ත්‍රිකුණාමලයේ බෝධිරාජ විහාරයට කරන හානිය වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා

0
7

අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස මහ නාහිමි
උතුරේ වගේම නැගෙනහිරත් බොදු උරුමය නැති කරන්න වළිකනවා

උතුරේ විහාරස්ථානවලට හානි කරමින් බොදු උරුමය නැති කිරීමට උත්සහ ගන්නවා වගේ දැන් නැගෙනහිරත් බොදු උරුමය නැති කරන්න වළිකනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට කරන හානිය වහාම නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යැයි අමරපුර මූලවංශික මහා නිකායේ මහ නායක අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස මහ නාහිමියෝ ඊයේ (17දා) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.

අමරපුර නිකායේ මූලස්ථානය වන බළපිටිය වැලිතොට අම්බරුක්ඛාරාම මූල මහා විහාරස්ථානයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ.

ත්‍රිකුණාමලයේ මෙම විහාරස්ථානය පවත්වා ගෙන එන්නේ මීට වසර හැත්තෑ පහකට ඉහතදී එනම් 1951 සිටයි. දහම් පාසලකුත් තිබෙනවා. එහෙත් මෙම විහාරස්ථානයේ තිබුණු බුදු පිළිමය පොලිසියෙන් 16දා රාත්‍රියේ ඇවිත් ඉවත් කරල පන්සලට අලාභානි කර තිබෙනවා. අපි එය සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. විහාරය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙනවා. 2014දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මේ සඳහා ඔප්පුව පවාදී තිබෙනවා.

බෞද්ධයා සහ සංඝයා වහන්සේලා ඉවත් කරන්න බලවත් උපක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේකත් එහි කොටසක් වෙන්න පුළුවන්. මීට පෙර උතුරෙත් විහාරස්ථානවලට හානි කළා. පොලිසිය මැදිහත් වී කටයුතු කිරීමෙන් දේශපාලන අධිකාරිය යටින් ක්‍රියාත්මක වන බව පෙනෙනවා. ප්‍රදෙ‍්ශයේ බෞද්ධ ආගමික කටයුතු සිදු කළේ මෙම විහාරස්ථානයෙන්. මේ විහාරස්ථානය තිබීමෙන් මෙතෙක් කිසිදු ආගමික ගැටීමක් හෝ සාමය කඩවීමක් වෙලා නැහැ. පොලිසියේ මෙම ඉවත්කිරීම බලවත් සේ හෙළා දකිනවා. ඉවසිලිවන්තව ගුණගරුකව කටයුතු කරන ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජන ආරක්ෂක ඇමැතිවරයාට හා තවත් උදව් කළ දේශපාලනඥයන්ට ස්තුති කරමින් ඇතැම් ජනයා හැසිරීම නිසා රජයේ මැදිහත්වීමක් තිබෙන බව පෙනී යනවා. බලපත්‍රයක්වත් නැතුව අනවසරයෙන් පවත්වා ගෙන යන කෝවිල් සහ පල්ලි විශාල ප්‍රමණයක් ඒ ප්‍රදේශයේ තිබෙද්දී නීත්‍යානුකූල මෙම විහාරස්ථානයට හානි නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවට බළපිටිය දකුණ ශාසනාරක්ෂ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කැටපලේ සමිතතිස්ස, බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොස්ගොඩ සිරිවිමල, දක්ෂිණ ලංකාවේ ද්විතීයික සංඝනායක පොල්ලමුරේ ඤාණකුසල, වතුගෙදර සංඝරතන, කොස්ගොඩ සද්ධානන්ද, ආචාර්ය දංගල කුසලඤාණ, බද්දෙගම ඤාණානන්ද යන හිමිවරුද සහභාගි වූහ.

බළපිටිය – අනුර යසමිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here