රුපියල් කෝටියකට වැඩි වටිනාකමෙන් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකු මොරගොඩ ප්‍රදේශයේදී පෙරේදා (19 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 152, හිල්කට් වත්ත, නිවුන්ගම, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.
මත්ද්‍රව්‍ය තොගයක් රැගත් පුද්ගලයකු බස් රථයක ගමන් කරන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රාවස්තිපුර මොරගොඩ වතුර ටැංකිය අසලදී බස් රථය පරීක්ෂා කර සැකකරු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. පොලිසියට සැක නොසිතෙන පරිදි තෑගි භාණ්ඩයක් ලෙස පෙට්ටියක සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම කාඩ්බෝඩ් පෙට්ටියේ තිබී අයිස් මිලිග්‍රෑම් 250,000ක්ද, විනිවිද පෙනෙන ඉටි කවරයක බහා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 249,900ක්ද සොයාගත් බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු කාලයක සිට අනුරාධපුරයට මෙලෙස බස් රථවලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය රැගෙන එන්නට ඇති බවට සැක කරන බවද විමර්ශන සිදු කරන පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (20දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ
Saru FM Media