දරුවන්ගේ යාලුවෝ

0
10


දරුවන්ගේ යාලුවෝ 

වැඩිහිටි අපට, අපේ දරුවන්ගේ යාළුවන් තෝරලා බේරලා දෙන්න බැහැ, නමුත් හොඳ මිතුරන්  හා නිවැරදි මිතුරන් තෝරා ගන්නේ කොහොමද කියන එක අපිට එයාලට කියලා දෙන්න පුළුවන්. හොද නැත්තම් කළ්‍යාණ මිත්‍රයෙක්ට තියෙන්න ඕන ගුණාංග මොනවද ? ඒවගේම කළ්‍යාණ මිත්‍රයින් ආශ්‍රයට තෝරාගන්නේ කොහොමද? කියන එකට මඟපෙන්වන එකයි අපි විසින් කළ යුත්තේ.

දරුවාට නිවැරදි සන්නිවේදනය, මිත්‍රත්වයේ පක්ශපාතීත්වය පවත්වාගෙන යාම,  අනොන්‍ය සහයෝගය, විරුද්ධමත ඉවසීම වගේම රිදවන හැඟීම්වලින් වලින් මිදෙන හැටි උපායශීලීව කියාදීම තිබෙන්නෙ අපි අතේ. ඉතින් ඒක කරන්නේ කොහොමද? 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 4-5 වෙනකොට තමයි අපේ දරුවන්ට යාළුකම් ගොඩනගා ගැනීම සහජ ඉව ලැබෙන්නේ. පන්තියේ මිතුරන්, අසල්වැසි ළමයින්, ඥාති සහෝදර සහෝදරියන් වගේ මේ ඕනම කෙනෙක් එක්ක මේ වයසෙදි යාලුකම්පටන් ගන්න අපේ දරුවෝ උත්සහ කරනවා.

වයස අවුරුදු හතර ලබන්න කළින් නම් අපේ  දරුවෝ කැමති  එකිනෙකාගෙන් වෙන්වෙලා තනිව ගොඩනැගෙන්න. සෙල්ලම් බඩු උනත් බෙදාහදාගන්න වැඩි කැමැත්තක් නැත්තේ ඒ නිසයි.  එයාලා එයාලගෙම ලෝක වල එක එක සෙල්ලම් කරමින් ජීවත් වෙනවා. මේවා ඇත්තටම ගත්තොත් එයාලගෙ වයසට හරිම ගවේශණාත්මකයි..

ඒත් අවුරුදු හතරෙන් පස්සේ දරුවෝ යාලුවෙක් එක්ක  සමඟ සුහදව වැඩ කරන්නේ කොහොමද?  තව කෙනෙක් කැමති දේකට එකඟ වෙන්නේ කොහොමද?  කොටින්ම කිව්වොත් සහකම්පනය  සහ සංවේදනය හෙමින් ඉගන ගන්න පටන් ගන්නවා.

ඔන්න මේ අවස්තාවේ තමයි දෙමාපියන් විදිහට අපේ මැදිහත්වීම් ඕන කරන්නේ. අපි වැඩිහිටියන් විදිහට අපේ යාළු මිත්‍රයන් ආශ්‍රය කරන්නේ කොහොමද? විශ්වාසය සහ ගෞරවය ලබා දෙන්නෙ කොහොමද කියන කාරණා අපි නොදන්නවා උනාට අපේ පුංචි දරුවෝ ගවේශණය කරනවා.දරුවන් ඉන්න තැන්වල විවේචන, පුද්ගලික අපහාස, බේදබින්න කිරීම් කරන්න එපා කියන්නෙ ඒ නිසයි. 

අපි අපේ මිතුරන් එක්ක සන්නිවේදනය කරන්නේ කොහොමද?  අදහස් බෙදාහදා ගන්නේ කොහොමද? මේ හැමදෙයක්ම අපේ දරුවන්ගේ නිරීක්ශණයට අපි නොදැනුවත්ම ලක්වෙනවා. දරුවන්ගේ මුල් ගුරුවරු වෙන්නෙ දෙමාපියන් නිසා මෙතනින් තමා ඔබේ දරුවාගේ ඉදිරි කාලයේ යාලුමිත්‍රකම් වලට මූලික පදනම වැටෙන්නෙ.

 

 

මේක සරළ පාඩමක්, අපිට පුලුවන්  අපේ දරුවාව ඔහු හෝ ඇය කැමතිම නැටුම් පන්තියට, සංගීත පන්තියට හෝ පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් වලට යොමු කරන්න.එකම දෙයකට කැමැත්ත තියෙන අයගෙන් බොහෝ විට දරුවා ප්‍රතික්ෂේප වෙනවා අඩුයි. ඉතින් ඔහුට හෝ ඇය ආසම කැමතිම දේකදි එයාට ගැළපෙන මිත්‍ර සන්ධානය එයා හදාගනීවි.

ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ මිතුරාගේ ජයග්රහණයේදී සතුටු වීමටත්, පරාජයේදි මිතුරා හැර නොයෑමටත් කියා දෙන්න. මිතුරාගේ ජයග්රහණයකදි අවංකව සුභ පැතීම හොඳ දරුවෙකුගේ ලක්ෂණයක් කියලා දරුවාට ඒත්තු ගැන්විය හැක්කේ අපටම පමණයි. දරුවාගේ හොඳම යාලුවා පන්තියේ පළමුවැනියා වෙලා නම්, ඔබ දෙමාපියන්ගෙන් කෙනෙක් විදිහට දරුවාගේ මිතුරාගේ දෙමාපියන්ට දුරකතන ඇමතුමක් දීලා ඔබේ දරුවා ඉදිරිපිටම සුභපතන්න තරම් නිරහංකාර ඊර්ෂ්යාවකින් තොර කෙනෙක් උනොත් නොවරදවාම ඔබේ දරුවාත් ඔබව අනුගමනය කරනවාමයි.

 

 

ෙන්න මේක නිසයි ඔබ දරුවන් ඉදිරියේ කිසිම කෙනෙක් හෙළා දැකලා පහත හෙළලා කතා නොකළ යුතු. ඒවගේම කෙනෙක් නැති තැනක ඒ කෙනාගේ වැරැද්දක් විවේච්නය නොකළ යුතු. ඔබේ දරුවා වෙන මිතුරෙක්ගේ යම් දෙයක් ඔබ ඉදිරියේ විවේචනය කරන්න ආරම්භ කල වහා එය නවත්තන ඉදිරිපත් වෙලා ඒ වෙනුවට ඒ මිතුරාව අගය කරන්න ඔබ මූලික වෙන්න. නැත්නම් අනාගතේදී ඔබේ දරුවන් අනිවාර්යයෙන්ම හිත හදන්නෙක් වෙනුවට හිතකඩන්නෙක් වෙයි. එතකොට ඉස්සෙල්ලම කැඩෙන්නේ ඔබේ හිත වෙන්නත් පුළුවන්.

 

 

නිවසේ සහෝදර සහෝදරියන් දෙන්නෙක් අතර වුනත් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් යාලුවො     අතර මේ දේ සිද්ධ වෙනවා. නිවසේදී මත ගැටුමක් ඇති වුනාම ඔබ දෙමව්පියන් විදියට එය හසුරවන විදිහ ඉතාම වැදගත්. දෙපාර්ශවයටම හොඳින් ඇහුම්කන් දෙන බවත් ,දෙපාර්ශවයේම අවශ්යතා ගැන අසා හොඳ සන්නිවේදනයක යෙදෙන බවත් දරුවාට ඒත්තු ගන්වන්නට ඕනේ. ආන් එතකොට දරුවෝ ඉගෙන ගනීවි හොද සංවාදයකින් සහ සන්නිවේදනයකින් විරුද්ධ මත කළමනාකරණය කරගත හැකි බව

 

 කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ ඉතා වටිනා කිරුළක්. ඔබේ දරුවාගේ අත ඔබට ජීවිත කාලය පුරාම අල්ලගෙන ඉන්න බෑ. ඔහුව හෝ ඇයව සමාජයට ගැටෙන්න අපි මුදා හරින්න ඕන.  ඔබේ දරුවාගේ හොඳම මිත්‍රයා, හොඳම මිතුරිය වෙන්න හැමදාම  ඔබට  බෑ. ඒ පරම සත්‍යය දෙමාපියන් විදියට අපි තේරුම් ගත යුතුයි. සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුල් පාඩම් අපි කියලා දෙන්න ඕනේ අන්න ඒ නිසයි. දරුවාට අවශ්‍ය කෑම බීම, රැකවරණය, ආදරය වගේම කල්‍යාණ මිත්‍රත්වයත් ගොඩනඟා ගන්න හැටි අපි දරුවාට කියලා දෙන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට හොඳ ඇහුම්කන් දෙන මිත්‍රයෙක් හිදීම මූල්‍යමය වටිනාකමට ලඝු කරන්න බැරි තරම් විශාල සහනයක්. ඉතින්  ලෝකයේ හොඳම දේ අපේ දරුවන්ට නම්, ඒ අයට  ලෝකයේ වටිනාම කළ්‍යාණ  මිත්‍රත්වයත් ලඟා කරගන්නා හැටි අපි කියලා දෙමු.

දෙමාපියන්ට ආදරයෙනි.

 

  

               

 

   

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here