දිට්වා සියලු ආපදා ඉදිරි වර්ෂය අවසන් වන විට පිළිසකර කිරීමේ සැලසුම්!

0
4

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ඉදිරි 2027 වර්ෂය නිමාවට පත්වන විට දිට්වා ආපදා තත්ත්වය නිසා මතුවූ සියලු ආපදා සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය කටයුතු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

මේ වන විට බරපතල ආපදා 818ක් වාර්තා වී ඇති බවත් ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා මෙම වර්ෂය තුළදී ස්ථිර විසදුම් ලබා දෙන බව ඒ මහතා කීවේය.

ආපදා හේතුවෙන් අවතැන් වූ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සහ හානි වූ නිවාස වෙනුවට නිවාස ඉදි කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍යමය චෙක් පත ප්‍රදානය ලබා දීම නිමිත්තෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (02) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුකොට මෙම වර්ෂයේදී මහනුවර දක්වා දුම්රිය ධාවනයට ඒ යටතේ කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

රටේ සාමාන්‍ය සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගන්නා අතරේදී මෙවැනි ආපදා තත්ත්වයක් සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කිරීමට හැකි වුණේ රජයේ මූල්‍ය විනය විධිමත්ව පවත්වා ගැනීම නිසා යැයි කී ඒ මහතා ඇතැම් ආයතන ඉතිහාසයේ වැඩිම ආදායම් උත්පාදනය කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමත් සමඟ යැයි ද පැවසුවේය. ශ්‍රී ලංකා රේගුව 2025 වර්ෂයේදී රුපියල් බිලියන 2500ක ආදායමක්ද සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 230ක් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 2200ක මුදලක් උපයන ලද්දේ එම ආයතන සඳහා රජය ලබා දුන් නිදහස නිසා යැයි ඒ මහතා පැවසුවේය.

ආපදා සහන ලබාදීම නිමිත්තෙන් පැවැති මෙම වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් ජයමිණි බෝගහවත්ත මහත්මිය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

The post දිට්වා සියලු ආපදා ඉදිරි වර්ෂය අවසන් වන විට පිළිසකර කිරීමේ සැලසුම්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here