සුසන්ත පුෂ්පකුමාර සුපුරුදු පරිදි සිය ත්‍රිරෝද රථයත් රැගෙන කලුවාමෝදර පාලම අසල රථ ගාල වෙත ගියේ අදවත් හොඳ හයර් එකක් ලැබේවි යන බලාපොරොත්තුවෙනි. ඔහු ඒ වනවිට ත්‍රිරෝද රථයේ නොගෙවූ හිඟ වාරික ප්‍රමාණය තුනකට ආසන්න වී තිබිණි. ඊට අමතරව නිවසේ ගෙවල් කුලිය මෙන්ම ළමයින්ගේ ටියුෂන් පන්තිවලට ගෙවන්නට ඇති මුදලද ගොඩ ගැසී තිබිණි. මේ හැම ප්‍රශ්නයකින්ම ගොඩ ඒමට නම් සැලකිය යුතු ආදායමක් ඔහු අතට පැමිණිය යුතුය. නමුත් සුසන්තට වැඩිපුරම ලැබුණේ රුපියල් 100-150 වැනි මුදලක් ලැබෙන කෙටි ගමන් වාරය. ඒකත් පැය ගණනකට එකක් හෝ දෙකකි. එම මුදලින් කෙසේ වත් සුසන්ත පෙළෙන ණය කන්දෙන් ගොඩ ආ නොහැකි බව ඔහු හොඳාකාරවම තේරුම් ගෙන තිබිණි.
සුසන්තගේ පාසල් මිතුරෙක් කන්දේ විහාරයට යන අතරමඟදී සුසන්තව දුටුවේ අහම්බෙනි. ඔහු හා ආගිය තොරතුරු කතාබහ කළ සුසන්ත ඔහු පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ සඳහන් කළේ යම් උපකාරයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. සුසන්තගේ මිතුරා සියල්ල සාවධානව අසා සිට ඔහුට ලබා දුන්නේ අපූරු විසඳුමකි. ඒ ඔහු ජීවිතය ජයගත් ආකාරයෙන් සුසන්තටත් ජීවිතය ජයගන්නට කටයුතු කරන ලෙස පවසමිනි. සුසන්තගේ මිතුරා ඒ වන විටත් ස්වයං ධාවන සංචාරක කර්මාන්තය වෙනුවෙන් ත්‍රිරෝද රථ තුනක්ම යොදවා තිබිණි. ඔහු ඒ හරහා මසකට රුපියල් 200,000කට අධික ආදායමක් උපයමින් පැවතිණි. ඔහු පැවසුවේ මේ වන විට තමන්ට පැවැති ප්‍රශ්න සියල්ල අවසන් බවයි. ඒ සියල්ලෙහි පෙර ගමන්කරුවා වූයේ ඔහුගේ සරල ගමන් සගයා වන ත්‍රිරෝද රථයයි.
ස්වයං ධාවන සංචාරක කර්මාන්තය පිළිබඳ සුසන්තගේ මිතුරා වන අජන්ත සමඟ දොඩමළු වීමට අපටද අවස්ථාවක් උදාවිණි. එහිදී ඔහු සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරිනි.
සංචාරක කර්මාන්තයට දක්වන දායකත්වය ඉතා ආකර්ෂණීයයි
“මම දැන් පදිංචි වෙලා ඉන්නේ මොරටුවේ. මම රජයේ රැකියාවක් තමයි කරන්නේ. ඊට අමතරව මට ත්‍රිරෝද රථයක් තිබෙන නිසා මම ඒක වෙනත් අයෙකුට හයර් දුවන්න දීලා තිබුණේ. මට එයින් දවසකට රුපියල් 1000ක මුදලක් ලැබුණා. හැබැයි සමහර දවසට හයර් නැහැ කියලා ඒ ගාණ දෙන්නැති අවස්ථාත් තියෙනවා. වාහනය දුවනවට වඩා හදනවා. ඒවට වියදම් කරාම මට එන ආදායමක් නැහැ. මම අන්තිමට කළේ වාහනය දුවන්න නොදී ගෙදර තියා ගත්ත එක. ඒක හයර් දුවනවට මට වඩා ලාභයි. මොකද සතියකට පාරක් වාහනේ හදන්න වියදම් කරන මුදල හරි මට ඉතිරි වෙනවනේ.
ඔහොම ඉන්නකොට තමයි මම සංචාරක කර්මාන්තයට ත්‍රිරෝද රථය යොදාගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දැනගත්තේ. මම කෙළින්ම ගිහිල්ල කතා කළා. මගේ ළඟ මෙහෙම වාහනයක් තියෙනවා සමඟ සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මගේ වාහනයේ ආරක්ෂාව ගැන වගේම මට මාසිකව ලැබෙන මුදල පිළිබඳවත් පැහැදිලිව කතා කර කරගන්න පුළුවන් වුණා. එහෙම තමයි මම මගේ පළවෙනි වාහනය සංචාරක කර්මාන්තය සමග සම්බන්ධ වුණේ.
මට මාසිකව ආකර්ෂණීය මුදලක් වගේම නියමිත පරිදි ගෙවීම් කටයුතු සිදු කළා. ඔවුන් මා සමග ඉතා විශිෂ්ට ලෙස ගනුදෙනු කළ නිසා මට පුළුවන් වුණා අවස්ථා දෙකකදී ලීසිං පහසුකම යටතේ තවත් වාහන දෙකක් ටුක් ටුක් හා සම්බන්ධ කරන්න. ඒ තුළින් මගේ මාසික ආදායම සැලකිය යුතු අන්දමින් වැඩි වුණා. වාහනයේ ලීසිං එක ගෙවාගෙන අතටත් හොඳ ගාණක් ඉතුරු කරගන්න මේ නිසා පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් අපේ ජීවිත පට් පට් ගාල වෙනස් වුණා කියලා කිව්වොත් නිවැරදියි. මේ තුළින් අපේ ආදායම වර්ධනය වෙනවා වගේම රටේ ආර්ථිකයට සංචාරක කර්මාන්තයට දක්වන දායකත්වය ඉතා විශිෂ්ටයි. එහි කොටස්කරුවෙක් වෙන්න ලැබීම පිළිබඳ මට තියෙන්නේ නිහතමානි ආඩම්බරයක්.”
ඔහුට සමුදුන් අපට මීළඟට හමුවූයේ ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය තුළින් ජීවිතය ජයගත් තවත් තරුණයෙකු අබියසයි. ඔහු නමින් අසංකය. කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසංක වසර තුනක පමණ කාලයක සිට ස්වයං ධාවන සංචාරක කර්මාන්තය සමග සම්බන්ධ වී කටයුතු කරන තරුණයෙකි. අසංක ඒ තුළින් ලද ආදායම ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර ජීවිතය
ජයගැනීමේ මාවතට පිවිස තිබේ. ඔහුගේ හඬට කන් දීම වඩා වටින්නේ අන් අයටද ඔහු මෙන් ස්වයං ධාවන ටුක් ටුක් සංචාරක කර්මාන්තය වෙතින් ලද මුදල් නිසි පරිදි ආයෝජනය කළහොත් ජීවිතය ජය ගැනීම අපහසු නොවන බැවිනි. ඔහුගේ කතාව කියන්නට අප ඔහුටම බාර කළෙමු.
ස්වයං ධාවන ත්‍රිරෝද රථ කර්මාන්තයෙන් ලද මුදල් ව්‍යාපාරයක ආයෝජනය කළා
“මගේ නම අසංක. මම දැන් ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය සමග සම්බන්ධ වෙලා අවුරුදු තුනක් විතර වෙනවා. කියන්න සන්තෝසයි එදා වේල හොයාගන්න බැරිව හිටපු මම ටුක් ටුක් නිසා ජීවිතයේ ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මේ මම දැනට ජීවත්වන ගෙදර. සංචාරක කර්මාන්තයෙන් වලින් ලැබුණු මුදල්වලින් මේ ගෙදර පොඩි අලුත්වැඩියාවක් කර ගත්තා. තව මුදල් ටිකක් ඉතිරි කරලා අපි අපේ ගෙදරම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක හවස් වරුවට ආහාර පාන විකුණන පොඩි ව්‍යාපාරයක්. ඒකෙනුත් අපිට සැලකිය යුතු තරමේ ආදායමක් ලැබෙනවා. දැන් අපේ ආදායම දෙගුණ වෙලා. මේ වෙද්දි අපට යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි අලුතින් ගෙයක් හදන්නත් තීරණය කරගෙන ඉන්නෙ.” යනුවෙන් ඔහු අප හා පැවසුවේ රටක් රාජ්‍යයක් දිනුවා හා සමාන සන්තෝෂයකිනි.
ස්වයං ධාවන ටුක් ටුක් සංචාරක සේවය නගරයට පමණක් සීමා වූවක් නොවේ. එහි ප්‍රතිලාභ රට පුරාම ව්‍යාප්ත වී ඇත. අනුෂා මහත්මිය අපට මුණ ගැසෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ උල්ලල ග්‍රාමයේදීය. ඇය සිය අත්දැකීම් අප හා අප හා බෙදා හදා ගැනීමට දෙවරක් නොසිතාම එකතු විය. ඒ ඇයගේ පවුල සතුව එකම වාහනය වන ත්‍රිරෝද රථය ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය හේතුවෙන් බේරා ගැනීමට හැකිවීම හේතුවෙනි. ඇය කීවේ එසේ නොවන්නට මේ වන විට තමන්ගේ ත්‍රිරෝද රථය තමන්ට අහිමි වී බොහෝ කල් බවය. මේ ඇගේ කතාවයි.
සංචාරක කර්මාන්තය නොවන්න මගේ වාහනය අහිමිවෙලා ගොඩක් කල්
මගේ නම අනුෂා. පදිංචි වෙලා ඉන්නේ මාතර උල්ලල. මගේ මහත්තයා කරන්නේ මේසන් වැඩ. අපට තියෙන එකම වාහනය තමයි අපේ ත්‍රීවීල් එක. ඒකෙ වාරික ගෙවා ගන්න බැරිව ඇරියස් වෙලා තිබුණේ. මහත්තය හම්බු කරන මුදලින් වාහනේ පිනෑන්ස් ගෙවන්නයි කන්න බොන්න ගේන්නයි දෙකම කරන්න අමාරුයි. වාහනය උස්සන්න ඔන්න මෙන්න කියල තිබුණේ. ඒ වෙලාවේ අපි දෙන්නම කතා වුණේ වාහනේ කොහෙට හරි දාමු කියලා. අපි එහෙම දස අතේ කල්පනා කර කර ඉන්නකොට තමයි මගේ යෙහෙළියක් ඇවිත් ටුක් ටුක් එකේ බිලක් දීල ගියේ. මට ඒ තරම් විශ්වාසයක් තිබුණෙත් නැහැ. මම නිකමට වගේ කතා කරලා බැලුවා එතකොට කිව්වා වාහනේ ගෙනත් දාන්න කියලා. කරපු පළවෙනි කතා බහෙන්ම ආයතනය ගැන ඇතිවුණු විශ්වාසය නිසා අපි වාහනය
ගිහින් දැම්මා. වාහනය දීපු මුල් දවස්වල ඒක හදන්නත් තිබුණු නිසා ඒ අඩුපාඩු හදල ඉතිරි මුදල තමයි අපට ලැබුණේ. ඒත් මාස දෙක තුනක් යනකොට අතට සෑහෙන මුදලක් ලැබුණා. ඇත්තටම වාහනය කම්පැනි තත්වයටටම හදලා තියෙනවා. දැන් අපි වාහනේ ෆිනෑන්ස් එක සම්පූර්ණයෙන්ම ගෙවන්නේ ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදලින්. හැමදේම පිළිවෙළටම ලැබෙනවා. වාහනේ යන දවස, එන දවස, ගෙවීම් කරන දවස වගේ හැම දෙයක්ම පිළිවෙලටම කරනවා. අපි වාහනේ ගැන අහන්න කලින් හැම දෙයක්ම ඒගොල්ලෝ අපිට දැනුම් දෙනවා. නිකමට කෝල් එකක්වත් දීල බලන්න වුවමනා නැහැ.
අපි මුලදි ටුක් ටුක් ගැන දැනගෙන හිටියේ නැහැනේ. සමහරු කිව්වා වාහනේ දාන්න එපා කියලා. මොකද මේ වෙද්දි හැම තැනම හොර වැඩ වෙනවනේ. නමුත් දැන් ඒ කතාව ඔක්කොම බොරු වෙලා. අපට ගෙවීම් කරන්නේ ඩොලර් වලින්. රටට විදේශ විනිමය අවශ්‍ය මොහොතක ඒ වෙනුවෙන් කැපවෙන මේ කර්මාන්තය සමඟ සම්බන්ධ වෙන්න ලැබිච්ච එක වාසනාවක් කියලයි මම හිතන්නේ.”
හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ෂමී දැනට වසර ගණනාවක සිටම සංචාරක කර්මාන්තයේ නිරත වැඩි වැඩියෙන් රටට විදේශ විනිමය ගෙන ඒමට කැපවන පුද්ගලයෙකි. ඔහු සමග වචනයක් කතාකිරීමේ අවස්ථාව අපටද උදාවිණි. ඔහු කියන්නේ සංචාරකයන්ට ලංකාවේ දේශීය අද්දැකීම විඳීමට හොඳම ක්‍රමය ටුක් ටුක් බවය.
සංචාරකයන් නොපෙනෙන සල්ලියක් වියදම් කරනවා
“මම මුලින්ම 2006 වසරේ සංචාරක රියදුරෙක් විදිහට තමයි කටයුතු ආරම්භ කරන්නෙ. මට අලුත් දෙයක් කරන්න ඕන කියල හිතුණු නිසා 2009 වසරෙ පා පැදිවලින් ‘විලේජ් ටුවර්’ එකක් පටන් ගන්නවා. ටික කාලයක් ඒක කරලා 2010 වසරෙදි සංචාරකයන් වෙනුවෙන් මෝටර් බයිසිකල් දීමේ වැඩසටහනක් දියත් කරනවා. ඔහොම ආපු මම 2019 වසරෙදි ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය සමග සම්බන්ධ වෙනවා. සංචාරකයන්ට ආරාධනා කළා ලංකාවේ දේශීය අද්දැකීම විඳගන්න සම්බන්ධ වෙන්න කියලා. එහෙම ආපු ගමනෙදි දැනට මගේ ළඟ 13 දෙනෙක් රැකියාව කරනවා සංචාරක මගපෙන්වන්නන් ලෙස.
4 දෙනෙක් කාර්යාලයේ වැඩ කරනවා. ඊට අමතරව මම නිසා 150කට අධික පිරිසකට මසකට විශාල ආදායමක් ලැබෙනවා.
අපි නිතරම සංචාරකයන්ට කියන දෙයක් තමයි පුළුවන් තරම් පොඩි තැන්වලට යන්න කියලා. ගමේ ගොඩේ පොඩි කඩේකින් නැවුම් ගස්ලබු ගෙඩියක් කන්න, තැඹිලි ගෙඩියක් බොන්න කියලා. ස්වයං ධාවන ටුක් ටුක් සංචාරක සේවය නිසා ගම්මානවල දහස් ගණනකගේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. මගේ ළඟට විතරක් වසරකට සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් එනවා. වාහනවලට තෙල් ගහන එකේ ඉඳන් හෙටෙල් වලට, රෙස්ටුරන්ට් වලට හැම දේකටම වියදම් කරන්නෙ සංචාරකයන්ගෙ සල්ලි. නොපෙනෙන සල්ලියක් මෙම කර්මාන්තය නිසා සංචාරකයන් ලංකාව තුළ වියදම් කරනවා. ලංකාවේ දේශීය අද්දැකීම විඳින්න හොඳම ක්‍රමය මේක නිසා රජය මැදිහත්ව මෙය තව තවත් ශක්තිමත් කළ යුතුයි.”
ටුක් ටුක් ඔබට මෙන්ම රටටත්
සංචාරක ව්‍යාපාරය යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති මෙවන් සමයක එමඟින් බදු වශයෙන් රජයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ. ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය නිසා සංචාරක ආදායම රටේ පහළම ස්ථරය දක්වාම බෙදීයෑමේ හැකියාව උදාවී තිබේ. ස්වයං ධාවන ටුක් ටුක් සංචාරක සේවය හේතුවෙන් ත්‍රිරෝද රථ හිමිකරුවන්ට ලැබුණු සෘජු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 4 පමණ ය. ඊට අමතරව වක්‍ර ආකාරයෙන් දහස් ගණනකගේ අතමිට සරු වී තිබේ. මේ වනවිට දේශීය ත්‍රිරෝද රථ 1200 කට පමණ අවස්ථාව සැලසී ඇති අතර සංචාරක ව්‍යාපාර අනුබද්ධ වන සහ ඒ හා නොබැඳි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයන්, කාන්තාවන් සහ අස්ථාවර මූල්‍ය තත්ත්වයන් තිබුණු පුද්ගලයන්ට ස්ථාවර ඉහළ අමතර ආදායමක් ලබාගැනීමට හැකිවී තිබේ. මේ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ දෛනික වියදම්, ණය ආපසු ගෙවීම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ඉදිකිරීම් සඳහා විශාල පිටිවහලක් ලැබී තිබේ. එනම් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම ඉහළ ගොස් තිබේ.
එසේම මේ වනවිට දිනෙන් දිනම මෙම සේවාව වෙත පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ යෑමෙන්ම ඒ වෙත ඇති සංචාරක ආකර්ෂණය මැනවින් පිළිබිඹු වේ. ස්වයං ධාවන ත්‍රිරෝද රථ සංචාරක කර්මාන්තය විදෙස් සංචාරකයන්ගේ මෙන්ම දහස් ගණනක් වන ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ ජීවන ගමන් සගයාය. රටට අත්‍යවශ්‍ය සංචාරක ආදායමක් ආකර්ෂණය කර ගැනීමටත් එම ආදායම රට පුරා විවිධ ස්ථරවල ශ්‍රී ලාංකිකයන් අතර බෙදා හැරීමටත් අපේ සරල ත්‍රිරෝද රථය නිසා හැකියාව ලැබී ඇත. මෙම කර්මාන්තය දියුණුවට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම රජයේ මහඟු වගකීමකි.

එස්. ප්‍රසංග
Saru FM Media











