තාත්තා තමයි දුවෙක්ගේ පළමු ප්‍රේමවන්තයා

0
11


තාත්තෙක් වෙන හැඟීමට
රජකමත් දෙවනියි පුතේ..
අම්මාට වැඩියෙන් පෙමක් ලද
ලඳයි, ඔබ හදවතේ..
රෝස කැලයෙන් ඇහින්දේ නැති
මලකි ඔබ මගෙ හිතේ..
කටුව නොව මම, දරාගෙන වුන්
නටුව වෙමි ජීවිතේ…

මේ ජනප්‍රිය කිවිඳියක වන තිලිනි ලියනාරච්චි ලියූ කවියක කොටසක්. තාත්තා කියන්නේ දුවගේ පළමු ප්‍රේමය බව යළි යළිත් ලිවිය යුතු දෙයක් නෙවෙයි.දියණියකට ඕනෑම දෙයක් බෙදා ගත හැකි වන්නේ ඇගේ තාත්තා සමඟ.ඒ බැඳීම ඇය උපන්දා පටන් ඇති කරන්නට අම්මාත් තාත්තාත් දෙදෙනාම උත්සාහ දරන්නට ඕනෑ.

පුංචි දුවෙකුට තාත්තා එක්ක යන්න පුලුවන් අපූරු ගමනක් තමයි “තාත්තා එක්ක ඩේට් එකක්.”දවසක ප්‍රේමවන්තයා සමඟ මුහුදු තීරයක,කොෆි ෂොප් එකක හමු වෙන පළමු දවසේ ඇයට තාත්තා සමඟ ආ ගමන සිහි වේවි.ආදරය ලබා දිය යුත්තේ ඔහු වැනි සැබෑ ආදරවන්තයෙකුට බව තේරුම් ගනීවි.

ඉතින් මේ ඩේට් එක ඇත්තටම ප්ලෑන් කරන්න පුලුවන් අම්මා වුණු ඔබටම තමයි.පුංචි කෙල්ලට තාත්තා එක්ක අපූරු දවසක් ප්ලෑන් කරලා දෙන්න මේ අදහස් ඔබට උදව් වෙයි.

දුව කැමතිම සෙල්ලමක් කරන එක,ඇගේ ප්‍රියතම අත්වැඩ කරන එක,ඇය එක්ක එකතු වෙලා පොට් එකක් පේන්ට් කරන එක,ගෙවත්තේ වගාවක නිරත වෙන එක තාත්තටත් දුවටත් කරන්න පුලුවන් අපූරු දේවල්.

දියණිය ආසම කෙටි කෑම වර්ග කිහිපයක් එක්ක ඇය කැමතිම නර්සරි සෝන්ග්ස් මෝටර් රථයේ වාදනය වෙන්න ඉඩ හරිමින් ටිකක් දුර ගමනක් වාහනයෙන් යන්න, එහෙම නැත්නම් නිදහස් එළිමහනක වාඩි වෙලා කමින් බොමින් ගීත අහන එක තාත්තටත් දුවටත් කරන්න පුලුවන්.මේ දේ පුංචි දියණියකට විතරක් නෙවෙයි.තරුණ දියණියකටත් කරන්න පුලුවන් දෙයක්.දියණිය කැමති දේවල් ගැන ඇය එක්ක සංවාදයක නිරත වෙන්න මේ වගේ ගමනක් අපූරුයි.

අම්මා තහනම් කරලා තියන අටෝරාසියක කෑම කකා කානිවල් එකක තාත්තා එක්ක ඇවිදින්න යන්න ඕනෑම වයසක දුවෙක් කැමති වෙයි.විවිධ ශබ්ද අතරින් තමන්ට මේ ලෝකේ තියන ලස්සන හඬ තාත්තාගේ හඬ කියලා එහෙම කලබල සෙනඟ පිරුණු තැනකදී ඕනෑම දුවෙක් තේරුම් ගනීවි.

මුහුදු වෙරළේ වැලි මාලිගා හදන දුවෙකුට ඕනෑම සිහින මාලිගාවක් ඉක්මනින් කැඩී බිඳී යා හැකි පාඩම තාත්තාට උගන්වන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි.සිප්පි කටු අහුලමින් රැල්ල පාගමින් මනරම් හවස් වරුවක් ගෙවා දමන්න පුලුවන්.

තාත්තාගේ පර්ස් එකට බහින එක යාන්තම් බහ තෝරන වයසේ දියණියක් විතරක් නෙවෙයි.තාත්තගේ විශ්‍රාම වැටුප වගේ දෙතුන් ගුණයක වැටුපක් ලබන ලොකු දුවෙක් වුණත් බොහොම ආසාවෙන් කරන වැඩක්.ඇය ආසම දෙයක් අරන් දෙන්න දූ එක්ක කඩසාප්පු ගානේ යන එක තාත්තාටත් දුවටත් කදිම ඩේට් එකක් වෙයි.

නිදහස් සහ සුන්දර අවන්හලක දූ එක්ක රාත්‍රී කෑමකට යාම තාත්තා කෙනෙකුට අලුත් අත්දැකීමක්.තරුණ වයසේ ඉන්න ස්මාර්ට් කෙල්ලනේ, පලමු වැටුප ගත්තු දවසට, තාත්තාගෙ උපන් දිනේට මෙහෙම අපූරු වැඩක් කරන්න ඔයාලට පුලුවන්.

තාත්තා එක්ක ගත කරන තත්පරයක පවා දුවෙකුගේ ජීවිතයට වටිනාකම් එකතු වෙනවා.ඇය අලුත් දේවල් ඉගෙන ගන්නවා.දුවෙක් අයිති තාත්තාට කියන සාම්ප්‍රදායික කියමන බැහැර කළ යුතු බව ඇත්ත.නමුත් තාත්තා සහ දියණිය අතර පවතින අවියෝජනීය බැඳීම ලෝකයේ ඇති ඉමිහිරිම බැඳීම් වලින් එකක්.ඉතින් ඔබේ පුංචි දෝණිට තාත්තා එක්ක ඩේට් එකක් ප්ලෑන් කරලා දෙන්න.වියපත් වෙමින් ඉන්න ඔබේ තාත්තා එක්ක සුන්දර ඩේට් එකකට යන්න.

තාත්තා කියන්නේ දුවෙකුගේ පළමුවැනි ආදරේ! ඒක හැමදාමත් එහෙම තමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here