ශාරීරික/මානසික ගැටලු හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය අතහැරිය යුතුද?
දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සම්බන්දව දෙමව්පියන් වන ඔබට ඇත්තේ විශාල බලාපොරොත්තුවක්. දරුවෙකුට නිසි අධ්‍යාපනයක් ලබාදීමට නම් ශාරීරික වගේම මානසික සෞඛ්‍යයත් බොහෝ වැදගත් වෙනවා. බොහෝ දෙමාපියන් ශාරීරික සෞඛ්‍ය ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත් වුවත් මානසික සෞඛ්‍ය සම්බන්ධව වැඩි තැකීමක් නැහැ. නමුත් ඉගෙනීම හරියාකාරව සිදුකරන්න නම් දරුවාගේ මානසික මට්ටම ඉතා උසස් මට්ටමක තිබිය යුතුයි. ඒ වගේම ඔබේ දරුවා සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකීම පැවරෙන්නේත් ඔබටමයි.
වෛද්‍යතුමියනි, මනෝ වෛද්‍ය විද්‍යාත්මකව ඉගෙනීම කියන්නේ මොකද්ද?
ඉගෙනීම කිවුවහම අපේ හිතට එන්නේ පාසලක වාඩිවෙලා අකුරු කියන දරුවෙක්. නමුත් මනෝ විද්‍යාත්මකව ගත් කල ඉගෙනීම කියන්නේ මීට වඩා ගොඩාක් පුළුල් දෙයක්. මනෝවිද්‍යාත්මකව ඉගෙනීම කියලා කියන්නේ අත්දැකීම් එක්ක අපේ හැසිරීම් වල සිදුවන වෙනස්කම්. විෂය බාහිර ක්‍රියාකාරකම්, නැටුම් ,සෙල්ලම් කිරීම්, අනිත් අයත් එක්ක සම්බන්ධ වීම්, සමාජයේ ජීවත්වීම, තමන්ගේ දේවල් තනිවම කරගන්න ඉගෙනීම වගේ බොහෝ කරුණු ඉගෙනීමේ කොටස්. එතකොට ඒක අධ්‍යාපනයට සීමා වෙන්නේ නැහැ. අපි හිතන අධ්‍යාපනයට වඩා ඒක ගොඩක් පුළුල් දෙයක්. නමුත් අද වන විට බොහෝ දෙමව්පියන් බලාපොරොත්තු වෙන්නේ පාසල තුළ දරුවෙක් කෙතරම් හොඳට අධ්‍යාපනය ලබනවා ද කියන කාරණාව පමණයි.
පාසැලක් තුළ ඉගෙනීම ලබන දරුවන්ට දෙමාපියන්ගෙන් ලැබිය යුතු සහයෝගය කුමක්ද?
හොඳින් ඉගෙන ගන්නවා නම් දරුවෙකුට කාරණා කීපයක අවශ්‍ය වෙනවා.
වෛද්‍යතුමියනි, ඇතැම් දරුවෝ ඉගෙනීමට දුර්වලයි. ඇතැම් දරුවෝ දක්ෂයි. එය දරුවන්‍ගේ යම් යම් මානසික සංකූලතා හේතුවෙන් ඇති වෙන තත්ත්වයක්ද? සමාජ සම්බන්ධතා සමග අධ්‍යාපනය ලබා ගැනීම කියන කාරණාවට මනස කොතරම් දුරට නිරවුල්ව තබා ගැනීම වැදගත් වෙනවා ද?
විශේෂයෙන්ම කිව යුතුයි ඔබේ දරුවා තවත් දරුවෙක් එක්ක සැසඳීම අසාධාරණ බව අමතක කරන්න එපා. ඇත්තටම ඉගෙනීම අපහසු දරුවන් සුළු කොටසක් සිටිය හැකියි. එවැනි දරුවන් බුද්ධි මට්ටම අඩු දරුවන් සහ බුද්ධි මට්ටම සාමාන්‍ය වුවත් ගැටලු ඇති දරුවන් ලෙස කාණ්ඩ දෙකක් යටතේ දැක්විය හැකියි.
බුද්ධි මට්ටමේ ගැටලු ඇති දරුවන් – සමහර දරුවන් ඉන්නවා අවාසනාවකට ඒගොල්ලොන්ගෙ බුද්ධි මට්ටම සාමාන්‍ය දරුවකුගේ බුද්ධි මට්ටමට ඇවිත් නැහැ. නමුත් ඒ දරුවාට ඉගෙන ගැනීමට හැකි ප්‍රමාණය මෙපමණයි කියා එයින් කියවෙන්නේ නැහැ. ඒ දරුවාගේ මොළය වර්ධනය වුවත් එය සිදුවන්නේ ඉතා සෙමින්. මනස සෙමින් වර්ධනය වන බුද්ධි මට්ටම අඩු දරුවෙක් දියුණු තත්ත්වයකට පක් කිරීම සඳහා ඒ දරුවාට බාහිරින් ක්‍රියාකාරකම් බහුලව සිදු කරමින් උත්තේජනය ලබා දිය යුතුයි. මෙසේ අධ්‍යාපන මට්ටම පසුබෑමකින් තිපවතින දරුවන් ප්‍රමාද වී හෝ දියණු තත්ත්වයට පත් වෙනවා.
බුද්ධි මට්ටම සාමාන්‍ය වුවත් ගැටලු ඇති දරුවන් – මෙවැනි දරුවන් පාසැලේදී යම් ගැටලුවක් විමසූ විට හොඳින් පිළිතුරු දෙනවා. නමුත් පාසලේ විභාගයේදී කිසිවක් ලියන්නේ නැහැ. එහෙමත් නැති නම් කොටසක් පමණක් ලියා තබනවා. ඉතිං මේ දරුවා දෙමවුපියන්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් බැට කනවා.
වෛද්‍යතුමියනි, මෙවැනි දරුවෙකුගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය ලබා දිය යුත්තේ කෙසේද?
මේ සඳහා දරුවෙකුගේ අධ්‍යාපනයට බලපාන යම් හේතුවක් මත අපිට විවිධ ක්‍රම යොදාගත හැකියි.
දරුවාගේ මට්ටම හඳුනාගෙන ඒ දරුවා සමග වැඩිපුර වැඩ කරන්න වෙනවා. ඊට අමතරව දරුවාගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කුසලතාවයන් ලබාදිය යුතුමයි. මොකද ගොඩක් වෙලාවට අපි අධ්‍යාපනයට අවධානය දුන්නට දරුවාට ස්වාධීනව දරුවා ලොකු මහත් වෙලා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ ස්වාධීනව සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කුසලතා ලබා නොදෙන්න පුළුවන්. මොකද විශේෂයෙන් බුද්ධි මට්ටම අඩු දරුවෙකු ගැන දෙමව්පියන්ට අනුකම්පාවක් ඇතිවෙනවා. දෙමව්පියන් ඒ ගැන පසුතැවෙනවා. තාමාගේ වරදින් දරුවාට එසේ වූ බව දෙමාපියන් සිතනවා. ඒ නිසා දරුවාට හැමදේම දෙන්නත් හැමදේම කරලා දෙන්නත් දෙමාපියන් පෙළඹෙනවා. නමුත් ඒක දරුවාට දීර්ඝකාලීන වශයෙන් අපි කරන අකටයුත්තක්. අපි දරුවාව සමාජ ගත කරද්දී ආත්ම ශක්තිය ඇති ස්වාධීනව ජීවත් විය හැකි පුද්ගලයෙකු ලෙස සමාජගත කළ යුතුයි. ඒ නිසාම බුද්ධි මට්ටම අඩු දරුවෙකුගේ කුසලතා වර්ධනය ඉතාමත්ම වැදගත්.
ඒ වගේම දරුවාගේ වෙනත් හැකියාවන් හඳුනා ඒ ඔස්සේ දරුවා ඉදිරියට යැවීමෙන් දරුවාගේ ආත්ම අභිමානය දියුණු වෙනවා. එසේ නැතිනම් දරුවා නව යොවුන් වියට පත්වෙද්දී අනිත් අය හා තමාව සන්සන්දනය කරමිනි තමා අසාර්ථක කිසිවක් නොහැකි අයෙක් ලෙස සිතා මානසිකව ඇද වැටෙනවා. අන්න ඒ නිසා දරුවාගේ ආත්ම අභිමානය දියුණු කරන්න දරුවා දක්ෂ දේකට අපි ඔහු/ඇය යොමු කළ යුතුයි.
සුවිශේෂී අධ්‍යාපන ගැටලු ඇති දරුවෙකු නම්, ඉගෙනුම් කටයුතු සාර්ථක කිරීමට සුවිශේෂී දේවල් කළ යුතුයි. සමහර දරුවන්ට ලියන්න අපහසු උනත් බුද්ධි මට්ටම ඉහළ නිසා වාචිකව යමක් හොඳින් වටහා ගෙන පිළිතුරු ලබා දිය හැකියි. ඒ නිසා විභාග වලදීත් දරුවා ඉදිරියට ගෙන යාම සඳහා විවිධ ක්‍රම යොදා ගත හැකියි. දරුවන්ගේ ආත්ම අභිමානය ඉහළ නංවන්න දරුවා දස්කම් පෙන්වන දේ වෙනුවෙන් යොමු කළ හැකියි. එසේ නොමැතිව ඉගෙනීමටම තල්ලු කරන්නට හැදුවොත් දරුවාටත් ඒක අපහසු නම් විශේෂයෙන් අපේ අධ්‍යාපන රටාව තුළ දරුවාටත් තරගකාරී බවට මුහුණදෙන්න අපහසු නම් දරුවා මානසිකව වැටෙනවා. ඒ නිසා අපි හැමවිටම දරුවාගේ දක්ෂතාවයන් වලට යොමු වෙන්න සහ දරුවාට සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගන්න දරුවාට සහය විය යුතුයි.
ඒ වගේම අඩු අවධානය සහ අධි ක්‍රියාකාරීත්වය තියෙන දරුවන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දිය හැකියි. ඔටිසම් තත්වය තියෙන දරුවෙකුටත් සුවිශේෂී ක්‍රම ඔස්සේ ඒ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් සහය විය හැකියි.
කෙසේ වුවද මෙවැනි දරුවන්ගේ සියලු කාර්යයන් සිදුකරදෙමින් ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය/හුරුව ලබා නොදීම දෙමාපියන් අතින් සිදුවන විශාල වරදක් බව අමතක නොකළ යුතුයි. ඔබ නැති දිනක දරුවා අසරණ තත්ත්වයට පත් නොවන්නට නම් ජීවත් වන ආකාරය දරුවාට හුරු කළ යුතුම බව වටහා ගන්න.
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය
Saru FM Media