දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රු. මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්

0
11

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළේය.

ඒ අනුව, අදාළ විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට නියෝග කරන ලදී.

ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 24ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ  පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණි.

මෙම නඩුව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සිය සේවා දායකයා මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විසින් අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව විනිසුරුවරයා විසින් ඔහුට මෙම දඩුවම් නියම කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here