දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක් 

0
3

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා පවසයි. 

ඒ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ කම්කරු සේවිකාවක් සහ වෘත්තීය සමිති සේවකයාට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ඇඳුම් මාරු කරන කාමරයකට පැන තමන්ට වෘත්තීය සමිති නායකයෙකු පහරදුන් බව කියමින්, එහි කම්කරු සේවිකාවක් රෝහල් ගතවී ඇත. 

කෙසේවෙතත් එම රෝහල් කම්කරු සේවිකාව කොස්සකින් පහර දුන් බව පවසමින් වෘත්තීය සමිති නායකයා ද දඹුල්ල රෝහලටම ඇතුලත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි. 

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කනිෂ්ඨ සුළු සේවකයන් රෝහල් කම්කරුවන් අතර මේ දිනවල දිගින් දිගටම උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. 

ස්ථාන මාරු ලැබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව එහි සේවකයෝ කියති. 

දීර්ඝ කාලයක් රෝහලේ සේවය කළ බොහෝ දෙනෙකුට මේ වන විට විවිධ රෝහල්වලට ස්ථාන මාරු ලැබි තිබේ. 

ඒ අනුව මෙම ස්ථාන මාරු ලබා දුන්නේ වෘත්තීය සමිති නායකයාගේ අවශ්‍යතාවය පරිදි බව බොහෝ සේවකයන් චෝදනා කරන්නට වූ බවට තොරතුරු වාර්තා වෙයි.

එවැනි පසුබිමක පහරකෑ බව කියන සේවිකාව තවත් සේවිකාවක් සමඟින් ඇඳුම් මාරු කරන කාන්තා විවේකාගාර කාමරයේ කතාබහක නිරතව සිට ඇත. 

එම අවස්ථාවේදී  සිද්ධියට සම්බන්ධයැයි පැවසෙන වෘත්තීය සමිතිය නායකයකු වන රෝහල් කම්කරු පැමිණ තමාට දැඩි ලෙස පහර දුන් බව අදාළ හෙදිය චෝදනා කරයි. 

ස්ථාන මාරු පිළිබඳව ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හේතුවෙන් උරණවී තමාට අමානුෂික ලෙස කම්මුල්වලට හිසට පහරදී බිත්තියේ හිස වද්දවා ගෙන පහර දුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පහර දුන් බවට චෝදනා එල්ලව ඇති සමස්ත ලංකා සුව සේවා වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී නායකයා ද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් ආත්ම ආරක්ෂාවට එම සේවිකාවට පහර දුන් බවය.

තමන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියදී තමාගේ නම ප්‍රකාශ කරමින් තවත් සේවිකාවක් සමඟ බැන වදමින් සිටි බව ඔහු පැවසීය. 

ඒ අනුව තමන්ට කරුණු විමසීමේදී කොස්සක් රැගෙන මෙම සේවිකාව පහරදුන් බවත් ඒ අනුව තමන් ද ඇයට පෙරළා පහර දුන් බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් ස්ථාන මාරු සිද්ධීන්වලට කිසිදු සම්බන්ධතාවයක් නැති බවද හෙතෙම පවසයි.  

තමන්ට පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටින බවද ඔහු කීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here