ත්‍රිකුණාමලයේ බෞද්ධ උරුමය සහ එය සංහාරය කිරීමේ නීච තැත

0
7

ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය සියවස් පහළොවකට කිට්ටු අතීතයකට සාක්‍ෂි දරයි. එකල නැඟෙනහිර පළාතේ වරාය කිහිපයක් තිබූ අතර, ඒවායෙන් පැමිණි විවිධ බෞද්ධ නියෝජිතයෝ මෙහි තිබෙන පිරිසිදු බුදුදහම දැක නැඟෙනහිර පළාතේ විහාරාරාම පිහිටුවීමට රජවරුන්ට උදවු කළහ. ලංකාවට බුදුදහම ගෙන එනු ලබන්නේ ක්‍රි.පූ. 247 දී මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් අවුරුදු තුන්සියයකට පමණ පසු ය. ඒ වනවිට විජය රජු ද මෙරටට පැමිණ අවුරුදු තුන්සියයකි. විජය රජු ශිව භක්තිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවට එන විට ලංකාවේ විවිධ ආගම් තිබිණ. ඒ අතර බෞද්ධයන් ද සිටින්නට ඇතැයි උපකල්පනය කෙරේ. බුදුදහම නැඟෙනහිර පළාතේ පැතිරීයත්ම එම ප්‍රදේශවල තිබූ ගස්, ගල් වැඳීම ඇතුළු මිථ්‍යාදෘෂ්ටීන් ක්‍රමයෙන් වියැකී ගියේ ය. දැනගන්නට ඇති පරිදි නැඟෙනහිර පළාතේ බෞද්ධ ප්‍රබෝධයේ උපරිම අවස්ථාවේ දී විහාරාරාම සියයකට වඩා එම ප්‍රදේශයේ තිබිණ. එහෙත් අද ඉතිරිව ඇත්තේ ගිරිහඬු සෑය, ගෝකන්න විහාරය, ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, සේරුවාවිල මංගල රජමහා විහාරය, වෙල්ගම් විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක් පමණි. ඉතිරි සියල්ලම චෝල ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලදී. නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය එසේ විනාශ වෙද්දී රටේ ඉතිරි හරියේ බෞද්ධ විහාරස්ථානවලට ගිනි තබන ලද්දේ ය. එය කළේ එක්දහස් පන්සිය ගණන්වල මෙහි පැමිණි පෘතුගීසි සෙන්පති ජෙරනිමෝ ද අසවේදු නමැති කලවැද්දා විසිනි. ලංකාවේ බස්නාහිර පළාතේ පවතින වර්ෂ දෙදහස් පන්සියයක ඉතිහාසයක් ඇති කැලණි රජමහා විහාරයට පවා මේ විජාතික කලවැද්දෝ ගිනි තැබූහ. කැලණි විහාරයට යුරෝපීය ආක්‍රමණිකයන් ගිනි තබන හැටි පෙන්වන චිත්‍ර පවා තිබේ. ඒ චිත්‍ර මුඛ පරම්පරාගතව පැමිණි ඇසින් දුටු සාක්‍ෂිවලින් මීට අවුරුදු දෙසීයකට පමණ පෙර නිර්මාණය කරන ලද ඒවා ය. කාලයෙන් කාලයට බුද්ධාගම වැනසීම පිණිස විවිධ සතුරෝ කොහෙන් හෝ මතුවෙති. අද කතාව නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ බෝධිවර්ධනාරාමය බිමට සමතලා කර දැමීමට පොලිසිය ගත් උත්සාහය පිළිබඳ ශෝකජනක විස්තරයකි. මීට දිනකට පමණ පෙර බෝධිවර්ධනාරාම පූජා භූමිය තුළට මධ්‍යම රාත්‍රියේදී පැමිණි පොලිස් හමුදාවක් එම පූජා භූමියේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් ඉවත් කරන හැටිත්, එයට විරුද්ධ වීම සඳහා ඉදිරියට එන භික්‍ෂුන් වහන්සේලාට පොලිසිය පහර දෙන හැටිත් දැක්වෙන වීඩියෝවක් මේ මොහොතේ දී අන්තර්ජාලය පුරා සැරිසරයි. පොලිසිය කියන්නේ මෙය ඉහළින් ආ නියෝගයක් ලෙස ය. මේ ඉහළ නියෝගය දීමට හැක්කේ පොලිස්පතිට පමණි. එසේම පොලිසිය භාර ඇමැතිට සහ ආරක්‍ෂක ලේකම්ට ද මේ නියෝගය දීමට පුළුවන. අපි මේ කාරණයට ජනාධිපති හෝ අගමැති ගාවා නොගනිමු. මේ පජාති වැඩේ සිදුවී ඇත්තේ මේ දෙදෙනාම සුවසේ නිදා සිටින අතර විය යුතුය. ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ආණ්ඩුව ඇතුළෙන්ම ක්‍රියාත්මක වන පිරිසක් ත්‍රිකුණාමලය සිද්ධිය පසුපස සිටීමට පුළුවන. ඒ ගැන ආණ්ඩුව කල්පනාවෙන් පසුවිය යුතු ය.

ත්‍රිකුණාමලයේ සිටින ජන ඝනත්වය සිංහල, දෙමළ, මුස්ලිම් යන තුන්වර්ගයෙන්ම නිර්මිතය. බුදු පිළිමය ඉවත් කරන ලද්දේත් භික්‍ෂුන් වහන්සේලාට සහ සාමාන්‍ය ජනතාවට පහරදෙන ලද්දේත් දෙමළ හෝ මුස්ලිම් ජනතාව නොව පොලිසිය බව එම මොහොතේ දී එතැන සිටි සිංහලයෝ කියති. බුදු පිළිමය ඉවත් කිරීම සඳහා එතැනට ගිය පොලිස් ප්‍රධානියකු භික්‍ෂුන් වහන්සේලා සමග විශාල ආරවුලකට යන හැටි වීඩියෝ මගින් පැහැදිලි වේ. මෝල්ගස් දෙකක් සිටුවා එය මත පිටිගෝනියක් තබා එම පිටිගෝනිය මත පොල් ගෙඩියක් තැබූ විට නිර්මාණය වන විකාර ස්වරූපයකින් හෙබි මේ උසස් කාකිකෝට්කාරයා භික්‍ෂුන් වහන්සේලාට බැණවදින අයුරු ද වීඩියෝවේ තිබේ. මේ සිද්ධියට පෙර සිවිල් ඇඳුමින් පැමිණි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියෙක් සහ රාලහාමිලා පිරිසක් විසින් බුදුපිළිමය අයින් කර ගන්නා ලෙස එතැන සිටි ජනතාවට දන්වා ඇත. ඉන් පසු ඒ පිරිස අතුරුදන් විය. මේ රටේ ජනතාව බුදුදහම කෙරෙහි ඇති ඇල්ම ත්‍රිකුණාමලයේ සිද්ධියෙන් පැහැදිලි විය. එනම් ඒ මහ රෑ ත්‍රිකුණාමලයේ වැසියන් දහස් ගණනක් පොලිසියෙන් ගුටිකෑමට හෝ මැරුම්කෑමට සිතාගෙන විහාර භූමියට පැමිණියහ. වැදගත්ම කාරණය නම් සිංහලයන්ට සහයෝගය දීම සඳහා දෙමළ හා මුස්ලිම් මිනිසුන් ද පැමිණ සිටීමයි. කාකි ඇඳුම්කාරයන් හෝ වෙනත් පිරිසක් විසින් මෙම ස්ථානය තුළ ආගමික කෝලාහලයක් ඇති කරන්නට සැලසුම් කළා විය යුතු ය. පොලිසිය විසින් බුද්ධ ප්‍රතිමාව ඉවත් කළ විට සිංහලයන් ගොස් ප්‍රදේශයේ හින්දු කෝවිල්වලට සහ ඉස්ලාම් පල්ලිවලට පහර දෙනු දැකීම මෙම සැලසුම විය හැකිය. එවිට ශ්‍රී ලංකාව තුළ තවමත් ආගම්වාදී සහ ජාතිවාදී කෝලාහල තිබෙන බව කීමට ඩයස්පෝරාවට පුළුවන් වෙනවා ඇත. මෙවැනි විටෙක එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් පවා ලංකාවට එවීමට පෙලඹවීමක් සිදු කිරීමට ඩයස්පෝරාවට පුළුවන. සමහර දෙමළ අන්තවාදීන්ගේ සිත් තුළ ඊළාම් බීජය තවමත් තිබේ. විශේෂයෙන්ම ඩයස්පෝරාවේ කුණු හිත් තුළ මේ ඊළාම් බීජය පැළවී දලු දමා තිබෙනවා වන්නට පුළුවන. එම කුඩා පැළය ගහක් කරගත හැකි දවසට ඩයස්පෝරාවට සිය ජාතිවාදී ජයග්‍රහණය වාර්තා කර ගැනීමට පුළුවන.

ත්‍රිකුණාමලයේ සිද්ධිය වාර්තා කිරීමට සහ විවේචනය කිරීමට යෑමෙන් මේ පුවත්පතට අගතියක් මිස වාසියක් ලැබෙන්නේ නැත. පළමුව ත්‍රිකුණාමලයේ පිටිගෝනි පොලිසිය අප සමග තරහ වනවා ඇත. දෙවනුව ආණ්ඩුව අප සමග අමනාප වීමට ඉඩ තිබේ. අප මේ සිද්ධිය ගැන කතා කරන විලාසයෙන් කතා කිරීමට වෙනත් කිසිදු කෙනකු ඉදිරිපත් වන්නේ නැත. සමාජ මාධ්‍ය කොතරම් ප්‍රයෝජනවත් දෙයක් ද යන්න මේ මොහොතේ දී අපට හැඟී යයි. ත්‍රිකුණාමලයේ බුදුපිළිම ඉවත් කිරීමේ සිද්ධිය එම වීඩියෝව මගින් ෂෙයාර් නොවූයේ නම් එය කටකතාවක් පමණක් හැටියට රෙජිස්ටර් වෙනවා ඇත. මේ කටකතාව ප්‍රයිවෙට් බස් සහ මාළු ලොරිවල නැඟී කොළඹට එන විට අශ්වයා පැනගොස් අවසාන ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here