දකුණ හොල්ලන්න ලේ හලන පාතාලයේ ගිනිකෙළි…

0
1

ඝාතන සැකය කරන්දෙණියේ සුද්දා දෙසට

දකුණේ ඝාතන නිසා පාතාලයට සම්බන්ධයක් නැති අයත් ගම්බිම් අතහැර යන තත්ත්වයක්…

ඝාතනය වූ වැඩිම පිරිස අහිංසක මිනිසුන්…

උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය ඝාතනයට දෙහිගෙදර බාලේ මල්ලී උදව් කළා දැයි සැකයක්

ලෙයට ලෙයින් පළිගන්නා පාතාල වෛරය මුළු දකුණු පළාතම භීතියට පත්කර හමාරය. දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සිටින පාතාල කණ්ඩායම් කිහිපයක් එකිනෙකා මරා ගනිමින් පාතාල යුද්ධයකට අවතීර්ණව සිටිති. ඉවක් බවක් නොමැතිව සිදු වෙමින් පවතින පාතාල මිනිස් ඝාතන නිසා දකුණේ ජනතාව භීතියෙන් කම්පනයට පත්ව සිටිති.

කොයි මොහොතක, කුමන ස්ථානයක ටී 56 උණ්ඩ ගිනිපුළිඟු මෙන් පිටවෙනවා දැයි කිව නොහැක. ඒ තරමටම දකුණ අවිනිශ්චිතය, බියකරුය. පාතාල කල්ලිවල සාමාජිකයන්ගේ ඥාතීත්වය දරණ උන් පමණක් නොව පාතාලයට සම්බන්ධයක් නැති නීතිගරුක නිරායුධ මිනිසුන් පවා අද ජීවත්වන්නේ දැඩි භීතියකින් යුතුවය.

දකුණේ නිමක් නැති පාතාල පළිගැනීම්:

පාතාල මැරයන් බොහෝවිට ඉලක්ක කරන්නේ සිය ප්‍රතිවිරුද්ධ කල්ලිවල ගනුදෙනුවක් ඇති පුද්ගලයන්ය. එහෙත් දැන් දැන් සිදුවෙමින් පවතින්නේ පාතාල ඉතිහාසයේ පවා සිදුනොවූ අසන්නටවත් නොලැබුණු පළිගැනීම්ය.

පසුගිය මාස කිහිපය තුළ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් වාර්තාවන්නේ අහිංසක මිනිසුන්ය. අපරාධයකට තබා පාතාලයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වර්තමාන පාතාල මැරයන්ගේ තුච්ච බව මනාව විදහාපාන තත්ත්වයක් බවට පත්ව තිබෙයි.

එදා පාතාල මැරයන් අතර පුංචිම පුංචි හෝ සදාචාරයක් පැවතුණේය. එහෙත් මේ වනවිට ඒ තත්ත්වය සපුරා වෙනස්ව ගොසින්ය. දකුණේ පාතාල කරළියේ රඟදක්වන නපුංසක චණ්ඩින් අහිංසක මිනිස් ජීවිතවල වටිනාකම තඹදොයිතුවකටවත් මායිම් නොකර ඔවුන් අමු අමුවේම ඝාතනය කරමින් සිටිති.

මේ පාතාල මැරයන් එකිනෙකාට රිද්දවා ගැනීමට පාතාලයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය කරමින් සිය ම්ලේච්ඡත්වය රටටම පෙන්වමින් සිටිති.

මීටියාගොඩින් ඇරඹෙන ඝාතන:

පසුගිය මාස කීපය තිස්සේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ පාතාල ප්‍රහාරවලින් බහුතරයක් මැරුම් කෑවේ අහිංසක මිනිසුන්ය.

මේ මිනීමැරුම් දාමය ආරම්භ වන්නේ මීටියාගොඩින්ය. ඒ මහදුර නලීන් ඝාතනය කිරීමත් සමගය. මහදුර නලීන් යනු පාතාල අපරාධකාරයකු නොවුවද ගමේ චණ්ඩියෙකි. මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය.

නලින්ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ද කුඩා කල සිටම චණ්ඩිකම් කරන්නට වූහ. මේ සිය පුත්‍ර සමාගම මීටියාගොඩ ප්‍රදේශය පුරා සිය බලය ව්‍යාප්ත කරගනිමින් සිටියහ.

කරන්දෙණිය මීටියාගොඩ, ඇල්පිටිය, අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියේ කරන්දෙණියේ සුද්දාය. මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම කුලී මිනිස් ඝාතන කප්පම් ගැනීම් ඇතුළු බරපතළ අපරාධවල නිරතවෙමින් සිටි කරන්දෙණියේ සුද්දා ඒ ප්‍රදේශවල කිසිවකුටවත් හිස එසවීමට ඉඩ තැබුවේ නැත.

එහෙත් මීටියාගොඩින් ඉස්මතු වූ මහදුර නලීන් සහ ඔහුගේ දරුවන් කරන්දෙණියේ සුද්දාට ප්‍රසිද්ධියේම අභියෝග කරන්නට වූහ. කරන්දෙණියේ සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවන්ට එරෙහිව මහදුර නලීන් හඬක් නඟන්නට පටන් ගත්තේය.

මේ ක්‍රියාවන් මහදුර නලීන්ගේ ආයුකාලය කෙටි කරවීමට සමත් විය. තමන්ට එරෙහිවන ඕනෑම පුද්ගලයකු මරාදැමීමට කරන්දෙණියේ සුද්දා පසුබට වුණේ නැත. මහදුර නලීන්ට මරණ වරෙන්තු නිකුත් විය.

නලීන් ඝාතනය:

පසුගිය මැයි මස 03 වැනිදා රාත්‍රියේ මහදුර නලීන් සිය පුත්‍රයා ද සමග මීටියාගොඩ එරනවිල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් වෙත යන්නේ බියර් පානය කිරීමටය. නලීන්ගේ මිතුරන් කීපදෙනකු ද එහි වූහ.

ඔවුන් පැය කීපයක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බියර් පානය කරමින් සිටියහ. කරන්දෙණියේ සුද්දා තම පාතාල කල්ලියේ අළුගෝසුවන් පිරිසක් සූදානම් කරගෙන සිටියේ අවස්ථාව එනතුරුය. ඔත්තුකරුවන් මාර්ගයෙන් සුද්දාට තොරතුරක් ලැබුණේය.

සුද්දාගේ පාතාල කුලී ඝාතකයන් එරනවිල පිහිටි අවන්හල වෙත කඩා වැදුණේය. ඒ වනවිට නලීන්ගේ පුත්‍රයා බියර් බෝතල් කීපයක් ගෙන ඒමට ඒ ස්ථානයෙන් පිටව ගොස් සිටියේය. සුද්දාගේ කුලී ඝාතකයන් අවන්හල දෙවනත් කරමින් මහදුර නලීන් ඇතුළු පිරිසට ඉවක් බවක් නොමැතිව වෙඩි තබන්නට වූහ.

ඒ වනවිට නලීන් සහ ඔහුගේ මිතුරකු වූ වඩු කාර්මිකයකු වෙඩි ප්‍රහාරයට ලක්ව අවසන් ගමන් ගොස් සිටියහ. තවත් කීපදෙනෙක් තුවාල ලැබූහ.

කරන්දෙණියේ සුද්දා තමන්ට අභියෝග කළ මහදුර නලීන් පරලොව යවමින් ඔහුගේ වෛරය පිරිමසා ගත්තේය. එහෙත් මේ ඝාතනය මිනිස් ඝාතන දාමයක ආරම්භය වනු ඇතැයි කිසිවකුත් නොසිතුවා වියයුතුය.

තම පියා වෙඩි තබා ඝාතනය කිරීම ගැන මහදුර නලීන්ගේ පුත්‍රයන් සිටියේ දැඩි වෛරයෙන් යුතුවය. කරන්දෙණියේ සුද්දාගෙන් පළිගන්නා මාර්ග සොයමින් ඔවුන් සැලසුම් සකස් කරන්නට වූහ.

කරන්දෙණියේ සුද්දා විදේශගතව සිටි නිසා ඔහුගෙන් පළිගැනීම පහසු කටයුත්තක් නොවීය. එසේ නම් කළයුත්තේ සුද්දාගේ සමීපතමයකු මරා දමා ඔහුට රිද්දවීමය. ඔහුගෙන් පළිගැනීමය.

මහදුර නලීන්ගේ පුත්‍රයන් දෙදෙනා කරන්දෙණියේ සුද්දාට සමීප පුද්ගලයන් ගැන සොයා බලන්නට වූහ. නලීන්ගේ පුත්‍රයන් තමන්ට කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට අරඅඳිමින් සිටින බව කරන්දෙණියේ සුද්දාගේ කන වැකුණේය. එතැන් පටන් සුද්දා නලීන්ගේ පුත්‍රයන් ලුහුබඳින්නට වූහ. ඔවුන් දෙදෙනාට මරණ වරෙන්තු නිකුත් කළ සුද්දා සිය පාතාල ඝාතකයන් යොදා ඔවුන් මරා දැමීමට සැලසුම් කරන්නට වූහ.

සුද්දාගෙන් එල්ලවන තර්ජන හමුවේ තම ජීවිතය ආරක්ෂා කරගැනීමට නලීන්ගේ බාලපුත්‍රයා විදේශගත වුණේය. නලීන්ගේ අනෙක් පුත්‍රයා වූ ඉසුරු ද ගම රට අතහැර ආරක්ෂිත ස්ථානයක සැඟවුණේය. නලීන්ගේ පවුලේ සමීප ඥාතීන්ට ද සිදුවුණේ සිය උපන් ගම්බිම් හැර යෑමටය.

කරන්දෙණියේ සුද්දාගෙන් දිගින් දිගටම එල්ලවන තර්ජන ගර්ජන හමුවේ නලීන්ගේ පුත්‍රයන්ගේ වෛරය ද දිනෙන් දිනම දලු ලා වැඩෙන්නට වුණේය. තම බාල සොහොයුරා ද සම්බන්ධ කරගෙන කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයකු මරා දමා තම පියා ඝාතනය කිරීමේ වෛරය පිරිමහ ගන්නට ඉසුරු සැලසුම් කළේය.

කරන්දෙණියේ සුද්දාගෙන් පළිගන්න උණාකූරුවේ ශාන්තගේ හයියක්:

කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වරුෂවිතාන මිරන්ත ඝාතනය කිරීමේ සැලසුම සකස් වන්නේ ඒ අනුවය. මිරන්ත ඝාතනයට කුලී ඝාතකයන් දෙදෙනෙක් යොදාගැනීමට ඉසුරු සැලසුම් කළේය. ඒ වනවිට මහදුර නලීන්ගේ පුත්‍රයන් දෙදෙනා දකුණේ පාතාල කෙළිකාරයකු වන උණාකූරුවේ ශාන්ත සමග ද සබඳතා ගොඩනඟාගෙන සිටියහ.

කරන්දෙණියේ සුද්දා ඒ වනවිට දකුණේ පාතාලයේ මහා කෙළිකාරයකු බවට පත්ව සිටියේය. සුද්දාගේ පාතාල කල්ලිය සමග සටන් කිරීම පහසු කටයුත්තක් නොවන බව නලීන්ගේ දරුවන් හොඳින් දැන සිටියහ. ඔවුන් උණාකූරුවේ ශාන්ත සමග සමීප සබඳතා ගොඩනඟා ගත්තේ සුද්දා සමගකරන සටනට හයියක් ලබාගැනීම සඳහාය.

උණාකූරුවේ ශාන්ත සහ කරන්දෙණියේ සුද්දා අතර කාලයක පටන් දැඩි වෛරයක් පැවතුණහ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නලීන්ගේ පුත්‍රයන් දෙදෙනා සුද්දාට ප්‍රහාර එල්ල කිරීම සඳහා උණාකූරුවේ ශාන්තගේ සහාය ලබාගන්නට සැලසුම් කළෝය.

තම පියා ඝාතනය කිරීමේ පළිය ගැනීමට කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වූ මිරන්ත ඝාතනයට උණාකූරුවේ ශාන්තගේ සහාය ලැබෙන්නේ ඒ ආකාරයටය.

මිරන්ත මරා දැමීම සඳහා අවශ්‍ය වූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය ලබාදී තිබුණේ උණාකූරුවේ ශාන්ත විසින්ය. කුලී ඝාතකයන් නලීන්ගේ පුත්‍රයන් වෙත සැපයීම සඳහා ද උණාකූරුවේ ශාන්තයේ සහාය ලැබී තිබිණි.

නොවැම්බර් 05 වැනිදා උදෑසන මිරන්ත අම්බලන්ගොඩ නගරය වෙත යන්නේ තම අවශ්‍යතාවන් කීපයක් ඉටුකර ගැනීම සඳහාය. එහෙත් එදින මහදුර නලීන්ගේ පුත්‍රයා වූ ඉසුරු සූදානමින් සිටියේය. ඉසුරු පමණක් නොව පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු ද තම ඉලක්කය සපුරාගන්නට සූදානමින් සිටියහ.

මිරන්ත යතුරුපැදියේ නැඟී අම්බලන්ගොඩ නගරය දෙසට යද්දී රතු පැහැති මෝටර් රථයකින් ඔහු ලුහුබැඳ යන පාතාල කුලී ඝාතකයන් දෙදෙනා අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ඉදිරිපිටදී ක්‍රියාත්මක වුණේය.

කුලී ඝාතකයන් මිරන්තට වෙඩි තැබුවෝය. කුලී ඝාතකයන්ගෙන් බේරී යෑමට ඔහු නොගත් උත්සාහයක් නැත. එහෙත් කරුමය තිබුණේ මිරන්තගේ පැත්තේය. ඔහු පාතාල කුලී ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්විය.

මිරන්ත අපරාධකරුවකු නොවීය. ඔහුට තිබූ එකම චෝදනාව වූයේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල මැරයාගේ මස්සිනා වීම පමණය. සුද්දා කළ පාපකර්ම හමුවේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමට මිරන්තට සිදුවිය. තමාගෙන් පළිගැනීමට නොහැකි වූ තැන තම මස්සිනා මරා දමා වෛරය පිරිමසා ගැනීම ගැන කරන්දෙණියේ සුද්දා පසුවුණේ දැඩි වෛරයකින් යුතුවය.

ලෙයට ලෙයින් පැළිගැනීම ක්‍රියාත්මක වෙමින් තිබුණේය. මහදුර නලීන්ගේ පුත්‍රයන් දෙදෙනා ඒ වනවිට ආගිය අතක් නැත. ඔවුන් මරා දැමීමට සුද්දාට හැකියාවක් තිබුණේ නැත. ඒ නිසාම නලීන්ගේ පවුලේ සාමාජිකයකු මරා දමා ලෙයට ලෙයින් පළිගැනීමට කරන්දෙණියේ සුද්දා සැලසුම් කළේය.

තම පාතාල රාජධානියේම සිට තමන්ට අභියෝග කරන මේ කොලු කුරුට්ටන් දෙදෙනා ගැන කරන්දෙණියේ සුද්දා තුළ පැවතියේ දැඩි වෛරයකි. මේ අතර තම මස්සිනා මරා දැමීමට උණාකූරුවේ ශාන්තගෙන් සහායක් ලැබුණු බවද කරන්දෙණියේ සුද්දාගේ කනවැකුණේය. ඒ වනවිට උණාකූරුවේ ශාන්ත සිටියේ විදේශගතවය. ඔහුගෙන් පළිගැනීම පහසු නැත.

උණාකූරුවේ ශාන්ත:

තමන්ට සිදුකළ නොහොබිනා වැඩේට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට කරන්දෙණියේ සුද්දා සැලසුම් කළේය. උණාකූරුවේ ශාන්තගේ පවුලේ සමීපතමයකු මරා දමා ඔහුට රිද්දවීම සුද්දාගේ සැලසුම විය.

මේ ප්‍රහාර දෙකම එකවිට සිදුකිරීම උණාකූරුවේ ශාන්තගේ සැලසුම වී තිබුණේය.

මහදුර නලීන්ගේ බාල නැඟණිය තිදරු මවක වූවාය. 45 වන වියේ පසු වූ ඇය කිසිම අපරාධයකට සම්බන්ධ නැති අහිංසක කාන්තාවක වූවාය. ඇගේ සැමියා රුසියාවේ රැකියාවක් කිරීමට සූදානමින් සිටියේය. එහෙත් ඒ රැකියාවට යෑමට පෙර ඔහු අවසන් ගමන් ගියේය.

නලීන්ගේ නැඟණිය සිය දරු තිදෙනා ද සමග අසරණ වූවාය. දරුවන් තිදෙනා ජීවත් කරවීම සඳහා ඇය මිටියාගොඩ ප්‍රදේශයේ අවන්හලක මුදල් අයකැමිවරියක ලෙස සේවය කළාය.

එහෙත් මාරයා පරාජය කිරීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත. මහදුර නලීන්ගේ නැඟණිය වීම ඇය කළ එකම වරද විය. කරන්දෙණියේ සුද්දා තම වෛරය පිරිමසා ගැනීමට තෝරාගෙන සිටියේ මේ අහිංසක කාන්තාවය. නොවැම්බර් මස 17 වැනිදා දිවා කාලය ගෙවී ගොස් රාත්‍රිය උදාවෙමින් තිබුණේය. නලීන්ගේ නැඟණිය මීටියාගොඩ පිහිටි අවන්හලේ දෛනික කටයුතු නිම කරමින් සිටියාය. රාත්‍රි 8.00 පසුවිය. නාඳුනන තරුණයන් දෙදෙනෙක් අවන්හල වෙත ඇතුළු වුණේය. නලීන්ගේ නැඟණිය සිතුවේ ඔවුන් මත්පැන් පානය කිරීමට එන ගනුදෙනුකරුවන් කියාය. අවන්හලට ඇතුළු වුණේ කරන්දෙණියේ සුද්දාගේ පාතාල අළුගෝසුවන් බව නලීන්ගේ නැඟණිය දැන සිටියේ නැත. පාතාල මැරයන් දෙදෙනා ක්‍රියාත්මක වුණේය. ඔවුන් මහදුර නලීන්ගේ නැඟණියට වෙඩි තබා ඝාතනය කර අඳුරේම පලා ගියෝය.

කිසිවකුටත් වරදක් නොකළ ඒ අහිංසක කාන්තාව අවසන් ගමන් යන්නේ මහදුර නලීන්ගේ නැඟණිය වීමේ වරදටය.

තම මස්සිනා ඝාතනය කිරීමට සහාය දුන් උණාකූරුවේ ශාන්තට පාඩමක් ඉගැන්වීමට කරන්දෙණියේ සුද්දා ඒ වනවිටත් සැලසුම් සකස් කරගෙන සිටියේය.

කරන්දෙණියේ සුද්දාගේ එවර ගොදුර බවට පත්ව සිටියේ අහිංසක අඹු සැමි යුවළකි. ඔවුන් කිසිදු අපරාධයකට හෝ පාතාලයකට සම්බන්ධ නැත. මේ අහිංසක යුවළට තිබූ එකම චෝදනාව වූයේ උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය වීම පමණය.

ශාන්තගේ මාමා 68 හැවිරිදි වියේ පසුවූ අතර නැන්දණිය 58 වැනි වියේ පසුවූවාය. ඔවුන් දෙදෙනා උණාකූරුව ප්‍රදේශයේ පුංචි සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන යමින් ජීවිතය ගැටගහ ගත්තෝය. උණාකූරුවේ ශාන්තගෙන් පළිගන්නට මේ අහිංසක යුවළ පරලොව යැවීමට සැලසුම් කළ කරන්දෙණියේ සුද්දා ඒ සඳහා පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙක් යෙදෙව්වේය. මීටියාගොඩ අවන්හලකට කඩාවැදී මහදුර නලීන්ගේ නැඟණිය වෙඩි තබා ඝාතනය කිරීමේ උණුසුම මැකී යෑමටත් පෙර තංගල්ල උණාකූරුව ප්‍රදේශය ගිනි ගත්තේය. 18 වැනිදා රාත්‍රි 7.00ට පමණ උණාකූරුවේ පිහිටි සිල්ලර වෙළෙඳසලක් වෙත නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු වූහ.

වෙනදාට වඩා කලින් රාත්‍රිය උදාවී තිබුණේය. මන්දාරම් වැස්සක් ඇදහැළෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී වෙළෙඳසැලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් කවුදැයි මහලු අඹුසැමි යුවළ විමසිලිමත් වූවෝය. මාරයාගේ හෝරාව ක්‍රියාත්මක වෙමින් තිබුණේය. වෙළෙඳසැලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනාගෙන් එකකු සිගරැට්ටුවක් ඉල්ලා සිටියේය. උණාකූරුවේ ශාන්තගේ මාමා ඔහුට දුම්වැටියක් ලබාදුන්නේය. ඒ සැණින් නාඳුනන පුද්ගලයා ක්‍රියාත්මක වුණේය.

ජැකට්ටුව තුළ සඟවාගෙන සිටි පිස්තෝලය ඉවතට ගෙන මහලු යුවළට වෙඩි පිට වෙඩි එල්ල කරන්න වුණේය.

අනපේක්‍ෂිත මොහොතක එල්ල වූ ප්‍රහාරයෙන් මහලු යුවළ අසරණ වූහ. ඔවුන්ට දිවයෑමටවත් ඉඩක් නැත. වෙඩි ප්‍රහාරයට ලක්වූ උණාකූරුවේ ශාන්තගේ මහලු මාමා සහ නැන්දණිය කපා හෙළුෑ කෙසෙල් කඳන් මෙන් බිම ඇදවැටුණෝය. උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය වීමේ වරදට ඒ මහලු යුවළට ජීවිතයෙන් සමුගන්නට සිදු වුණෝය.

පාතාලය මෙතරම් කුරිරු ද මෙතරම් ම්ලේච්ඡ ද මේ අහිංසකයන් මරා දැමීම ඊට කදිම නිදසුන්ය.

උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය ඝාතනයට දෙහිගෙදර බාලේමල්ලීගේ ද සහාය ලැබී තිබූ බවට පොලිසියට සැකයක් මතුව තිබෙයි. දෙහිගෙදර බාලේමල්ලීගේ මෙහෙය වීමෙන් මීට මාස ගණනාවකට උඩදී දෙවිනුවර දේවාලය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනෙක් ඝාතනය කර තිබිණි. පරණ කොන්තරයක් මේ ඝාතනවලට හේතු වූ බව පසුව හෙළි විය.

මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ යොමේෂ් නමැති තරුණයා සහ 18 වැනිදා උණාකූරුවේදී මරා දැමුණු ශාන්තගේ මාමා සහ නැන්දණිය සමීප ඥාතීන්ය.

මේ සම්බන්ධය නිසාම යොමේෂ්ගේ පාර්ශ්වයෙන් පළිගන්නට ඔහුගේ සමීප ඥාතීන් දෙදෙනා මරා දැමීමට දෙහිගෙදර බාලේමල්ලී කරන්දෙණියේ සුද්දාට සහාය වූ බවට සැකයක් පොලිසියට මතුවී තිබෙයි. ඒ අහිංසක අඹුසැමි යුවළ මරා දැමීමට ඔත්තු බැලීමේ කටයුතු කර තිබුණේ දෙහිගෙදර බාලේමල්ලීගේ පාතාල සගයන් විසින් බවට පොලිසිය සැක පහල කරයි. කෙසේ වෙතත් මීටියාගොඩ අවන්හලේදී මහදුර නලීන්ගේ නැඟණිය ඝාතනය කළ පාතාල මැරයන් මෙන්ම උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය මරා දැමූ කුලී ඝාතකයන් කිසිවකුත් මේ වනතුරු අත්අඩංගුවට පත්වී නැත. ඒ මීනිමරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේය. ද්විත්ව ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනෙක් සහ වෑන් රථයක් පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ පාතාලයන් දෙදෙනා දෙහිබාලේ මල්ලීගේ කල්ලියේ ගෝලයන්ය. උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දා මරා දැමීමට ඔත්තු බැලුවේ මේ පුද්ගලයන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළිවිය. ඔත්තු බැලීමට මොවුන් යොදාගත් වෑන් රථයක්ද පොලිස් භාරයට ගත්තේය. තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි විමර්ශන පැවැත්වෙයි.

කෙසේ වෙතත් මේ පළගැනීම නම් නිමවී නැති බව පැහැදිලිය. කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයේ ඥාතීන් මෙන්ම මහදුර නලීන්ගේ පාර්ශ්වයේ සමීපතමයන් මේ වනවිට ජීවත්වන්නේ දැඩි භීතියකින් යුතුවය.

එමෙන්ම උණාකුරුවේ ශාන්ත මෙන්ම දෙහිබාලේ ගෙදර පාතාලයට නෑකම් කියන පුද්ගලයන් සිටින්නේ ද මරණ බයෙන්ය. මාරයා කොයි මොහොතක කුමන ස්ථානයකදී ක්‍රියාත්මක වන්නේ දැයි කිසිවකුත් දන්නේ නැත. ඒ තරමටම දකුණු පළාත අවිනිශ්චිතය. භයානකය.

මේ පාතාල මැරයන්ට නැවතීමේ ලකුණ තබනතුරු දකුණු පළාතට විරාමයක් ලැබෙන්නේ නැත.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here