2015 – 2024 කාලය තුළ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 61000කින් අඩුවෙලා
දැන් දලු ඇදෙන්නෙ නැහැ. අස්වැන්න අඩුයි. වියදම වැඩියි
- මාලනී රණවීර
අපට තියෙන ගැටලුව දලු කඩන්න මිනිස්සු නැතිකමයි
- අජිත් කොඩිතුවක්කු
පරණ තේ වතු නගා සිටුවීමේ වැඩපිළිවෙළක් නැහැ තේ කර්මාන්තය දියුණු කිරීම අභියෝගාත්මකයි
- මහාචාර්ය වසන්ත අතුකෝරල
ශ්‍රී ලංකාව ඉදිරියේ ගිනස් වාර්තා රාශියක් පවතී. ගිනස් වාර්තාවක් කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ ක්‍රීඩා ඉසව්වකි. මෙවර ගිනස් වාර්තාවක් තබා තිබෙන්නේ ‘තේ’ වලිනි. පසුගියදා ජපානයේදී පැවති තේ වෙන්දේසියේදී ගිනස් වාර්තාවක් තබමින් Ceylon Black Tea කිලෝවක් රුපියල් 252,500කට අලෙවි වී තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ සිලෝන් විශේෂ වතු තේ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය පසුගිය 26 වැනිදා ජපානයේ ඔසාකාහිදී පැවැත්වුණු අතර මෙවැනි මිලක් හිමිව ඇත්තේ එහිදීය.
සුදු ජාතිකයන් අපේ රටේ සම්පත් සූරා කෑවා හා සමානවම අදටත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්විය හැකි දෑද දායාද නොකළාම නොවේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ තේ කර්මාන්තයයි. මෑතක් වන තුරුම රටේ ප්‍රධාන වැවිලි භෝගය මෙන්ම අපනයන ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවා වූයේ තේ අපනයනයයි. නමුත් මේ වනවිට කියන්නට සිදුවන්නේ ප්‍රධාන අපනයන භෝගයේ වර්ධනයක් නොව පල්ලම් බැසීම පිළිබඳවයි. එහෙව් පසුබිමක පසුගියදා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න කීවේ 2030 වනවිට තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් ඉපයීම තම ඉලක්කය බවයි. එම ඉලක්කයට යන්නට නම් තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 400ක්වත් විය යුතු බව ඔවුන්ගේ අදහසයි. එම ඉලක්කය සපුරන්නට පෙර අද ඉන්නා තත්ත්වය තේරුම් ගැනීම වටින්නේය.
රටේ තේ කර්මාන්තය මේ වනවිට කුමන තත්ත්වයක පවතීදැයි සොයා බැලීමේදී පළමුවෙන්ම කළ යුත්තේ අවසන් අවුරුදු පහේ තේ අපනයනය පිළිබඳ සොයා බැලීමයි. පසුගිය පස් වසර තුළම තේ අපනයනයෙන් ලද ආදායම ලෙස වාර්තා වන්නේ ඉතා සුළු වර්ධනයකි. එයිනුත් වසර දෙකකදී ආදායම පහළ වැටී ඇති අතර වසර තුනකදී අපනයන ආදායම වැඩි වුවත් එම වර්ධනය සිදුව ඇත්තේ තේ නිෂ්පාදනය වැඩිවීම නිසා නොව වෙනත් කරුණු හේතුවෙන් බව අපට කීවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරලය.
2020 වසරේදී ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 1.24කි. එය 2021 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 1.32 දක්වා වර්ධනය වී ඇති අතර 2022 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 1.26 දක්වා අඩු වී ඇත. යළිත් 2023 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 1.31 දක්වා සුළු වශයෙන් වර්ධනය වුණත් 2021 වසරේ සීමාවට පැමිණ නැත. නමුත් 2024 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 1.45 දක්වා වර්ධනය වී ඇත.
කෘෂිකාර්මික අපනයනවලින් එයින් වැඩි කොටසක් අයත්වන්නේ තේ අපනයනයටයි. 2020 වසරේදී කෘෂි අපනයනවලින් තේ අපනයනය 53%කි. නමුත් ඊට සිව් වසරකට පසු එනම් 2024 වනවිට කෘෂි අපනයනවලින් තේ අපනයනය 52% දක්වා 1%කින් අඩුවී ඇත. එසේම 2020 වසරේදී රටේ සමස්ත අපනයනවලින් 12%ක් තේ වලට හිමි වුවත් 2024 වනවිට එම අගයත් 11% දක්වා අඩු වී ඇත.
පහළ ගිය තේ නිෂ්පාදනය
සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා 2030 වනවිට තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක් උපයන්නට සැලසුම් කළත් පසුගිය 2015 වසරේ සිට 2024 දක්වා කාලය තුළ පමණක් තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 61 000කින් අඩුවී ඇත. ඇමැතිවරයාගේ ඉලක්කයට යන්නට නම් පළමුවෙන්ම පහළ ගිය තේ නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුය. 2015 වසරේ මෙරට තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 307,000කි. නමුත් 2015 වසරින් පසුව දිගින් දිගටම තේ නිෂ්පාදනය අඩුවී ඇත. ඒ මෙලෙසිනි.
2016 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 289,000ක් දක්වාත් 2020 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 266,000 දක්වාත් 2022 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 250,000 දක්වාත් 2023 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 242,000 දක්වාත් ශීඝ්‍ර ලෙස අඩුවී ඇති අතර යාන්තම් 2024 වසරේදී තේ නිෂ්පාදනය පෙර වසරට සාපේෂව මෙට්‍රික් ටොන් 4000කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් 2015 වසරේ තේ නිෂ්පාදනයට සමවීමට නම් තවත් වසර ගණනාවක් ගතවනු ඒකාන්තය. 2024 වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 246000කි.
තේ නිෂ්පාදනය පහළ ගියත් තේ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කියන්නේ ඒ සඳහා හේතු වී ඇත්තේ විනිමය අනුපාතයේ සිදු වූ වාසිය සහ තේ සඳහා ලැබුණු ඉහළ මිල ගණන් බවය. අපනයනය අඩු වුවත් ඉහළ මිලක් ලැබේනම් මෙරටට ලැබෙන ආදායම ඉහළ යන බව ඔහු පැවසීය.
මේ වනවිට ලොව තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් හා ඇත්තේ කරට කර තරගයකි. ඇමැතිවරයා කියූ ඉලක්කයට යන්නට නම් තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් හා තරගකාරී මිල ගණන් යටතේ ගුණාත්මයෙන් ඉහළ තේ නිෂ්පාදනය කළ යුතුය.
අපගේ ප්‍රධාන තේ ගැණුම්කරුවෙක් වන්නේ ඇමරිකාවයි. මේ දිනවල ඇමරිකාව ලොව සෑම රටකටම බදු පිට බදු පනවමින් පවතින පසුබිමක අප හා තරග කරන අනෙකුත් රටවලට පනවා ඇති බදු ප්‍රතිශතයද ඇමැතිවරයාගේ ඉලක්කය යථාර්ථයක් කරගැනීමට ප්‍රභල සාධකයක් වන බව නොකියාම බැරිය.
බදු ප්‍රතිශත ඉහළ දැමීමත් සමග අපට ඇති ඉල්ලුම අඩු වුවහොත් Cylon Tea වලට කණකොකා හඬන බව ඒකාන්තය. අනෙක් රටවල් හා සන්සන්දනය කරද්දී අපට විශාල අවස්ථාවක් ලැබුණත් ඉතා ඉක්මනින් තේ නිෂ්පාදනය වැඩි කර නොගතහොත් එහි අවසාන ප්‍රතිඵලය වන්නෙත් Cylon Tea තවත් පල්ලම් බැසීම පමණි.
මෙරට තේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් 75%කට වඩා වැඩි දායකත්වයක් දක්වන්නේ කුඩා තේ වතු හිමියන්ය. එයින් වැඩි දෙනකු සිය වගාවන් සිදුකරගෙන යන්නේ දහසකුත් එකක් ප්‍රශ්න හමුවේය. ඒ අතරින් ප්‍රධානම ගැටලුව වන්නේ පුහුණ ශ්‍රමිකයන් හිඟකමයි. වත්මන් ආණ්ඩුවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති ද පසුගියදා ඒ පිළිබඳ ප්‍රකාශ කොට තිබිණි. ඔහු කියන්නේ මෙහෙම කතාවකි.

“ඉදිරි අවුරුදු පහ හය තුළ මම දකින්නෙ තේ කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි සුදුසුකම් තියෙන, පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟකම. තේ කර්මාන්තය පවතින්න නම් ඊට ලැදියාවක් තියෙන, හැඟීමක් තියෙන සහ කුසලතාවයෙන් සතු පිරිසක් සිටිය යුතුයි. දකුණු පළාකේ දෙණියාය වගේ ප්‍රදේශයක අද වනවිට ගහක් පරිස්සම් කරගෙන දලු ටික කඩන්න පුළුවන් පිරිස අඩුයි. මේ පළාත්වල ගොඩක් දෙනෙක් තේ කර්මාන්තයෙන් ඉවත්වෙලා කොරියාවට යනවා. අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ යෝජනාව තමයි සුදුසුකම් සහිත පිරිසක් සූදානම් කිරීම.”
කුඩා තේ ඉඩම් හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට අප කලවාන ප්‍රදේශයේ කළ සංචාරයේදී මුලින්ම අපට හමුවුණේ කුඩා තේ වතු හිමියෙකු වන අජිත් කොඩිතුවක්කු ය. ඔහුටත් පුහුණු කම්කරුවන් හිඟකම සිය වගා කටයුතු පවත්වාගෙන යෑමට ප්‍රභල බාධාවක් වී තිබේ. මේ ඔහු ඒ පිළිබඳ කිව් කතාවයි.
“මට පොඩි පොඩි තේ ඉඩම් දෙක තුනක් තියෙනවා. මම මහා පරිමාණයෙන් වගා කරන පුද්ගලයෙක් නෙවෙයි. ඒත් මම කරන අනෙකුත් ව්‍යාපාරත් එක්ක මට තනියම දලු ටික කඩාගන්න අමාරුයි. ඒක නිසා කාවහරි කුලියට ගන්න ඕන. ඒත් අපි මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තමයි දලු කඩන්න, එළි පෙහෙළි කරන්න ස්ථිර සේවකයෙක් දෙන්නෙක් නැති එක. මේ වෙද්දි දලු කඩන්න කියල දමිළ පවුල් විස්සකට වඩා ගෙනත් පදිංචි කළා. ඒත් ඉන්නෙ මාසයයි දෙකයි. වැඩිම වුණොත් අවුරුද්දයි. මුලදි බොහොම හොඳට වැඩ කරගෙන ඉන්නවා. මුල් දවස්වල එදාට අදාළ සල්ලි දුන්නත් ගන්නෙ නැහැ පස්සෙ ගමු මහත්තය කියනව. එහෙම ටික කාලයක් යනකොට මළගෙයක්, මඟුල් ගෙයක් කියල වැඩිපුර 5000, 10000ක් ඉල්ල ගන්නවා. එහෙම දෙතුන් පාරකට ඉල්ලගෙන රුපියල් තිස් හතළිස් දාහක් වුණාම පැදුරටත් නොකිය යන්න යනවා.
මේ වෙනකොට තේ දලු කිලෝ එකක් කඩන්න උදේට දවල්ට කන්න බොන්න දීල රුපියල් 50ක් දෙන්න ඕන. එහෙම කරලවත් වැඩට මිනිස්සු නැහැ. අලුත් පරම්පරාව කූඩැල්ලො කඩ කඩ දලු කඩන්න කැමති නැහැ. ඒගොල්ලො වැඩිදෙනෙක් කරන්නෙ රට යන එක තමයි. අනිත් අය මෙහෙ යකඩ එකතු කරනවා වගේ පොඩි පොඩි බිස්නස් කරනවා. ගැහැනු ළමයි රෙදි කඩවලයි, ගාමන්ට්වලයි රස්සාවලට ගිහිල්ලා. ඉතින් දැන් දලු ටික කඩාගන්න කෙනෙක් නැහැ. මේ කර්මාන්තය කරනවනම් වෙලාවට දලු ටික කඩන්න ඕන. වෙලාවට එළි කරන්න ඕන. වෙලාවට පොහොර දාන්න ඕන. එහෙම නැතිව තේ කර්මාන්තයෙන් හරි ප්‍රතිඵල ලබන්න බැහැ.”
සේවක හිඟය මෙන්ම තේ වගාවට බලපා ඇති තවත් බරපතළම අර්බුදයක් වන්නේ පොහොර ගැටලුවයි. ඒ ගැන අපට කීවේ මාලනී රණවීර මහත්මියයි.
දැන් ඉස්සර වගේ නෙවෙයි කොච්චර පොහොර දැම්මත් දලු නැහැ. පොහොර දාපු අලුතනම් දලු තියෙනවා. සති දෙක තුනක් යනකොට ආපහු ගස් කහපාට වෙනවා. දලු නැහැ. මම නම් හිතන්නෙ දැන් තියෙන පොහොර ප්‍රමිතියකට නැහැ. ඒ වුණාට කලින් තිබුණා වගේ දෙගුණයක් වෙලා පොහොර කොට්ටයක මිල. ඉස්සරනම් මාස දෙක තුනකට පාරක්වත් තේ සමිතියක් තිබුණා. අපේ
ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණා. ඒවට විසඳුම් ලැබුණා. දැන් ඒවත් නැහැ.
හරි විදිහට නම් දවස් පහෙන් පහට දලු කඩන්න ඕනලු. ඒත් දවස් පහෙන් පහට දලු කඩන්න දැන් දලු ඇදෙන්නෙ නැහැ. අස්වැන්න අඩුයි. වියදම වැඩියි. දැන් මේ කර්මාන්තය කරන එක පාඩුයි. දලු කඩන මිනිස්සුන්ටයි, තෙල් පොහොරවලටයි ගියාම අතේ ඉතුරුවෙන දෙයක් නැහැ.”
රටේ තේ නිෂාදනයේ ඉතිරි පංගුව නියෝජනය කරන්නේ රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම්ය. මෙයින් වැඩිහරියක තිබෙන්නේ අවුරුදු 50-60 පැරණි වගාවන්ය. මේ වැවිලි සමාගම් වැඩි හරියක් කරන්නේ වතුයායන්වල ඇති ගස් කොළන් කපා විකුණා පාඩු අවම කිරීම මිස අලුතින් තේ වගා කොට දියුණු කිරීම නොවේ. මේ නිසාම අද වනවිට තේ කිලෝ එකක නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ බව කියන්නේ මහාචාර්ය වසන්ත අතුකෝරලයි.

2015 වසර වනවිට තේ කිලෝ එකක නිෂ්පාදන වියදම තිබුණෙ රුපියල් 475යි. ඒක 2020 වසර වනවිට රුපියල් 618 දක්වාත් 2023 වසර වනවිට රුපියල් 964 දක්වාත් වැඩිවී තිබෙනවා. අද වෙනකොට තේ කිලෝ එකක් නිෂ්පාදනය කරන්නම රුපියල් දාහකට ආසන්න මුදලක් වැය කරන්න වෙලා. අනිත් පැත්තෙන් ශ්‍රමය පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න වෙලා. පරණ තේ වතු නගා සිටුවීමේ වැඩපිළිවෙළක් නැහැ. මේ නිසා තේ කර්මාන්තය දියුණු කිරීම අභියෝගාත්මකයි.”
පසුගිය කාලයේ පොල් ඉඩම්, රබර් ඉඩම් කට්ටි කඩා විකුණුවා මෙන්ම තේ ඉඩම්ද දිනෙන් දින වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා යොදාගැනීම වැඩිවී ඇත. එහෙව් පසුබිමක සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා පවසන ඉලක්කයට යෑමට නම් කොපමණ තේ නිෂ්පාදනයක් සිදුවිය යුතුදැයි විමසූ අවස්ථාවේ මහාචාර්ය අතුකෝරල මහතා කීවේ එය දෙගුණයක් විය යුතු බවයි.
“2024 වනවිට රටේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 246000යි. එවැනි ඉලක්කයකට යෑමට නම් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3 ඉක්මවා යා යුතුයි. අඩුම තරමින් 350000ක් නිෂ්පාදනය කළ යුතුයි. එහෙම නැත්නම් දැන් නිෂ්පාදය කරන ප්‍රමාණයටම දෙගුණයක් මිල වැඩිවිය යුතුයි. නමුත් ලෝක වෙළෙඳ පොළේ එහෙම මිල ගණන් වෙනස් වෙන්නෙ නැහැ. තේ නිෂිපාදනය කරන ගොඩක් රටවල ඉහළ ඵලදායිතාවක් තියෙන නිසා තේ කිලෝ එකක නිෂ්පාදන වියදම අඩුයි. ඒක නිසා අපි කළ යුත්තේ අඩු බිම් ප්‍රමාණයක වැඩි ඵලදායිතාවයෙන් යුතු තේ වගාවන් සිදුකොට නිෂ්පාදන වියදම අඩුකරගෙන අනෙක් රටවලට හොඳ තරගයක් දීමයි.”
මේ වනවිට සිලෝන් ටී සඳහා තරගයක් දිය හැකි රටවල් රාශියක් පවතී. ඒ අතර මුලින්ම සිටින්නේ චීනයයි. චීනය මේ වනවිට තේ මෙට්‍රික් ටොන් ලක්‍ෂ 24කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඉන්දියාව තේ මෙට්‍රික් ටොන් ලක්‍ෂ 9කුත් කෙන්යාව තේ මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3කුත් නිෂ්පාදනය කරයි. තවදුරටත් සිලෝන් ටී නාමය ලෝක වෙළෙඳ පළේ පවතින්නට නම් මේ වනවිට තේ කර්මාන්තයට බලපා ඇති ගැටලුවලට ක්‍ෂණික විසඳුම් ලබා දිය යුතුය. එසේම අඩු භූමි ප්‍රදේශයක වැඩි ඵලදායිතාවයෙන් යුතු වගාවන් වෙත යොමුවෙනවා මෙන්ම විවිධ රසයන්ගෙන් යුතු පාරිභෝගික ආකර්ෂණය දිනාගත හැකි තේ නිෂ්පාදනයක් සිදුකළ යුතුය. එහෙම නොවුණොත් සිදුවන්නේ මේ කතාවත් තවත් ‘කටින් බතල කොළ හිටවිල්ලක්’ පමණක් වී ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක අපනයන ආදායමක් ලබනවා වෙනුවට ඇමරිකන් ඩොලර් බිලියන 2.5ක තේ ලංකාවට ආනයනය කරන්නය.
සමීර කන්නන්ගර
Saru FM Media