දැඩි කොන්දේසි මත රතන හිමිට ඇප

0
7

පාස්පෝට් එක උසාවිය භාරයට

2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කර ලේඛනයකට අත්සන් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතුරලියේ රතන හිමියන් දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය ඊයේ (12දා) නියෝග කළාය.

විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැබීමේ කොන්දේසියට යටත්ව රුපියල් දස දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය විමර්ශනවලට කිසිදු බලපෑමක් නොකරන ලෙසට ද සැකකාර රතන හිමියන්ට දැඩිව අවවාද කළාය.

ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙසට කළ දැනුම්දීම් නොතකා විමර්ශන නිලධාරීන් මගහැර සිටි රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබිණි. එසේ තිබියදී නීතිඥ ප්‍රේමසිරි පෙරේරා මහතා මගින් පසුගිය 29 වැනිදා අධිකරණයට භාර වූ උන්වහන්සේ ඊයේ (12දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබිණි.

සැකකාර අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රේමසිරි පෙරේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here