෙන් මුහුණ දෙන්න පැමිණි බවත් එවැනි තත්ත්වයක් උඩ 2005 අංක 13 දරණ ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය බලාත්මක නොකළේ ඇයි ද කියා ගැටලුවක් බවත් හදිසි තත්ත්වයක් බලාත්මක නොකලේ ඇයි ද කියා ගැටලු ඇති බවත් 11 වැනි වගන්තිය යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම් 12 වැනි වගන්තිය යටතේ සහන කඩිනමින් සලසන්න තිබු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පූර්ණ හානි සදහාත් ලක්ෂ 50ක් සහ අර්ධ හානි සදහා රු. ලක්ෂ 25ක් දෙනවා කියූවත් අවම වශයෙන් මරණයක් සදහා වන රු. ලක්ෂ 10 වත් හරියට දී නැති බවත් කුලියට නිවාසවලට යන අයට වන මුදල් පවා හරියට දී නැති බවත් කඳවුරුවල සිටින අයට අවදානම් තත්ත්වය හමුවේ නැවත නිවෙස්වලට යන්න යැයි කියන නිසා කඳවුරු අවම වන බවත් තහඩුවට ලබා දෙනවා කියූ ලක්ෂ 10වත් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ ආණ්ඩුව චෝදනා නොකර හරියට වැඩ කළ යුතු බවත් රජය දුන් පොරොන්දු වට්ටටෝරුවක් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න නිසි ක්‍රමවේද සකස් කර නොමැති නිසා මේ සහන නිසි පරිදි ලබා දෙන්නට නොහැකි වී ඇති බවත් සඳහන් කළේය.

දැන්වත් ජනතාවට දෙනවා කියූ සහන ටික හරියට දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේවා දෙනව කියා රු. බි. 500ක් අනුමත කර ගත්තත් ඒ කිසිවක් නොමැති බවත් මේ සහන හරියට දෙනවා නම් විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මේ ආපදාවෙන් පාඩමක් ඉගෙන ගන්න

අප රට සුනාමියෙන්වත් පාඩම් ඉගෙන නොගත් බවත් සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තා නම් නිවැරදි ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කළ හැකි බවත් දැන්වත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් සකස් කර නව ව්‍යවසායන කළමනාකරණ පනතක් ඇති කර නව ආයතන නිර්මාණය කළ යුතු බවත් මේ අවස්ථාවේ විශිෂ්ට ලෙස සේවාවක් ඉටු කළ රණවිරුවන්ට, ජනතාවට රාජ්‍ය සේවකයන්ට මෙන්ම ආධාර උපකාර කළ දෙස් විදෙස් සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූති ය සහ ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කී ය.

දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන්න

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න යැයි පුනපුනාම විපක්ෂය ඉල්ලා සිටියත් ජනාධිපතිවරයා අනේ ප්ලීස් යැයි කියමින් සිටියත් මේ අවස්ථවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවීම අවශ්‍ය යැයි පැවසූ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවේ අප රට සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී ඇති නිසා දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here