තෙල් මිල ගැන OPEC+ සංවිධානයෙන් හදිසි තීරණයක්

0
3

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වී තිබේ.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ‘OPEC+’ සංවිධානය අද (01) සිය තෙල් නිෂ්පාදනය බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව බැරල් 137,000 කින් නිෂ්පාදනය වැඩිකිරීමට සැලසුම් කර තිබුණද, පවතින හදිසි තත්ත්වය මත එය දිනකට බැරල් 411,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරන බව සඳහන් වේ.

ලෝක තෙල් ප්‍රවාහනයෙන් 20%කට වඩා සිදුවන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නාවික ගමනාගමනය නතර කරන ලෙස ඉරානය කළ දැනුම්දීමත් සමඟ ඊයේ (28) සිට තෙල් සහ ගෑස් නැව් ගමනාගමනය අඩාල වී තිබේ.

මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමඟ පසුගිය සිකුරාදා වන විට බොරතෙල් මිල බැරලයක් අමෙරිකානු ඩොලර් 73 දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල බව සඳහන් වේ.

පවතින තත්ත්වය පාලනය නොකළහොත් තෙල් මිල බැරලයක් ඩොලර් 100 ඉක්මවා යා හැකි බව ප්‍රධාන පෙළේ වාණිජමය ආයතනවල විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉරානයට එල්ල වන ප්‍රහාර හමුවේ ඇති විය හැකි සැපයුම් හිඟය පියවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැනටමත් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද පවත්වන මෙම රැස්වීමට සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කසකස්තානය, කුවේටය, ඉරාකය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල් අට සහභාගී වේ.

කෙසේ වෙතත්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැරුණු විට අනෙකුත් රටවලට නිෂ්පාදනය ඉහළ නැංවීමේ අතිරික්ත ධාරිතාවක් නොමැති වීම වෙළඳපොළ කෙරෙහි බලපාන ප්‍රධාන අභියෝගය වී තිබේ.

කෙසේ නමුත් OPEC+ සංවිධානය විසින් පවතින අර්බුදකාරි වාතාවරණය මැද හෝ තෙල් නිෂ්පාදය වැඩි කළහොත් මිල ඉහළයාම පාලනය කරගැනීමේ හැකියාවක් පවති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here