තිරය ඇතුළේ නිලවරණ රංගනයට එබී බලන්න

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 22, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් පැමිණ වෙනස්කම් ඇති විය.කිසිවිටෙක නොසිතුව පරිදි ජාත්‍යන්තර මිතුරන් නීත්‍යානුකූල තත්ත්වයන් භාවිතයට ගනිමින් වසර ගණනක් තනතුරුවල සිටි ලාංකේය මිතුරන්ට ලෝකය වඩාත් ඉහළින් සළකන්නේ කුමන කාරණාවන් ද පසක් කර දුන්නේය.

ඉනික්බිති 2025 දෙසැම්බර් 27 වන දාට පැවත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් නිලවරණය 2026 වසරේද මාස ගණනක් ගෙවි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහභාගීත්වය සහිතව පැවත්විය යුතු බව කියමින් කල් දමමින් ඇත.ඉකුත් දිනෙක ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා LNW වෙත අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේම මෙම නිලවරණය පැවත්වීමෙන් විශ්වාසය තහවුරු වන බවය.ඒ සඳහා දින තුනක් ජාත්‍යන්තර කමිටුවට යවා ඇති බවත්,එයින් ඔවුන් තෝරාගන්නා දිනයක නිලවරණය පැවත්වෙනු ඇති බවත්ය.

එහෙත් ප්‍රධාන වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ ක්‍රීඩාවන් ගණනාවක් නියෝජනය කරන ක්‍රීඩා සංගම් පවසන්නේ,පවතින පාලනාධිකාරිය අසාධාරණ ලෙස තමන්ට බලය හිමි කාලයට වඩා වැඩි කාලයක් අනියමින් බලයේ සිටින්නට උත්සාහ කරන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කරන බවය.ඒ ආකාරයට එම සංගම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මෙම නිලවරණය නොපවත්වමින් අසාධාරන ලෙස වත්මන් පරිපාලනය බලයේ රැදී සිටින බව පෙන්වා දීමෙන් අනතුරුව අප්‍රේල් මාසය නිමාවීමට පෙර නිලවරණය පැවත්විය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දන්වා ඇත.

එම නිලවරණය පැවත්විය යුතුයි කියන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ සහ නියෝග අතර සියල්ලගේම සහයෝගය ඇතිව ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ක්‍රීඩක සුභ සාධනයේ යහපත වෙනුවෙන් මේ නිලවරණය පැවත්විය යුතු බවය.එසේම එහි කිසිඳු ව්‍යාකූල තත්ත්වයක් නොපැවතිය යුතු බවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පෙන්වා දී ඇත.

තත්ත්වය මෙසේ වුව ද,මේ වන විට දකින්නට ලැබෙන්නේ ඊට වෙනස් තත්ත්වයක් බව නිලවරණය පමා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරන අයගේ මතය වී ඇත.බය රැක ගැනීම සඳහා තමන්ට හිතවත් පාර්ශව වෙත බලය හුවමාරු කිරීම වත්මන් පරිපාලනයේ අදහස වුව නිල ඡන්ද බලය හිමි සංගම් 28 ක් අතරින් සංගම් 10 ක පමණ කැමත්තක් හිමි කරගෙන සිටින වත්මන් පරිපාලනය එය ප්‍රමාණවත් නොවන තත්ත්වයක මේ පමාව හරහා බලය තහවුරු කර ගැනීමට අවශ්‍යය වටපිටාව සකසා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද,වත්මන් ඔලිම්පික් පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනාවක්ය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද තහනම් ක්‍රියාමාර්ග ගෙන ඇති හෝ විනය චෝදනා පිළිබඳ පරීක්ෂණ ඇති අයට මෙම නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකි බව දන්වා ඇත.එය උල්ලංඝනය කළ යුතු බවක් පවතින් පරිපාලනයට විරුද්ධ කණ්ඩායම් නොපවසන බව පවසන එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙන්නේ වත්මන් පරිපාලනය සුළු සුළු කාරණා පදනම් කරගෙන එම සංගම්වල අභ්‍යන්තර සාමය පළුඳු කරන්නට උත්සාහ කරන බවය.එවැනි පුද්ගල ගැටුම් නිර්මාණය කර සංගම් කිහිපයක් තහනම් කිරීමේ හෝ තමන්ගේ පාර්ශවයට එක් නොවන පුද්ගලයන්ට යම් යම් විනය ක්‍රියා මාර්ග ගැනීමක් මේ ප්‍රමාදය යොදාගෙන කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

පවතින පරිපාලනයට විරුද්ධ කණ්ඩායම් පෙන්වා දෙන්නේ ඔලිම්පික් ක්‍රීඩාවන් ලෙස සැළකෙන සංගම්වලින් තුනෙන් එකක් අත්සන් සහිතව ජනවාරි පළමු වන දා නිලවරණයට අදාළව කටයුතු ආරම්භ කරන්න ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ පරිපාලනයට දැණුම් දී ඇති බවය.එය ව්‍යවස්ථාවට අනුව කළ ඉල්ලීමක් වන අතර එයට ප්‍රතිචාර ලෙස අඩුම තරමේ 2026 පෙබරවාරි 12 වන දා වන විටවත් මහා සභාවක් කැඳවිය යුතු වුව ද එය තවමත් සිඳු වී නොමැති බව ද විරුද්ධ පාර්ශවයන්ගේ අදහසය.

කෙසේ වුවත් නිලවරණය නොපවත්වමින් තමන්ට හිතවත් නැති සංගම් දඩයමකට සැරසෙමින් සිටින බවට පවතින පරිපාලනයේම සාධාරණත්වය අපේක්ෂා කරන පිරිස් හරහා තමන්ට තොරතුරු වාර්තා වෙමින් තිබෙන බව පෙන්වා දෙන පවතින පරිපාලනයට විරුද්ධ කොටස් පවසන්නේ මේ කරුණුවලින් පැහැදිළි වන්නේ නිලවරණයක් නොපවත්වා බලයේ සිටීමේ අපේක්ෂාව බවය.එසේත් නැතිනම් රටේ ක්‍රීඩාව කරගෙන යන සංගම්වලට වාරන පනවා නිවැරදි මතය නිලවරණයකින් ප්‍රකාශවිමට ඇති ඉඩ අහුරමින් සිටින බවය.

විරුද්ධ මතධාරීන් එක පොකුරකට එක්ව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකාරකම්වලට මෙන්ම අනීතිකව බලයේ රැදී දිටීමට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව පෙන්වා දෙන ඔවුන්,රටේ නීතිය අනුව පුරවැසියන්ට සිඳුවන අසාධාරණයක් සම්බන්ධයෙන් නීතියෙන් ලබා දෙන තීන්දුවලට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රාජ්‍යයේ නීතියට ගරු කරමින් කටයුතු කරන බවට ඇති ජාත්‍යන්තර පූර්වාදර්ශ ද සැළකිල්ලට ගෙන ඇති බව පවසයි.එසේම අසීරුම තත්ත්වයක රාජ්‍යයේ ක්‍රීඩාවට සිඳුවන හානිය සම්බන්ධයෙන් මධ්‍යස්ථව කරුණු පෙන්වා දෙන්නට සහ එයින් මැදිහත්ව කටයුතු කිරීමට රජයට ඇති හැකියාව ගැන ද අවධානය යොමු කර ඇති බව පවසන,ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් විරුද්ධව ක්‍රියා කිරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟතාවයෙන් සහ සහයෝගයෙන් තීරණවලට පිවිසුණේ ඒ අනුව යැයි ද පෙන්වා දුන්නේය.

මේ සියලු කාරණා සමඟ මේ වන විට තිරයෙන් පසුපස කරන සියළු රැඟුම් රටට පෙනෙන සේ තිරය ඇරීමේ කාරණයට ක්‍රීඩාවට හිතැති විශාල පිරිසක් විශාල වැඩ කොටසක් කරමින් සිටින බව පෙන්වා දෙන පාර්ශව එවිට තිරය අස්සේ තිබුණ රැඟුම්වල අශිෂ්ටත්වය සමාජය ඉදිරියේ හෙළිදරව් වනු ඇති බව ද පවසයි.

මෙහිදී අප මීට පෙර ඔලිම්පික් සභාපතිවරයාගේ සටහනේදී ද සඳහන් කළ පරිදි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉක්මවා නොගොස් ක්‍රීඩා අමාත්‍යවරයාට ජාතික ඔලිම්පික් කමිටුව අරභයා මතුවෙමින් තිබෙන මේ එකිනෙකා කෙරෙහි නුරුස්සන සුළු හැසිරීමට පාදක වී ඇති නිලවරණය සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාව ඇත.‘පහු පහු වෙන්න කොහු කොහු වෙනවා‘ යැයි ඇති කියමන ප්‍රකාරව දැනටමත් වැඩේ බොහෝ දුරට කොහු වී ඇති බව ඇත්තකි.තිත්ත වුව එය පිළිගත යුුතුය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ද මෙම නිලවරණය සියල්ලගේ සහයෝගය ඇතුව පැවත්විය යුතු බවය.ඇත්තටම එවැනි තත්ත්වයක් නැති බව එළියට ගම්‍යවන කාරණයය.මේ සියළු ක්‍රීඩාවන් එකාවන්ව සමඟිව සහ සහයෝගය ඇතුව ක්‍රියා කරන පසුබිමන් ඇතුළත ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රියාත්මක විය යුතුය.ඒ සඳහා වන කාර්යයට ඒ හරහා හොඳ ප්‍රවේශයක් නොලැබෙන තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යංශයට මෙම කරුණු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මේ තත්ත්වය අවධාරණය කර නිලවරණය පැවත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ සහ අධික්ෂණය යටතේ ඇති හැකියාව ගැන සැළකිල්ලට ගත යුතුය.

මේ නිලවරණය ප්‍රමාදවීම සහ ඊට එරෙහි ක්‍රීඩා සංගම් සිය ජාත්‍යන්තර මව් සංගම් හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුවත් කිරීම වැනි තත්ත්වයක් උදා වුවහොත් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවට යම් යම් වාරණ පැනවෙන්නට ඉඩ ඇත.එය ලංකාවට හොඳ නැත.ක්‍රීඩාවටත් හොඳ නැත.මේ සඳහා මීට වඩා රජය පැත්තෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා සාකච්ඡා කර පත්වන පරිපාලනයක් සමඟ රටේ ක්‍රීඩාවට අවශ්‍යය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා ලබා ගත හැකි භෞතික ආධාර සහ ක්‍රීඩා සුභසාධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට ඇති ඉඩකඩ පුළුල් කර ගැනීමට අවධානය යොමු කළ යුතුව ඇත.

අපිට වැසුණ තිරය ඇතුළේ පේන වගකීම් විරහිත උදාසීනම භූමිකාවක අමාත්‍යංශයද නියැලෙන බව හැඟෙන්නේය.එම නින්ද නිමා කර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා අවශ්‍යය කතාබහ ක්‍රීඩා අමාත්‍යංශය නොපමාව කරන්නේනම් වැදගත්ය.දේශපාලන චණ්ඩියෙකු සේ හැසිරෙමින් ක්‍රීඩා අමාත්‍යංශය පවතින පරිපාලනය ඉක්මවා වැඩ කිරිමට නොහැකි අතර එවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට වග නොකියන ඔලිම්පික් ධජය රට බවට පත් වෙන පරිපාලනයක් නිර්මාණය වනු ඇත.ඒ නිසා කල්පනාවෙන් රටේ ක්‍රීඩාවට මේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය මත සිඳුවන හානිය පෙන්වා දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්දේශ කරන්නේනම් මේ නිලවරණයට අපක්ෂපාතීව ඔවුන්ගේ නිර්දේශ සහ නිගමන ප්‍රකාරව මැදිහත් විය හැකි බව අමාත්‍යංශයට කිව හැකිය.රටේ ක්‍රීඩාප්‍රේමීන්ට කිසිවෙකුත් පුටුවෙන් බැස යනු දැක සතුටු වෙන්නට හෝ කිසිවෙකු හෝ අසුන් ගන්නා සතුටු වෙන්නට ඇවසි නැත.මේ ගැටළුව ඉක්මණින් නීත්‍යානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳෙනු දැකීම සහ ඔලිම්පික් ක්‍රීඩාවන්ගේ යහපතට නිසි වැඩ පිළිවෙලක් නිදහසේ ක්‍රියාත්මක වෙනු දැකීම අවශ්‍යයතාවය වන්නේය.
මෙයට සැබවින්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අපෙක්ෂා කරන සහයෝගය ඇති කිරීමට බලවත් මධ්‍යස්ථ බලයක් අවශ්‍යය වන්නේය. අපි විමසිල්ලෙන් බලා සිටිමු.

The post තිරය ඇතුළේ නිලවරණ රංගනයට එබී බලන්න appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here