විවාහක යුවළක් දකින හීන අතරේ සුන්දරම හීනයක් තමයි දෙන්න තුන්දෙනා වෙලා දරු පැටියෙකුට අම්මෙක් තාත්තෙක් වෙන්න දකින හීනය. ඒත් කාලයක් ගිහිල්ලත් දරු හීනය හැබෑ වෙන පාටක් පේන්නම නැත්තම් ඊළඟට ඉතින් හැමෝම යන්නෙ වෛද්‍ය උපදෙස් පතාගෙන. මේ විදිහට දරුඵල ප්‍රමාද වෙන්න, එහෙමත් නැත්නම් අහිමි වෙන්න විවිධ ශාරීරික, සෞඛ්‍යමය හේතු තියෙන්න පුළුවන්. අනිත් ක්‍රම වලට උත්සාහ කරලා ස්වභාවික ගැබ් ගැනීමක් සිදු කරන්න අපහසුම වෙන තත්ත්වයකදී, එහෙමත් නැත්තම් දෙමව්පියන්ගේ ජානමය ගැටළු පවතින අවස්ථාවකදී කෘත්‍රිමව දරු පිළිසිඳගැනීමක් කරන්න භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ In Vitro Fertilization – IVF එහෙමත් නැත්තම් සිංහලෙන් කිව්වොත් නළදරු තාක්ෂණය කියන්නෙ. ඉතින් අද මේ කියන්න යන්නෙ මේ නළදරු තාක්ෂණය ගැනයි.
1. නළදරු තාක්ෂණය
නළදරු තාක්ෂණය කියල කියන්නෙ කලින් කිව්ව වගේ මොකක්හරි හේතුවක් නිසා ස්වභාවිකව ගැබ් ගන්න නොහැකි හෝ ගැබ් ගැනීම අවදානම් අයට දරුඵල ලබාගන්න සකස් කරපු ක්‍රමවේදයක්. මේකෙදි මූලිකවම වෙන්නෙ ශරීරයෙන් පිටතදී ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය කරලා සාර්ථකව හදාගන්න කළලයක් පස්සෙ නැවත ගර්භාෂයේ තැන්පත් කරලා සාමාන්‍ය දරුවෙක් වගේ හදන එක.
2. මේ තාක්ෂණයේ පිහිට පතන්න පුළුවන් කාටද?
සාමාන්‍යයෙන් දරුඵල ප්‍රමාද වෙන හැමෝටම මේ නළදරු තාක්ෂණය භාවිතා කරන්නෙ නැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. මොකද මේ IVF කියන්නෙ ගොඩක් ප්‍රතිකාර කරලා අවසානයේ තෝරගන්න ඔප්ෂන් එකක් කිව්වොත් තමයි ගොඩක්ම නිවැරදි. මෙන්න මේ කියන ගැටළු තියෙන අයට තමයි මේ ප්‍රතිකාර ක්‍රමය හොඳටම ගැලපෙන්නෙ.
- එන්ඩ්‍රොමෙට්රියෝසිස් – Endometriosis
- ශුක්‍රාණු මට්ටම අඩුවීම
- ගර්භාෂයේ හෝ පැලෝපීය නාලවල ගැටළු
- ඩිම්බනීහරණය සම්බන්ධ ගැටළු
- ඩිම්බ හෝ ශුක්‍රානු වලට හානි කරන ශරීරයේ ප්‍රතිදේහ ගැටළු
- දුර්වල ඩිම්බ ඇති අවස්ථා
- ශුක්‍රාණු වලට පැලෝපීය නාලයට ඇතුළත්වීමට නොහැකි අවස්ථා
- මවගේ හෝ පියාගේ ජානමය රෝග
3. නළදරුවන් සාමාන්‍ය දරුවන්මද?
දරු පිළිසිඳ ගැනීමේ ක්‍රමවේදය ටිකක් වෙනස් උනාට නැවත කළලය ගර්භාෂයේ තැන්පත් කළාට පස්සේ එතන ඉඳලා දිගටම ඒ කළලය වැඩෙන්නේ සාමාන්‍ය වෙනත් නිරෝගී කළලයක් විදිහටම තමයි. දරු උපත, දරුවාගේ වර්ධනය ඔක්කොම වෙනත් දරුවෝ වගේම සාමාන්‍ය විදිහට තමයි සිද්ධ වෙන්නෙ.
4. කොහොමද IVF එකක් කරන්නෙ?
සාමාන්‍යයෙන්නම් වරකට එක බැගින්නෙ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිකුත් වෙන්නේ. නමුත් මේ ක්‍රමවේදයේදී මුලින්ම කරන්නෙ මේ වැඩේට සුදුසු මට්ටමේ ඩිම්බ එකකට වඩා නිෂ්පාදනය කරන්න අවශ්‍ය හෝර්මෝන කාන්තාවගේ ශරීරයට එන්නත් කිරීම. ඊළඟට ඒ අදාළ ඩිම්බ මෝරන්නත් අවශ්‍ය හෝර්මෝන එන්නත් කරනවා. ඊටපස්සේ නියමිත වෙලාවේදී මේරූ ඩිම්බ එළියට ගන්න ඕන. මේ වෙලාව කලින්වත් පරක්කුවෙලාවත් වෙන්න බැහැ. හරිම වෙලාවට ඩිම්බ එළියට නොගත්තොතින් ඒවා සාමාන්‍ය විදිහට වර්ධනය වෙන්නෙ නැහැ. ඩිම්බ එළියට ගන්න ක්‍රියාවලිය සිදු කරන්නෙ අදාළ කාන්තාව නිර්වින්දනය කරලා.
ඊළඟට පිරිමි කෙනාගෙ සාමාන්‍ය ක්‍රමයට ලබාගත්ත ශුක්‍රානු සාම්පලයක් අරගෙන ඒ ශුක්‍ර තරලයෙන් නිරෝගී ශුක්‍රානු වෙන් කරගන්නවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ පරීක්ෂණාගාරයක් ඇතුළෙදි. ඊළඟට මේ වෙන්කරගත්ත ශුක්‍රානු ඩිම්බ එක්ක මිශ්‍ර කරලා සංසේචනය වෙන්න ඉඩ හරිනවා. ඒක කරන්නෙ නලයක් ඇතුළේ. In Vitro – In a Glass කියන නම හැදිලා තියෙන්නෙ අන්න එහෙමයි. කලින් කිව්ව ක්‍රමයට පොදුවේ ශුක්‍රානු සමඟ මිශ්‍ර කිරීම ඇරුනහම තනි තනිව ශුක්‍රානු ඩිම්බය තුළට එන්නත් කරන අවස්ථාත් තියෙනවා. හුඟක් වෙලාවට එහෙම කරන්නෙ ශුක්‍රානු වල ප්‍රමාණය හෝ ගුණත්වය අඩු අවස්ථා වලදියි.
මේ ක්‍රියාවලියට පස්සේ, ඒ කියන්නෙ ඩිම්බය ඉවත් කරගත්ත දිනයෙ ඉඳල සාමාන්‍යයයෙන් දවස් දෙකත් පහත් ඇතුළත කාලෙදි මේ සංසේචනය වූ ඩිම්බය, ඒ කියන්නෙ කළලය නැවත ගර්භාෂයේ තැන්පත් කෙරෙනවා.
5. අවදානම් තත්ත්ව
ස්වභාවික තත්ත්වයේදී නැති අවදානම් කිහිපයක්ම මේ නළදරු උපත්වල තියෙන්න පුළුවන්.
- නිවුන් දරු උපත් – එක කළලයකට වඩා ගර්භාෂයේ තැන්පත් කරපු අවස්ථාවක ඒ සියලුම කළල සාර්ථක වෙලා නිවුන් දරු උපත් සිදුවෙන්න පුළුවන්.
- නොමේරූ දරු උපත් සහ අඩු උපත් බර.
- ගබ්සාවීම් ඇතිවීම.
- ඩිම්බ ඉවත් කරගැනීමේදී ඇතිවෙන සංකුලතා.
- Ectopic Pregnancy හෙවත් පැලෝපීය නාලයන්හි ඇතිවෙන ගැබ් ගැනීම්.
- උපත් ආබාධ.
6. කොච්චර සාර්ථකද?
සාමාන්‍යයෙන් නළදරු තාක්ෂණය භාවිතා කරන අවුරුදු 35ට වඩා වයස අඩු කාන්තාවන්ට 39.6% ක සාර්ථක වීමේ ප්‍රතිශතයකුත් අවුරුදු 40ට වැඩි කාන්තාවන්ට සාර්ථක වීමේ ප්‍රතිශතය 11.5% කුත් තියෙනව කියල තමයි කියන්නෙ. සාමාන්‍යයෙන් ඉහළම සාර්ථකත්ව ප්‍රතිශතයක් මේ ක්‍රමවේදයේ නැහැ. හුඟක් දුරට මේ ක්‍රමවේදය තෝරාගන්න යුවළකට එක වරකට වඩා උත්සහ කරන්න වෙන අවස්ථා වැඩියි. හුඟක් දුරට ලංකාවේ නම් 19% ඉඳලා 36% වගේ අගයක් වෙනකන් තමා සාර්ථකත්ව අනුපාතය සඳහන් කරලා තියෙන්නෙ.
7. දරන්න වෙන පිරිවැය
ඒ වගේම තමයි මේ නළදරු ක්‍රමවේදය කියන්නෙ ටිකක් ඉහළ පිරිවැයක් දරන්න වෙන ක්‍රමවේදයක්. කලිනුත් කිව්ව විදිහට මේක හුඟක් වෙලාවට භාවිතා කරන්නෙ අන්තිම ඔප්ෂන් එක විදිහටනෙ. සම්පූර්ණයෙන්ම පැලෝපීය නාල අවහිර වුන අවස්ථාවක් හැරුනුකොට වෙන ගැටළු වලදී වෙන වෙන ප්‍රතිකාර කරල බැරිම උනොත් තමයි මේ IVF කියන විසඳුම තෝරගන්න කියල වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නෙ. ලංකාවේ පෞද්ගලික රෝහලක හෝ නැත්තම් fertilization centre එකක මේ ක්‍රමවේදය අනුව කළලයක් තැන්පත් කරගන්න අනෙකුත් ප්‍රතිකාර, පරීක්ෂණත් එක්කම බොහෝවිට ලක්ෂ 5 – 10 ත් අතරේ මුදලක් අඩුම වශයෙන් වැය වෙනවා.
The post දරු සුරතල් බලන හීනය හැබෑකරන IVF හෙවත් නළදරු තාක්ෂණය appeared first on Lifie.LK.
Saru FM Media