තොරතුරු නැත! විමර්ශන නැවතුනේ ඒ නිසයි!

0
1

තාජුඩීන් ඝාතනය නැවත කියැවීම

“ගිනිගෙන දැවුණු කාර් රථයක් තුළ පිළිස්සී ගිය මෘත ශරීරයක් තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට කරන ඉල්ලීමයි.”

ඒ 2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට පොලිසියෙන් කොළඹ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකි.

“2012.05.17 දින පැය 0055ට පමණ 119 දුරකතන ජාලය ඔස්සේ නාරාහේන්පිට උද්‍යාන පාර ශාලිකා ක්‍රීඩාංගණය ප්‍රධාන දොරටුව අසල මාර්ගය අයිනේ මාර්ගයෙන් ඉවතට විසිවී ඇති ගිනි ගෙන දැවී ඇති කාර් රථයක පිළිස්සී ගිය මෘත ශරීරයක් ඇත. මෙම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තරමට පිළිස්සී ඇති අතර මෙම කාර් රථයේ අංකය කේ කිව් 6543 ටොයොටා වියොස් කාර් රථයක් වන අතර මෙම කාර් රථය හිමිකරු මොහොමඩ් ෂම්සුදීන් තාජුඩීන් නො.20 මුරුගන් පෙදෙස කොළඹ 6 බවට අනාවරණය කරගෙන ඇත. කාර් රථය ලියාපදිංචි අංකය ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යනු ලබන අතර මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ගෞරවයෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි.”

මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එය බී 849/3/12 අංකය යටතේ ලියාපදිංචි කෙරිණි. එලෙස ආරම්භ වූ විමර්ශනවල ප්‍රතිඵලය වූයේ එය රිය අනතුරක් හේතුවෙන් වූ මරණයක් බවයි.

පසුව යළි මෙම කතාව ඇරැඹෙන්නේ 2015 පෙබරවාරි මස 16 වැනිදා එවකට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු 2015 මාර්තු මස 09 වැනිදා එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් කාරණා හතරක් ඔස්සේ විමර්ශනය ආරම්භ කිරීමෙන් පසුවය.

එම කාරණා හතර වූයේ ගිනිගත් කාර් රථය අසල ආගන්තුක සැක සහිත කාර් රථ දෙකක් නිරීක්ෂණය වීම, මරණකරුගේ මුදල් පසුම්බිය ගිනිගත් ස්ථානයට කිලෝමීටර් එකහමාරකට ආසන්න දුරකින් වූ කිරුළපන බලපොකුණ ප්‍රදේශයේ තිබී හමුවීම, මරණකරුගේ රුධිර ආදර්ශකයේ කාබන්මොනොක්සයිඩ් හඳුනා ගැනීමක් නොමැතිවීම සහ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණකරු මියයෑමට පෙර තුවාල සිදුවී තිබීම යන කරුණු ඔස්සේය.

එලෙස විමර්ශන ආරම්භ වූයේ මොහොමඩ් වසීම් තාජුඩීන් නම් රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙනි. ඔහු පදිංචිව සිටියේ වැල්ලවත්ත මුරුගන් පාරේ නිවසකය. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ රගර් ක්‍රීඩකයකු වූ වසීම් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 2008 දී ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට වසීම්ට හැකි විය. එතැන් සිට ඔහු කැපී පෙනෙන චරිතයක් වූ අතර එම කණ්ඩායමේ උප නායකයා දක්වා පැමිණීමට ඔහු සමත් විය. 2009 වසරේ දී ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබුණේ ද ඔහුටය.

මෙම සම්මානලාභී රගර් ක්‍රීඩකයාගේ මරණය ගැන අලුත් වටයකින් විමර්ශන ආරම්භ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 පෙබරවාරි මස 28 වැනිදා තාජුඩීන්ගේ වැඩිමහල් සහෝදරිය වන ෆාතිමා අයේෂා තාජුඩීන්ගෙන් සහ තාජුඩීන්ගේ මාමා වන ශෙරින් ලතීෆ් මොහොමඩ්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. එලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම සිද්ධියට අදාළව නාරාහේන්පිට, කොළඹ අපරාධ කොට්ඨාසය හා බොරැල්ල අපරාධ පරීක්ෂණාගාර යොදන ලද සියලුම සටහන්, තොරතුරු පොත්, ඡායාරූප, වීඩියෝපට ආදිය කඩිනමින් ලබා දෙන ලෙස කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළේය. අදාළ තොරතුරු ලැබුණේ 2015 අප්‍රේල් මස 09 වැනිදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බෝධිපක්ෂ, උප පොලිස් පරීක්ෂක මනතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ සිද්ධිය වූ නාරාහේන්පිට ස්ථානයට ගොස් විමර්ශන සිදුකළ අතර තාජුඩීන්ගේ මුදල් පසුම්බිය අහුලා දී තිබුණු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැණිනි. අනතුරුව සිද්ධි වූ දින තාජුඩීන්ගේ කාර් රථයේ ගමන් කළැයි සැක කරන චමින්ද ජයප්‍රකාශ්, ශකීර් බදුර්දීන් සහ රෂ්මි ද සිල්වා යන තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. මෙලෙස විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ තාජුඩීන් සිද්ධිය වූ දා එනම් මැයි 17 වැනිදා අලුයම දොළහයි කාලට පමණ කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පැමිණ ලීටර් 05 වතුර බෝතලයක් රැගෙන එය වාහනයේ ඩිකියට දමා ඇති බවයි. එම අවස්ථාවේ ඔහු දීර්ඝ දුරකතන ඇමතුමක සිටි බවට ද සාක්කියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත් අතර වැඩිදුර ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ නිවසක සීසීටීවී දර්ශනයක් ද සොයා ගත්තේය.

ප්‍රභූන් භාවිතා කළ කළු පැහැති රථ දෙකක් ගැන තොරතුරක්

අනතුරුව කාර් රථයේ ගින්න නිවීම සඳහා පැමිණි ගිනි නිවන හමුදාවේ නිලධාරීන් කැඳවා වාහනයේ ගිනිගැනීමේ අවස්ථාව ගැන ප්‍රකාශ සටහන් කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 මැයි මස 13 වැනිදා මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයට අදාළ සියලුම සටහන් සහ ඡායාරූප අධිකරණ නියෝගයක් මත ලබා ගත්තේය. මෙලෙස විමර්ශන සිදු කරද්දී 2015 මැයි මස 22 වැනිදා වැදගත් තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබිණි. එයින් කියැවුණේ මෙම කාර්රථය ශාලිකා ක්‍රීඩාංගණය අසල තාප්පයක ගැටුණේ යැයි කියන අවස්ථාවට ආසන්න කාලයක දී හැව්ලොක් දෙසට මුහුණලා දිග කලු පැහැති ඒ දිනවල ප්‍රභූන් භාවිත කළ බව කියන කාර් රථ දෙකක් තිබූ බවයි. ඒ අනුව අසල්වාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිද්දී අනාවරණය වී ඇත්තේ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ තවත් කිහිප දෙනකු එම ස්ථානයේ සිට ඇති බවයි.

වීදුරු බෝතලයක් කඩා ඇනීමක්

මෙම කාර් රථයේ ගිනිගැනීම සහ ඊට සිදු වූ හානියක ගැන ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු සීඅයිඩිය අදාළ කාර් රථයේ නිර්මාණ සැලැස්ම, එයාර් බෑග් ක්‍රියාත්මක වීම, වාහනය ගිනි ගැනීමට ලක්වීමේ ප්‍රවණතාවය, සුක්කානම කැඩී යෑම ආදිය ගැන 2015 මැයි 26 වැනිදා අදාළ වාහනය අයත් සමාගමෙන් වාර්තාවක් කැඳවීය. අනතුරුව ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු මහතාගෙනුත් අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතාගෙනුත් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවිය. ආනන්ද සමරසේකර මහතාගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇත්තේ මරණ පරීක්ෂණයට තවත් වෛද්‍යවරුන් පිරිසක් සහාය වී ඇති බවයි. ඒ අනුව සහකාර අධිකරණ වෛද්‍ය අමරරත්න, දන්ත වෛද්‍ය ජයනි වීරරත්න ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. එහිදී අනාවරණය වී ඇත්තේ තාජුඩීන්ගේ හිසේ ඇති පැල්ම ද, දිව කැඩීම් ද ගෙල ප්‍රදේශයේ ඇති සිදුරු දෙකද, ඉල ඇට භග්නද කළවා අස්ථිවල සිදුවී ඇති කැඩීම් ද මගින් තාජුඩීන් මියයෑමට පෙර මොට ආයුධයකින් පහරදීමක් සිදු වී ඇති බවට සහ ඔහුගේ බත්කෙන්ද පේශියේ තිබී හමුවී ඇති වීදුරු කැබලි මගින් මරණයට පෙර වීදුරු බෝතලයක් බිඳීමෙන් පසු සිදුකරන ලද ඇනීමකින් සිදුවිය හැකි හානියක් බවට සැක කළ හැකි බවයි.

මේ අතර 2015 අගෝස්තු 26 වැනිදා අනාවරණය වී ඇත්තේ තාජුඩීන් භාවිත කළ දුරකතනය කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබී ආගරපතන ග්ලාස්කෝ වතුයායේ පදිංචි පුද්ගලයකුට හමුවී ඇති බවයි. පසුව ඔහු ඔහුගේ පුතාට එම දුරකතනය ලබාදී තිබියදී සොයාගෙන තිබේ. ශාලිකා ක්‍රීඩාංගණය අසලදී මිය ගොස් සිටි තාජුඩීන්ගේ මුදල් පසුම්බිය එක් තැනෙකත්, දුරකතනය තවත් තැනකත් තිබී හමුවීම ගැන විමර්ශකයන් තුළ වූ සැකය තවත් තීව්‍ර කළේය. මෙම සිදුවීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 05හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා 2012 මැයි 16 සහ 17 දිනවල කිරුළපන සහ නාරාහේන්පිට ප්‍රදේශයේ සීසීටීවී දර්ශනවල පිටපත් ලබාගෙන තිබුණු අතර ඊට අදාළ සංයුක්ත තැටි 04ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරිණි. කෙසේ වෙතත් ඒවායේ තිබූ වීඩියෝ දර්ශනවල තත්ත්වය දුර්වල මට්ටමේ තිබුණු අතර එහි සිටින අය හඳුනා ගැනීමට නොහැකි වූයෙන් ඒවා කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා ආයතනයට ද යොමු කෙරිණි.

මේ අතරතුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පැවැති අතර එම පරීක්ෂණය සඳහා මීට පෙර ලබා ගත් අස්ථි ගැන විස්තර ද අවශ්‍ය විය. කෙසේ වෙතත් ඒ ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ තාජුඩීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන් වී ඇති බවයි. එසේම ඊට අදාළ එක්ස්රේ වාර්තාව අතුරුදන්ව තිබී ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අදාළ එක්ස්රේ පිටපත් තමන්ගේ පුද්ගලික භාරකාරිත්වයේ තිබුණු බව කියමින් ගෙනැවිත් භාරදී තිබිණි.

ආරක්‍ෂකයන්ගේ ප්‍රකාශ

විමර්ශකයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, නාමල් රාජපක්ෂ මහතාගේත්, යෝෂිත රාජපක්ෂ මහතාගේත්, ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේත් ආරක්ෂාවට 2012 මැයි 16 දින සහ 17 දින යොදවා සිටි යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලද අතර එම නිලධාරීන් තොරතුරු පොත්වල යෙදූ සටහන්ද 2015 සැප්තැම්බර් මස 22 දින කැඳවීය. එසේම නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ සොයුරු යෝෂිත රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයන්, සමීප ආරක්ෂකයන් සහ සෙසු ආරක්ෂක කටයුතු සඳහා යොදවන ලද නිලධාරීන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මරණයට පත්වූ වසීම් තාජුඩීන් මහතා සහ යසාරා අබේනායක නම් කාන්තාව සමග සමීප සබඳතාවක් තිබුණු බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීම නිසා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත්තද එමගින් එවැනි සබඳතාවක් ගැන අනාවරණය වී නොතිබිණි. මෙහිදී සැකකටයුතු කාරණා ගණනාවක් ඔස්සේ විමර්ශන කරගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇත්තේ තාජුඩීන් මරණයට පත්වූ කාලසීමාවේදී එනම් 2012 මැයි 11 සහ මැයි 23 අතර යෝෂිත රාජපක්ෂ මහතා යුක්රේනයේ පුහුණුවකට ගොස් ඇති බවයි. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු එලෙස විදේශගතවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවසරයක් මත බවයි.

සාක්‍ෂි වසන් කරලා

දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත්, ඒ වන විට විමර්ශනවල තත්ත්වයක් සලකා බැලූ අධිකරණය 2015 දෙසැම්බර් 23 වැනිදා තීරණය කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා සාක්කි වසං වන ආකාරයට කටයුතු කර ඇති බවයි. එසේම මෙම සිද්ධියේ සාක්කි යටපත් කිරීමට එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මැදිහත්වී ඇති බව පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේම සාක්කිවලින් අනාවරණය වී තිබිණි. එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීර මහතා ද මෙම බලපෑම් ගැන දැන සිටි බව අනාවරණය විය.

මෙම සිද්ධිය වූ මුල් අවස්ථාවේදීම එය රිය අනතුරකින් වූ මරණයක් බවට වාර්තා කර විමර්ශන කරන ලෙසට අනුර සේනානායක මහතා උපදෙස් දී ඇති බව අනාවරණය වීම මත වැඩිදුර පරීක්ෂණ පවත්වා අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගත් අතර නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගැණිනි.

මිනීමරුවන් අත්අඩංගුවට ගන්න අනුර සේනානායකගෙන් ඉල්ලීමක්

අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුර සේනානායක මහතා 2017 මාර්තු 16 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකූඩුවේ සිට අත උස්සා අධිකරණයට මෙසේ කීවේය.

“…දැනට මාස 10ක් බන්ධනාගාරයේ. මානසිකත්වය තදබල ලෙස ප්‍රශ්නවලට පත්වෙලා තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශනය භාර ගත්තට පස්සේ පැහැදිලිව නියෝගයක් දුන්නා මේ අධිකරණය මෙය මිනීමැරුමක් කියා. කාරුණිකව ඉල්ලන්නේ කෙසේ හෝ මිනීමරුවන් අත්අඩංගුවට ගත යුතුයි. මේවා බල බලා ඉන්න බැහැ. අවුරුදු දෙකයි මාසයක් ගිහින් ඉවරයි. මිනීමරුවන් අත්අඩංගුවට ගන්න ඕනා. මිනීමරුවන් අත්අඩංගුවට ගන්න මගේ සම්බන්ධයක් නැහැ….”

අනුර සේනානායක මහතා ද අවසානයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මෙම විමර්ශනයේදී සැකකටයුතු කරුණු ගණනාවක් අනාවරණය විය. එනම් ජනාධිපති මන්දිරයේ දුරකතනයකින් සැක කටයුතු ඇමතුම් කිහිපයක් හුවමාරු වී ඇති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන ආරම්භ කළේය. දුරකතන දත්ත පද්ධතිය ඇති පරිගණක උපකරණ කොටසක් සිය භාරයට ගෙන විමර්ශන කරගෙන ගියේය. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කාලයේ දී ජනාධිපති මන්දිරයේ යුද හමුදා ප්‍රභූ ප්‍රවාහන ඒකකය භාරව සේවය කර ඇත්තේ කපිතාන් තිස්ස නම් පුද්ගලයකු බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කපිතාන් තිස්ස ගැන විමර්ශන ආරම්භ කළේය.

මෙලෙස ආරම්භ කළ විමර්ශන අතරමග නතර වූයේ කාරණා කිහිපයක් හේතුවෙනි.

විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ජනාධිපති ආරක්ෂක සේනාංකය වෙත නිකුත් කරන ලද ඩබල් කැබ් රථ දෙකක් ඇතුළු වාහන තුනක 2011 ජනවාරි 01 සිට 2013 දෙසැම්බර් 31 වැනිදා දක්වා භාවිත කරන ලද ධාවන සටහන් පොත් ලබා ගැනීමට අවශ්‍ය වුවත් ඒවා ලබා දී තිබුණේ නැත. එසේම කොළඹ ජනාධිපති මන්දිරයට සිද්ධිය වූ දින එනම් 2012 මැයි 16 දින රාත්‍රී කාලයේ සහ මැයි 17 දින අලුයම් කාලයේදී ප්‍රධාන දොරටුවෙන් අනපේක්ෂිත ලෙස සහ සැකකටයුතු ලෙස ඇතුළු වූ සහ පිටව යන ලද ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන කිහිපයක් නිකුත් කර තිබුණේ කුමන තැනැත්තන්ට ද යන්න සහ ඒවායේ රියදුරන් කවුරුන්ද යන්න ගැන විස්තර වාර්තා කැඳවා ඇතත් ඒවා ලබාදී නොතිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කමාන්ඩර් කපිල හරේන්ද්‍ර වන්නිආරච්චි සහ ආරක්ෂාව සපයන ලද සෙසු නැවියන් 2012 මැයි පළමු වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා භාවිත කරන ලද දෛනික රාජකාරි නියෝග ගොනුව, නිවාඩු ලේඛනය, කෙටි බැහැර යෑමේ ලේඛනය සහ නැව් කාර්යාල ලේඛනය විමර්ශන සඳහා ඉල්ලා ඇතත් නාවික හමුදාවෙන් ඒවා ලබා දී තිබුණේ නැත.

එසේම යෝෂිත රාජපක්ෂ මහතාගේ සමීප ආරක්ෂක කටයුතුවල නිරතව සිටි ජනාධිපති ආරක්ෂක සේනාංකයට අයත් යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළුන් 15 දෙනකු අදාළ කාල වකවානුවේ රාජකාරියට අදාළ සටහන් තැබීමේ ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් කර පිටතට නොපෙනන පරිදි සෙලෝටේප් පටියක් අලවා සූක්ෂම ලෙස සකස් කරන ලදැයි අනාවරණය වී තිබුණු අතර ඒ අනුව අදාළ සෙබළුන් කරන ලද ක්‍රියාකලාපයන් අනාවරණය කර ගැනීම සඳහා රාජකාරි පැමිණීමේ ලේඛනය, නිවාඩු ලේඛනය ඇතුළු වෙනත් ලේඛන කිහිපයක් ඉල්ලා ඇතත් යුද හමුදාවෙන් ඒවා ලබා දුන්නේ නැත.

මෙවැනි කාරණා රැසක් නිසා ඇනහිට තිබූ තාජුඩීන් ඝාතන විමර්ශන නැවත අලුත් තත්ත්වයකට පත්වූයේ මීට පෙර සීසීටීවී දර්ශනවල සිටි සැක සහිත සහ හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයා වීරකැටියේ කජ්ජා ලෙස හඳුන්වන අරුණ විදානගමගේ බවට ඔහුගේ බිරිඳ කළ ප්‍රකාශයත් සමගය.

ඒ හිටියේ කජ්ජාද?

ඉතිරිය ලබන සතියේ
තරිඳු ජයවර්ධන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here