දෙමාපියන්ගේ එකම පැතුම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී සමාජයේ හොඳ පුරවැසියෙක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන්නට මව්පියන් පසුබට වන්නේ නැහැ. ඒත් දරුවන්ට මොන දේ ලබා දුන්නත් ඇතැම්විට මව්පියන් බලාපොරොත්තුවන තරමේ දියුණුවක් දරුවන් තුළින් දැක ගැනීමට හැකියාවක් නැහැ. ඇතැම් විට දරුවන් සිටින තත්ත්වයෙන් තවත් පහළට වැටී සිටිනවා විය හැකියි. මව්පියන් බොහෝ සෙයින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උනන්දු වන නිසාම නිරෝගි මානසික මෙන්ම කායික සෞඛ්‍ය තත්ත්වයක සිටින දරුවන්ගේ අධ්‍යාපන මට්ටම එක්වරම පහළ වැටීමට හේතු මොනවාදැයි කතා කරමු.
ඇතැම් දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් උපරිම කැප වෙමින් ඉදිරියට ගියත් නිරෝගි මානසික මෙන්ම කායික සෞඛ්‍ය තත්ත්වයක සිටින ඒ වගේම දුර්වලතාවයන් නොපෙන් වූ දරුවන් වුවත් අධ්‍යාපනය කටයුතුවලදී එක්වරම පහළ බැස්මක් දැකිය හැකියි. මෙය දෙමාපියන් ඉතා කණස්සල්ලයට පත් වෙන තත්ත්වයක්. එවැනි තත්වයකදී අපි ඉතා උනන්දුවෙන් බලන්න ඕනේ ඇයි මේ දරුවා මෙහෙම වෙනස් උනේ කියලා.
හොඳට වැඩ කර කර හිටපු දරුවෙක් එකපාරට වෙනස් වුනොත් එයට හේතුව,
මෙවැනි දරුවන්ගේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය දෙස බැලුවොත් මෙවැනි දරුවන් මේ ගැටළු එක්ක විශාදය වැනි මානසික සෞඛ්‍ය රෝගයකට වුණත් පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් විභාගයට බොහෝ කල් තිබේ නම් දරුවා ටිකක් පාඩම් කරනවා අඩුයි. මොකද එතැන ලොකු ආතතියක් නැහැ. විභාගය ලං වෙත්ම පොඩි ආතතියත් එක්ක දරුවාගේ හැකියාවන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. නමුත් මේ මානසික ආතතිය නිසා දරුවාගේ දක්ෂතා පෙන්වීමේ හැකියාව අඩු වෙන එක් අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව වෙනකොට අපි ඒකට කියන්නේ මානසික පීඩනයක්. මේක හොඳ ආතතියක් නෙමෙයි. මේක දරුවාට නරක විදිහට බලපාන, දස්කම් පෙන්නන්න අපහසු කරන පීඩනයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ පිටින් එන ආතතිය වැඩි වෙන්න, වැඩි වෙන්න දරුවාගේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. එතකොට දරුවාගේ දක්ෂකම් පෙන්වීමට තියෙන හැකියාව බොහෝ වෙලාවට අඩුවෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අවාසනාවකට තමන්ගේ ජීවිතයට පවා හානි කරගන්න පෙළඹෙන දරුවෝ සිටිනවා. ඒක නිසා ඉගෙනීමේ ගැටලුවක් එනවා නම් අපි ඒක රතු සංඥා සලකුණක් ලෙස බැලිය යුතුමයි. එතැනදී මේ තත්ත්වය කායික ගැටලුවක් නිසා සිදුවෙන දෙයක්ද මානසික ගැටලුවක් නිසා සිදුවෙන දෙයක්ද යන්න පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි.
ඒ වගේම අපි විශේෂයෙන්ම කතා කළ යුතුයි අද වන විට පාසල් දරුවන් බිලි ගන්නට සැරසී සිටින මත්දුව්‍ය උවදුර ගැනත්. මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වී ඇති ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙන තත්ත්වයක් සමාජයේ තියෙනවා. එක නිසා දෙමව්පියන් දරුවන් කෙරෙහි අවධානයෙන් ම ඉන්න ඕනේ. දරුවා ටික ටික ලොකු වෙනවා කියලා දරුවත් එක්ක තියෙන සම්බන්ධය අඩු කරල දරුවෝ කොහේද යන්නේ කියලා සෙවිල්ලෙන් නොසිටියොත් අපිට අපේ දරුවන් රැකගන්න අපහසුයි. දරුවාට යම් ස්වාධීනත්වයක් නිදහසක් දීම අවශ්‍ය නමුත් දරුවා අශ්‍රය කරන පුද්ගලයන් වගේම දරුවා යන එන තැන් කාලය ගත කරන්නේ කා සමගද යන කරුණ සම්බන්ධව මනා දැනුවත් වීමක් මව්පියන් සතු විය යුතුයි.
අන්තර්ජාලයට ඇබ්බැහි වීමත් අද වන විට බහුල ප්‍රශ්නයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම උසස් පෙළ කරන දරුවන් අතරේ මේ තත්ත්වයය වැඩි වී ගෙන යනවා. සමහර දරුවන් ඉන්නවා අන්තර්ජාල ඇබ්බැහිවීම නිසා එක තැනම වාඩි වෙලා නිරාහාරව මුළු දවසම ගත කරන සමහර දරුවන් සිටිනවා. මෙවැනි තත්ත්වයන් විශ්වාස කිරීමට පවා නොහැකි වුවත් අද පවතින තත්ත්වය ඒ වගෙයි. අන්න ඒ නිසා දරුවෙකු අන්තර්ජාලය භාවිත කරනවා කොපමණ වේලාවක්ද? අන්තර්ජාලයේ දරුවා කරන්නේ මොනවාද යන්න ගැන අවබෝධයක් දෙමාපියන්ට තිබිය යුතුයි.
අපේ දරුවන් අපේ ජීවිතයයි. එක්වරම දරුවෙකුගේ අධ්‍යාපන මට්ටම පහත වැටුණේ නම් ඒ ගැන සැලකිලිමත් වීම අනිවාර්ය වනු ඇත. දරුවා නිසි උපදේශන සහ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වන්නේ දරුවාගේ අනාගතය නැවතත් ගොඩ නඟන්නට හැකි ඉක්මනින් දරුවා සුව අතට හරවා ගත යුතු නිසයි.
දරුවන් වෙනුවෙන් උපරිම අවධානයක් ලබා දිය යුතුම වටපිටාවක අද වන විට අප ජීවත් වේ. අන්තර්ජාලය, මත්ද්‍රව්‍ය ඒ වගේම දරුවන් අපචාරයන්ට ලක් වීම යන ගැටලු දිනපතා අසන්නට ලැබීම සැබවින්ම අවාසනාවකි. දරුවාගේ අධ්‍යාපනය සාර්ථකව සිදු කර ඔහු/ඇය සමාජයට වැඩදායී පුද්ගලයෙකු බවට පත් කිරීමට සහය විය හැක්කේ මෙවන් ගැටලුවලින් දරුවා මුදවා ගැනීමෙන් බව දැන් ඔබට වැටහෙනු ඇත.
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය
රිජ්වේ ආර්යා ළමා රෝහල
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය
Saru FM Media