තමන්ගේ දත් වලට ආදරේ නැති කෙනෙක් නැහැනේ? දත් වලට ආදරේ වෙන්න එක හේතුවක් තමයි තමන්ගේ බාහිර රූ සපුවට දත් වලින් ඉෂ්ට වෙන මෙහෙය. ඒ කියන්නේ, දත් අවපැහැ ගැන්විලා නම්, දත් පිළිවෙලක් නැතුව තියෙනවා නම්, දත් වැටිලා නම් ඒකෙන් තමන්ගේ පෙනුමේ වෙනසක් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හැබැයි දත් වලට ආදරේ වෙන්න ඕන ප්‍රධානතම හේතුව ඒක නෙවෙයි. දත් ආරක්ෂා වීම නැතිනම් දන්ත සෞඛ්‍යය කියන්නේ අපේ සෞඛ්‍යයේ වැදගත් කොටසක් වීම තමයි ප්‍රධාන හේතුව. දත් නැතුව කොහොමද කෑමක් වුනත් හපලා ගිලින්නේ? ඒ වගේම දත් වල ප්‍රශ්න ආවහම තියෙන අමාරුව කොහොමද? ආන්න ඒ නිසා තමන්ගේ දත් රැකගන්න පොඩි කාලේ ඉඳලම යම් යම් ක්‍රමවේද අනුගමනය කරන එක වටිනවා. ඒ කරන්න ඕන දේවල් ඉස්කෝලේ කාලේ ඉඳලම අනන්තවත් කියලා දෙයවා. හැබැයි ගොඩක් දෙනෙක්ට තමන්ගේ දත් ආරක්ෂා කරගන්න ඕන කියලා මතක් වෙන්න නම් දත් කැක්කුම්, විදුරුමස් ආසාදන එහෙම එන්න ඕන. ඒත් කමක් නෑ. දැන් ඉඳලාවත් මේ දන්ත සෞඛ්‍ය පුරුදු පිළිපැද්දොත්, ඉස්සරහට හරි තමන්ගේ දත් ආරක්ෂා කරගන්න පුළුවන්.
1. දිනකට දෙවරක්
මෙන්න පුංචි කාලේ ඉඳලම කියලා දෙන, හැබැයි අපි වැඩි දෙනෙක් මලාට කරන්නේ නැති වැඩක්. දිනකට දෙවරක් දත් මැදීම. ඕක කොයි තරම් අමාරු දෙයක්ද? දත් මැදලා මූණ කට හෝදගෙන එන්න ඕන නම් විනාඩි පහක් දහයක් යයි. හැබැයි අපිට දවසේ පැය විසිහතරෙන් විනාඩි පහක දහයක ඒවා දෙකක් ඕකට වැය කරන්න බැරි තරමට බිසීද? නෑ, ඇත්තටම තියෙන්නේ අපේ කම්මැලිකම. ආන්න ඒ නිසා අද ඉඳලාවත් හිතට ගමු උදේ සහ සවස දත් මදින්න. එහෙම දත් මදින්න හොඳම වෙලාව කෑම කෑවට පස්සේ කියලා තමයි ඔය දත් දොස්තර මහත්තුරු කියන්නේ. හැබැයි අපිට පුළුවන් අර දවසට දත් මදින දෙපාර ඇරෙන්න, ලොකු කෑම එකක් කෑවට පස්සේ වුනත් දත් බෙහෙත් නැතුව බ්‍රෂ් එකෙන් විතරක් පොඩ්ඩක් දත් මදින්න. ඒකෙන් කටේ රැඳිලා තියෙන කෑම අංශු අයින් වෙලා යයි.
හැබැයි එකක්: නිකම්ම දත් මැද්දට බෑ. හරියට දත් මදින්නේ කොහොමද කියලත් ඉගෙන ගන්න ඕනා!
2. හරියට දත් මදිමු
දත් ආරක්ෂා කරගන්න නම් හරියට දත් මදින එකත් අනිවාර්ය කාරණාවක්. මොකද දිනකට දෙපාරක් නෙවෙයි, දහපාරක් දත් මැද්දත් වැඩක් නැහැ, දත් මදින්නේ හොරට නම්. දත් මදිනකොට අනිවාර්යයෙන්ම මෘදු කෙඳි තියෙන, හරියට නැමුම් තියෙන දත් බුරුසුවක් තෝරගන්න ඕන. දත් බුරුසුවේ කෙඳි තැලිලා, නැවිලා යන්න පටන් ගන්නකොටම අලුත් දත් බුරුසුවකට මාරු වෙන්න ඕන. දත් මදිනකොට ඕනෑවට වඩා තද කරලා අතුල්ලන්න යන එකෙන් විදුරුමසට හානි වෙන්න පුළුවන්. දත් මදින කොට ආහාර ගැටෙන පෘෂ්ට සහ ඉදිරිපස දත් විතරක් නෙවෙයි, හක්කේ ඇතුළේ තියෙන දතුත් හොඳට මදින්න ඕන. ඒවගේම දත් වල ඇතුල් පැත්තත් මදින්න ඕන. අන්තිමට දිවත් හරියට මදින්න ඕන. මොකද නැතිනම් දිවේ වුනත් ආහාර අංශු සහ ඒවා නිසා හැදෙන ප්ලෑක් කියලා හඳුන්වන ස්ථරයන් ඉතුරු වෙන නිසා.
3. දත් බෙහෙත්
දත් බෙහෙත් තෝරගන්න ගියහම අපිට වෙළෙඳපොළේ දකින්න පුළුවන් එක එක ජාතියේ, එක එක පාට දත් බෙහෙත්. මේ දත් බෙහෙත් වල ගහලා තියෙන විදියට එව්වට එක එක මැජික් කරන්න පුළුවන්. හැබැයි ඩොක්ටර්ස්ලා කියන්නේ එක දෙයයි. ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලේපයක් තෝරගන්න. ඒ කියන්නේ අඩුම තරමේ දත් බෙහෙත් කොටස් මිලියනයකට ෆ්ලෝරයිඩ් කොටස් 1000ක් වත් තියෙන දන්තාලේපයක් තෝරාගන්න කියලා. ෆ්ලෝරයිඩ් ප්‍රමාණය දත් බෙහෙත් එකේ ගහලා තියෙනවා.
දැන් ඔය දන්ත සංවේදීතාවය තියෙන අයට වුනත් විශේෂිත දත් බෙහෙත් වර්ග තියෙනවා. ඒකට ඩෙන්ටිස්ට්ව හම්බුවෙන්න ඕන නෑ. හැබැයි ඒ දත් බෙහෙතෙන් දන්ත සංවේදීතාවය හොඳ වෙන්නේ නැතිනම් ඩෙන්ටිස්ට් හම්බුවෙන්න යන්න වෙනවා.
4. ෆ්ලොස්
ෆ්ලොස් කරනවා කියන එක ඇත්තටම අපිට ආගන්තුක දෙයක්නේ. හැබැයි ඇත්තටම ෆ්ලොස් කරනවා කියන්නෙත් දන්ත සෞඛ්‍යයට අවශ්‍යම කාරණයක්. ඩෙන්ටල් ෆ්ලොස් කියන්නේ බොහොම සිහින් නූල් වගේ ජාතියක්. මේකෙන් කෑල්ලක් කඩලා අරගෙන දත් අස්සේ තියෙන සියුම් ආහාර අංශු ඉවත් කරන්න පුළුවන්. ඩෙන්ටිස්ට්ලා කියන්නේ දවසකට එක පාරක් හෝ ෆ්ලොස් කරන්න කියලා තමයි. ඇයි දත් මැද්දහම මදිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. දත් මදින්න ඕන. හැබැයි ෆ්ලොස් කිරීමෙන් කරන්නේ දත් බුරුසුවේ කෙඳි වලට ඉවත් කරන්න බැරි තරම් සියුම්ව දත් අස්සේ තියෙන අංශු ඉවත් කරන එක. හැබැයි එකක්, ෆ්ලොස් කරන වැඩේ හරියට කරන්න ඕන. ඒ වගේම ෆ්ලොස් එකෙන් විදුරුමසට හානි නොවෙන විදියට ෆ්ලොස් කරන්නත් වගබලා ගන්න ඕන.
5. වතුරත් බොමු
සමහරු ඉන්නවා කෑම කාලා වතුර බොන්නෙ නෑ. අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. කෑම කාලා හොඳට වතුර බොන්න ඕන. කට හෝදන්නත් ඕන. කොහොමත් හොඳට වතුර බොන එක ශරීර සෞඛ්‍යයට හොඳයිනේ. ඒක දන්ත සෞඛ්‍යයටත් ඒ විදියටම හොඳයි.
6. සමබල ආහාර
මෙන්න මේකත් බොහොම වැදගත් කාරණයක් කෙනෙක්ගේ සමස්ථ සෞඛ්‍යයට. අපිට දැන් කාලේ ගොඩක්ම කන්න සිද්ධ වෙලා තියෙන්නෙත්, අපි කන්න පුරුදු වෙලා තියෙන්නෙත් ක්ෂණික ආහාර. හැබැයි දන්ත වෛද්‍යවරු කියනවා දිගින් දිගටම ඒ විදියේ කෑම කන එකෙන් සමස්ථ ශරීර සෞඛ්‍යයට වගේම දන්ත සෞඛ්‍යයටත් අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා හොඳ තන්තුමය කොටස් තියෙන සමබල ආහාර පුරුදු ඇතිකරගැනීමත් තමන්ගේ දත් රැකගන්නත්, සමස්ථ ශරීර සෞඛ්‍යයම රැකගන්නත් හොඳ දෙයක්.
7. පැණි රස සහ ආම්ලික කෑම අඩුවෙන්, දුම්පානය අඩුවෙන්
පැණි රස කෑම වගේම ආම්ලික කෑම වැඩි වැඩියෙන් කන එක කොහොමත් ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියලා දොස්තරවරු කියනවනේ. හැබැයි මේ විදියේ කෑම විශේෂයෙන්ම දත් වලටත් හොඳ නැහැ. පැණි රස සහ ආම්ලික ආහාර දිගින් දිගටම ගන්නකොට දත් වල එනැමලය දිරායන්න පුළුවන්. ඒ වගේම තමයි දුම්පානය. මේ දේවල් දීර්ඝකාලීනව කරනවා කියන්නේ, පසුකාලයක් වෙනකොට දත් වල සෞඛ්‍ය සම්පන්න භාවයට ගුඩ් බායි කියන්න වෙනවා කියන එක තමයි.
8. ඩෙන්ටිස්ට් අංකල් ගාවටත්
සාමාන්‍යයෙන් අපි හැමෝටම ඩෙන්ටිස්ට් කෙනෙක් කියන්නේ ටිකක් බියජනක කෙනෙක්. හැබැයි අපි හැමෝම හොඳ දන්ත සෞඛ්‍යයක් පවත්වා ගන්න නම්, අවුරුද්දකට දෙවතාවක්වත් දන්ත වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න යා යුතුයි. ඒ කියන්නේ අපි උඩින් කියපු යහපත් දිනපතා දන්ත සෞඛ්‍ය පුරුදු ටක්කෙටම අනුගමනය කරන කෙනෙක් වුනත්, දන්ත වෛද්‍යවරයෙක්ව මාස හයකට සැරයක්වත් මුණගැහෙන්න ඕන. ඒ කියන්නේ මොනවා හරි පිරිසිදු කරන්න අවශ්‍යද, දත් වල වෙනත් මොකුත් ප්‍රශ්න තියෙනවද කියලා බලාගන්න ඕන නිසා. මොකද, දත්වල ප්‍රශ්නයක් ඇතිවෙලා අපිට ඒක වේදනාකාරී විදියට දැනෙන්න පටන් ගන්න කලින්ම ප්‍රශ්නෙට පිළියම් කරන එක හොඳයිනේ. අන්න ඒ නිසා.
The post දත් රැකගන්නේ මෙහෙමයි! දන්ත සෞඛ්‍යය ආරක්ෂා කරගන්න අපෙන් උපදෙස් කීපයක්!! appeared first on Lifie.LK.
Saru FM Media