නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලිය
අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංගලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 6 තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අර්ධ අවසන් තරග වටයට පෙරේදා (19 දා) රාත්‍රියේ සුදුසුකම් ලබාගත්හ.
තරගාවලියේ කඩුලු 5 ක් දවා ගනිමින් කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට පත්ව සිටි විජයකාන්ත් වියස්කාන්ත්ගේ සහයෝගය නොමැතිව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක් විය. ඒ මූලික වටය යටතේ එතෙක් අපරාජිතව සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව වීම කැපී පෙනෙයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාම සාර්ථක පිතිහරඹය නිරත වුවත්, 11 වැනි පන්දුවාරය යැවූ ගරුක සංකෙත් විසින් ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සවාඩ් අබ්රාර් දවා ගැනීමත් සමග තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙසට දෝලනය වන්නට විය.
එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාරයේදී ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී පරතරය ලකුණු 18 ක් දක්වා ඈතට රැගෙන ආහ. ඒ අනුව අවසන් පන්දුවාරය යැවීම සඳහා පන්දුව අතට ගත් මිලාන් රත්නායක එම පන්දුවාර ලකුණු 11 කට සීමා කොට කඩුල්ලක්ද දවා ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල බලාපොරොත්තුවෙන් සිටි ජයග්‍රහණය රැගෙන ඒමට සමත්වූවේය.
මෙහිදී අවසන් පන්දු 12 දී බංග්ලාදේශ පිලට ලබා ගත යුතු වූයේ ලකුණු 25 ක් පමණක් වුවත් 19 වැනි පන්දුවාරය යැවූ ගරුක සංකෙත් එම පන්දුවාර ලකුණු 07 කට සීමා කිරීම නිසා ශ්‍රී ලංකාවට අවසන් පන්දු වාරයේදී වැඩි පරතරයක් රඳවා ගැනීමට අවස්ථාව හිමිවිණ.
ඊට පෙර 14 වැනි පන්දුවාරය යැවීමට පැමිණි නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන්ම මහිදුල් ඉස්ලාම් අන්කෝන් (08) ගේ කඩුල්ල ද අනතුරුව ඊළඟ පන්දු වාරයේ හෙවත් තමන් යවන ලද 6 වැනි පන්දුවේදී එතෙක් වෙලා ලකුණු 25 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටි නායක අක්බර් අලී (25) ගේ කඩුල්ල දවා ගනිමින් පීඩනය තව තර කළේය.
තරග අවසානයේ තම පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 19 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කරගත් ශ්‍රී ලංකා ‘ඒ’ නායකයා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද දිනා ගත්තේය.
දෝහා රාජ්‍යයේ පැවති මෙම තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනාටම ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. නිශාන් මදුෂ්ක (09), විශේන් හැලඹගේ (13), ලසිත් කෲස්පුල්ලේ (09) සහ නුවනිඳු ප්‍රනාන්දු (15) යන ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 51 ක් වද්දී දැවී යන විටත් ලකුණු පුවරුවේ ක්‍රියාත්මක වෙමින් පැවතියේ 8 වැනි පන්දු වාරයයි.
කෙසේ වෙතත් 5 වැනි කඩුල්ලට රමේෂ් මෙන්ඩිස් සහ 6 වැනි කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ සමග එක් වූ අංක 5 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 ඔබ්බට රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය. පන්දු 49 කට මුහුණ දුන් සහන් ආරච්චිගේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 69 ක් රැස්කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පන්දු 18 කදී ලකුණු 17 ක් ද, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 14 කදී ලකුණු 23 ක් ද රැස් කළහ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුනු 159 යි – (සහන් ආරච්චිගේ 69, නිශාන් මදුෂ්ක 09, විශේන් හැලඹගේ 13, ලසිත් කෲස්පුල්ලේ 09, නුවනිඳු ප්‍රනාන්දු 15, රමේෂ් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 23, මිලාන් රත්නායක 01★, ප්‍රමෝද් මදුෂාන් 01★, රිපෝන් මොන්ඩොල් 41/2, අබූ හයිදර් 37/2)
බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 යි – (හබිබූර් සොහාන් 27, ජිශාන් අලාම් 17, සවාඩ් අබ්රාර් 26, අක්බාර් අලී 25, මහිදුල් අන්කෝන් 08, යසීර් අලී 20, එස්.එම්. මෙහෙරොබ් 16★, දුනිත් වෙල්ලාලගේ 19/3, ගරුක සංකෙත් 32/1, මිලාන් රත්නායක 35/1, ට්රවේන් මැතිව් 26/1)
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media









