දරු ප්‍රසූතියෙන් පසු ‘ඇවිදීම’ ඔබට වැදගත් වෙන්නේ ඇයි ?

0
12


දරුවෙක් ලැබුනු කාන්තාවක් කියන්නේ මානසික සහ ශාරිරික සහනය ඉතාම හොඳින් අවශ්‍ය වෙන කෙනෙක්.

දරුවෙක් කුසේ තියාගෙන ඉද්දි වගේම දරුවන් ලැබුනු පසුවත් කාන්තාවකට ආදරය, කරුණාව වගේම පෝෂ්‍යදායී නින්දක් සහ හොඳ විවේකයක් ලැබීම අනිවාර්ය වෙනවා.

බොහෝවිට දරුවන් ලැබුනු කාන්තාවන් දරු ප්‍රසූතියත් සමඟ තමන්ගෙ ශරීරයේ සිදුවුන වෙනස්කම් නිසා මානසික පීඩාවන්ට පත්වෙනවා.

අනවශ්‍ය ලෙස උදරය විශාල වීම සහ පියයුරු එල්ලා වැටීම වගේ තත්වයන් මේ අතර ප්‍රධානයි.  

සමහර කාන්තාවන් සිරුරේ හැඩයේ සහ බරෙහි සිදුවන මේ වෙනස්වීම් මඟහැර ගන්න අහිතකර ආහාර පාලන ක්‍රම වලට වගේම වෙහෙසකර ව්‍යායාම වලටත් දරුවෙක් ලැබී ඉතා කෙටි කාලයක ඉඳන්ම යොමුවෙනව.

නමුත්, කිරිදෙන මවක් වගේම ප්‍රසූතියකින් පසු කාන්තාවක් ලෙස මේ පුරුදු ඔබට දැඩි හානියක් ගෙන දෙන්න පුළුවන්.

ඒ නිසයි වෛද්‍යවරු බොහෝවිට ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම සඳහා ප්‍රසූතියෙන් පසු අඩුතරමින් මාස 03 ක කාලයක්වත් බලා සිටීම අනිවාර්ය බව පවසන්නෙ. 

නමුත් මේ කාලය ඇතුළතදී වගේම නැවත ව්‍යායාම වලට යොමුවන කාලයේදීත් කරන්න පුළුවන් සරල ව්‍යායාමක් ගැන තමයි අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ.

ඒ තමයි ඇවිදීම.

ඉතිං අපි බලමු දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවකට ඇවිදීම කොතරම් වැදගත්ද කියල

මානසික පීඩනය අඩුවීම

සිරුරේ අනවශ්‍ය මේදය දහනය කිරීම

හෘද වාහීනී සහ පෙණහළු වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම

හෘදයාබාධ සහ හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීම

දියවැඩියාව, කොලෙස්‍ට්‍රෝල් මට්ටම සහ අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කිරීම

අස්ථි සහ මාංශපේෂී ශක්තිමත් කිරීම

උදෑසන කාලයේදී හෝ දවසේ ඔබට පහසු වේලාවක කෙටි වේලාවක් ඔබේ දරුවාත් එක්කම ඔබේ ගෙමිදුලේ හෝ නිවසේ ඔබට පහසු තැනක පියවර කීපයක් ඇවිදින්න ඔබට පුළුවන්.

ආශ්වාස ප්‍රාශ්වාසය ක්‍රමවත් වීමෙන් හොඳ වාතාශ්‍රයක් ලැබෙන නිසා පෙණහළු සහ රුධිර වාහීනී වල හොඳ ක්‍රියාකාරීත්වයක් ඇතිවෙනවා.   

ගස්වල කොළපාට අහස කුරුල්ලන්ගේ හඬවල් ඇසීම දැකීම ඔබේ මනසට හොඳ ප්‍රබෝධයක් ගෙන එන නිසා ඒකාකාරී බව නිසා ඇතිවන මානසික පීඩනය අඩුකර ගන්න ඔබට පුළුවන්.

දරුවා ටිකක් ලොකු වුනාට පස්සෙ ට්‍රෑම් කරත්තෙක දරුවා තියාගෙන ඇවිදින්නත් ඔබට පුළුවන්. 

විශේෂ ඇඳුම් හෝ උපකරණ කිසිවක් අවශ්‍ය වෙන්නෙ නැති නිසා වැඩි වියදමකින් තොරවම වගේම විශේෂ සූදානමක් නැතුව වුනත් ඔබට ඇවිදීම කරන්න පුළුවන්.

ඒ නිසා අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිවෙන්නෙත් නෑ. 

අධික බර එසවීම සහ නැවීම් දිගැරීම් වලින් තොර ව්‍යායාමක් නිසා දරූ ප්‍රසූතියෙන් පසුව ඉන්න ඔබේ ශරීරයට අහිතකර වෙන්නෙත් නෑ. 

බඩට කකුල් වලට සහ ඉණ ප්‍රදේශයට බලපාන ව්‍යායාමක් නිසා ඒ ප්‍රදේශ වල සම එල්ලා වැටීම අඩුකරමින් මාංශපේෂී ශක්තිමත් කිරීමටත් අනවශ්‍ය මේද දහනයටත් උපකාරී වෙනවා. 

දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් හෝ ඇවිදීම පෝෂණවේදීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි.

නමුත් දරු ප්‍රසූතියේදී ඔබ මුහුණ දුන් විශේෂ තත්වයන්, දරු ප්‍රසූතියට පෙර සහ පසු තිබූ සෞඛ්‍ය ගැටළු මත මේ කාලය අඩු වැඩි වෙන්න පුළුවන් නිසා ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වෙන්න කලින් ඔබේ වෛද්‍යවරායාගෙ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බවත් අපි මෙහිදී මතක් කරන්න කැමතියි. 

සරල වුනත් ඔබේ මානසික සහ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්න සෘජුවම දායකත්වයක් ලබාදෙන ඇවිදීමේ ව්‍යායාමය අවතක්සේරු කල යුතු නැතිබව දැන් ඔබට වැටහෙනවා ඇති. 

එහෙනම් මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත මුණගැසෙමු



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here