තව ටිකක් මිස් වුණානම් සෙව්වන්දි යුරෝපයේ

0
1

ඩුප්ලිකේට් ඉෂාරාගේ තොරතුරුවලින් ඉෂාරා යුරෝපයට යවන්න හදලා

ඉෂාරාව නේපාලයට රැගෙන ගියේ ජේ.කේ. බායි

‘ගම්පහ බබා ’ ලක්‍ෂ 50ක අල්ලස් දෙන්න හදලා

ඉෂාරාට මතුගම නවාතැන් දුන්නේ පොලිසියේ නිලධාරියෙක්

පද්මේ අල්ලපු නිසා ඉෂාරාට ජීවත්වෙන්න සල්ලි නැතිව කරාබු ජෝඩුවත් විකුණලා

‘ගම්පහ බබා’ ‘නුගේගොඩ බබීත්’ කොටුවෙයි

දින 237ක්. ඒ කියන්නෙ මාස 8කට ආසන්න කාලයක් මුළු රටෙන්ම වහන් වී සිටි මාධ්‍යයේ පුවත් මැවූ පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වූ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට කළ සුපිරි මෙහෙයුමට නොදෙවෙනි මෙහෙයුමකින් අනතුරුව ඉෂාරා සෙව්වන්දි එහෙමත් නැත්නම් මේ සුරූපී පාතාල අපරාධකාරිය නේපාලයේ කඳුකර පෙදෙසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ සැබැවින්ම අපේ පොලිස් නිලධාරීන්ගේ දක්‍ෂතාව නිසාම බව කිව යුතුය.

රට වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ දවසේ වෙඩිල්ලට නැවතීමේ තිත තැබූ තවමත් සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසට සිටින රොහාන් ඕලුගල නේපාල මෙහෙයුමේ ද මහ මොළකරු විය.

රොහාන් ඕලුගලගේ තිබූ දක්‍ෂතාව ස්ථානෝචිත ප්‍රඥාව, කාර්යශූරත්වය නොවන්නට ඉෂාරා සෙව්වන්දි ඇතුළු ඇගේ සහචරයන් තවමත් සිටින්නේ නේපාලයේ කඳුකර පෙදෙසක සුපිරි නිවාසවල සුඛෝපභෝගි ජීවිතගත කරමින්ය.

කයිවාරුකාරයන් බොරු සෝබනකාරයන් කොතෙකුත් සිටිය ද අද වනවිට පොලිසියේ කීර්තිනාමය විශ්වාසනීයත්වය රඳා පවතින්නේ රොහාන් ඕලුගලගේ දෙවුර මතය. වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ කැපවීම, උනන්දුව, උත්සාහය ද මෙහිලා අගය කළ යුතුය. මේ මෙහෙයුම් සියල්ල සාර්ථක වූයේ පොලිස්පතිවරයා නිරතුරුව ලබා දුන් ශක්තිය නිසාමය.

ඉෂාරා කොටුවූ හැටි

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පාතාල සගයන් අත්අඩංගුවට පත්වන්නේ ඔවුන් නොසිතූ මොහොතකය. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල පොලිස් පරීක්‍ෂක ගිහාන් ද සිල්වා සහ නේපාල පොලිසියේ නිලධාරීන් ඉෂාරා සැඟවී සිටි කුලී නිවසට කඩා පනිද්දී ඇය මොහොතකටවත් කලබල නොවූවාය.

රොහාන් ඕලුගල මහතා දුටු සැනින් ඇය ඔහු හඳුනා ගත්තාය.

“ඕලුගල සර්…” යනුවෙන් කතා කළ ඇය දිගු සුසුමක් හෙලුවාය.

ඉෂාරා සෙව්වන්දි කියන්නෙ තමුන් නේද? කිසිත් නොකියා ඇය හිස සැලුවාය. රොහාන් ඕලුගල මහතා ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගනිමින් විමසුවාය.

“පද්මෙ අයියා අහුවුණා කියලා ආරංචි වෙච්ච දවසෙම මට හිතුනා ඕලුගල සර් ඊළඟට කොටුකර ගන්නෙ මාව කියලා.”

“මට වෙන රටකට පනින්න අවස්ථාවක් තිබුණේ නැහැ. වෙන දෙයක් වෙච්චාවේ කියලා එළියට පහළියට බහින්නෙ නැතිව මං කාමරේටම වෙලා හිටියා.”

“මං හිතුව වගේම ඕලුගල සර් ආවා. සර්ලා දැක්කම මට පුදුම හිතුණෙ නැහැ. මං දැනගෙන හිටිය මට මේ දේ වෙනවා කියලා…”

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය මේ බව හෙළිකර සිටියාය.

මුළු රටම හෙල්ලූ මහා අපරාධයක මහා මොළකාරිය ලෙස පොලිසියට කොටු වූ ඉෂාරා සෙව්වන්දි පොලිස් නිලධාරීන් ඉදිරියේ සිනාමුසු මුහුණින් හැසිරුණේ කිසිදු අපරාධයක් සිදු නොකළ එකියක ලෙසය.

පොලිස් අත්අඩංගුවේදී ඕනෑම නිර්භීත පිරිමියකු පවා හැසිරෙන්නේ අතිශය භීතිය සංත්‍රාසයෙන් යුතුවය. එහෙත් පොලිසියට කොටුවෙද්දී මෙන්ම ඉන් පසුවත් ඉෂාරා සෙව්වන්දි තමන් කිසිවක් නොකළ එකියක ලෙස සිනාමුසු මුහුණින් ඉතාම සැහැල්ලුවෙන් හැසිරීම පුදුමසහගතය.

ඉෂාරා සෙව්වන්දි ගුවන්තොටුපළෙන් රැගෙන එද්දී ඇය හැසිරුණේ හරියට ලෝක රූපරාජිනි තරගයකට ගොස් ඉන් ජය ලබා මව් රටට එන සුරූපිනියක ලෙසය. ඇය එසේ හැසිරුණේ තමන් සිදු කළ වරදේ බරපතළකම නොදැන ද එසේත් නැත්නම් පොලිස් නිලධාරීන් තඹ දොයිතුවකට මායිම් නොකළ නිසා ද නැත්නම් ඇය හැටහතර මායම්වලින් එකක් පාවිච්චි කිරීම නිසාද කියා දන්නේ ඇය පමණය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිසියේ දැඩි අවධානය යොමුවී තිබුණේ ඉෂාරා සෙව්වන්දි වෙතය. ඒ වනවිටත් ඇය පිළිබඳව නොයකුත් කට කතා සිය ගණනක් ප්‍රචාරය වෙමින් තිබුණේය.

ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාව තුළදී ඝාතනය කිරීමෙන් පසු ඊට සම්බන්ධ වූ සියලුම අපරාධකරුවන් ඒ වනවිට අත්අඩංගුවට පත්ව සිටියහ. අත්අඩංගුවට ගැනීමට සිටි එකම සැකකාරිය වූයේ මෙම සිද්ධියේ මහ මොළකාරිය ලෙස කටයුතු කළ ඉෂාරා සෙව්වන්දි පමණය.

ඉෂාරා අල්ලන මෙහෙයුම දියත් කරපු හැටි

කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු රැසක් ලබාගැනීමට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලට හැකි විය. ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ වන්නේ එතැන් සිටය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සැලසුම් කරන්නේ ඉතාම රහසිගත ආකාරයටය.

එම මෙහෙයුම ඒ තරමටම රහසිගතව ක්‍රියාත්මක වුණේ කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කළ මෙහෙයුමේ අත්දැකීම් පාදක කරගෙනය.

ඕලුගල මහතා පද්මේ අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණ සිටින බවට පොලිසියෙන්ම ඔවුන්ට ඔත්තුවක් ලැබී තිබුණේය. පද්මේ ඇතුළු පාතාල මැරයන් තමන් පදිංචි ස්ථානය අතහැර පලා යන්නේ ඒ ඔත්තුව අනුවය. රොහාන් ඕලුගලගේ තිබූ දක්‍ෂතා නිසාම එවර පද්මේ ඇතුළු පාතාල මැරයන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේය.

සෙව්වන්දි රටින් පැන්නූ ජේ. කේ. බායි

ඒ මෙහෙයුමේ තිබූ අඩුපාඩුකම් මගහරිමින් සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉතාම රහසිගතව සැලසුම් කෙරිණි. මේ අතර ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නූ ජේ. කේ. බායි පිළිබඳව නිවැරදි තොරතුරක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලැබී තිබිණි.

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබුණ ද ඇය ඉන්නා ස්ථානය හෝ ඇය පාවිච්චි කරන දුරකථන අංකය හෝ ඒ වනවිට පොලිසිය වෙත ලැබී තිබුණේ නැත.

විමර්ශන නිලධාරීන් ජේ. කේ. බායි පිළිබඳව තොරතුරු සොයන්නට පටන් ගත්තෝය. යාපනය ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතිකයකු වන ජේ. කේ. බායි අපරාධකරුවන් විවිධ රටවලට හොර රහසේ රැගෙන යෑම සිය රැකියාව ලෙස කළ අයෙකි. කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයකු වූ ජේ. කේ. බායි සංජීව ඝාතනය වෙද්දී සිටියේ ඉන්දියාවේය. ජේ. කේ. බායි ඒ වනවිට නේපාලයේ කත්මන්ඩු අගනගරය ආසන්නයේ රැඳී සිටින බව විමර්ශකයන් සොයා ගත්හ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක ගිහාන් ද සිල්වා යෙදවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගත්තේය.

ඉන්දුනීසියාවේදී මෙහෙයුමට යද්දී රොහාන් ඕලුගල සිය ජංගම දුරකථනය රැගෙන ගොස් තිබුණේය. රොහාන් ඕලුගල සිටින ස්ථානය අපරාධකරුවන් විසින් සොයාගෙන තිබුණේ මේ ජංගම දුරකථනය හරහාය.

නේපාල මෙහෙයුම සඳහා යද්දී ජංගම දුරකථනය සිය බිරිඳට භාරදී යෑමට ඕලුගල කටයුතු කර තිබුණේය.

ඒ වනවිට දින කීපයක් තිස්සේ තමන් අසනීපව සිටින බව පවසමින් නිවසට වී සිටීමට ඕලුගල කටයුතු කර තිබුණේ නේපාල මෙහෙයුමේ එක් ආරක්‍ෂක පියවරක් ලෙසය.

තමන් නේපාලයට ගිය පසු තම ජංගම දුරකථනයට එන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඕලුගල අසනීපයෙන් ඉන්නෙ යනුවෙන් පැවසීමට බිරිඳට උපදෙස් දී යෑමට ඕලුගල කටයුතු කර තිබුණේය.

රොහාන් ඕලුගල ගිහාන් ද සිල්වා නේපාලයට

ඉකුත් 11 වැනිදා ඕලුගල සහ ගිහාන් ද සිල්වා නේපාලයට යන්නේ සැලසුම් රැසක් සිතේ සඟවාගෙනය. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කීපදෙනකු ඔවුන් කැඳවා ගෙන යෑමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

ඕලුගල සහ ගිහාන් සිල්වා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් එහි සිට සිය මෙහෙයුමේ මුල් අදියර ක්‍රියාත්මක කළහ. ඒ වනවිට නේපාල පොලිසිය දැනුවත් කර ඔවුන්ගේ සහය ලබා ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර තිබුණේය.

විමර්ශකයන්ගේ මුල්ම අරමුණ වී තිබුණේ ජේ. කේ. බායි සොයා ගැනීමටය. ඒ සඳහා ඉතාම සැලසුම්සහගත උපක්‍රමයක් ඔවුන් භාවිත කර සිටියහ.

උපාය දූතයකු යොදාගෙන ඔහු හරහා ජේ. කේ. බායිට කතාකර ශ්‍රී ලංකාවේ සිටින අපරාධකරුවන් දෙදෙනෙක් ඉන්දියාවට පැන්නීම සඳහා ඔහුගේ සහය ලබාගෙන තිබුණේය.

උපාය දූතයා සහ ජේ. කේ. බායි අතර දින ගණනක් තිස්සේ සාකච්ඡා පැවතිණි. අපරාධකරුවන්ව රටින් පැන්නීම සඳහා මුදලක් ද ඔහු පොරොන්දු වුණේය.

ඕලුගල මහතා නේපාලයට ගිය පසු උපාය දූතයා යොදාගෙන නැවතත් ජේ. කේ. බායි දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. අපරාධකරුවන් රටින් පැන්නීමේ මෙහෙයුම සඳහා අත්තිකාරම් මුදලක් ලබා දෙන්නට පැමිණෙන ලෙස උපාය දූතයා ජේ. කේ. බායිට කීවේය. රොහාන් ඕලුගලගේ සැලසුම සාර්ථක විය. අත්තිකාරම් මුදල ලබා ගැනීමට ජේ. කේ. බායි සෙන්ට්‍රල් බස් පාර්ක් එකට පැමිණෙන බව දැනුම් දුන්නේය. ඒ අනුව රොහාන් ඕලුගල ගිහාන් ද සිල්වා සහ නේපාල පොලිසියේ නිලධාරීන් පිරිසක් සෙන්ට්‍රල් බස් පාර්ක් වෙත ගියහ. උපාය දූතයා මාර්ගයෙන් ජේ. කේ. බායි එහි ගෙන්වාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල ප්‍රමුඛ පොලිස් කණ්ඩායමට හැකි විය.

ජේ. කේ. බායි සිංහල භාෂාව හැසිරවීමට දක්‍ෂයකු නොවීය. ඔහු කතා කළේ කැඩුණු සිංහලෙන්ය. ඉන්දුනීසියා පොලිසිය වෙත රැගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹිණි. ඉෂාරා සෙව්වන්දි කෙහෙද ඉන්නෙ අපිට එයා ඉන්න තැන කියන්න ඕනෙ. රොහාන් ඕලුගල ජේ. කේ. බායිගෙන් ප්‍රශ්න කළේය.

“අනේ සර් මම එහෙම කෙනෙක් ගැන දන්නෙත් නැහැ අහලත් නැහැ.” ජේ. කේ. බායි ඉෂාරා ගැන කට හෙල්ලුවේ නැත. මුලින් සුහදව කළ ප්‍රශ්න කිරීම් කනපිට හැරෙන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත. රොහාන් ඕලුගල සහ ගිහාන් සිල්වා පොළොවේ අඩි හැප්පුවේය. දෙක වදිද්දී ජේ. කේ. බායිගේ මුව විවර වුණේය.

“සර්… මට කරදර කරන්න එපා මම තමයි ඉෂාරා නේපාලෙට ගෙනාවෙ. හැබැයි දැන් එයා කොහෙද ඉන්නෙ කියලා දන්නෙ නැහැ.”

ජේ. කේ. බායි ඉෂාරා ගැන තමන් දන්නා සියලු දේ හෙළි කළේය. ඒ අතර ජේ. කේ. බායිගේ මාර්ගයෙන් ඉෂාරා ඒ වනවිට භාවිත කරන ජංගම දුරකථන අංක සොයා ගැනීමට රොහාන් ඕලුගලට හැකි විය.

ඒ අනුව නේපාල පොලිසියේ සහය ඇතිව සෙව්වන්දිගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා සහ එම දුරකථනය ක්‍රියාත්මක වන ප්‍රදේශය හඳුනා ගැනීමට රොහාන් ඕලුගල මහතා සමත් වුණේය.

ඉෂාරා සෙව්වන්දිගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වන්නේ නේපාලයේ කත්මන්ඩු අගනගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි භක්තපුර් ප්‍රදේශයේ බව හඳුනා ගැනිණි.

භක්තපුර් ප්‍රදේශය කුඩා නගරයක් විය. එහි නිවාස, හෝටල්, ගොඩනැඟිලි ඉදිකර තිබුණේ එරට සංස්කෘතිය විදහාපාන ලෙස පැරණි ආකාරයටය. රොහාන් ඕලුගල ගිහාන් සිල්වා සහ නේපාල පොලිසියේ නිලධාරීන් භක්තපුර් නගරය වෙත ගියහ.

භක්තපුර් කුඩා නගරයක් වුවද එය බෙහෙවින් ජනාකීර්ණය. ඉෂාරාගේ ජංගම දුරකථනයෙන් සංඥා නිකුත්වන ස්ථානය මේ ජනාකීර්ණ නගරය තුළ සොයා ගැනීම පහසු කටයුත්තක් වුණේ නැත. භක්තිපුර් ප්‍රදේශයේ ප්‍රාදේශීය පොලිසියේ ද සහාය ඇතිව ජනාකීර්ණ නගරයේ ඉෂාරා පදිංචි ස්ථානය සොයාගන්නට ඕලුගල සහ ගිහාන් ද සිල්වා දැඩි උත්සාහයක් ගත්හ.

භක්තපුර් නගරයේ රැඳී සිටින විදේශගත කාන්තාවන් මෙන්ම සංචාරකයන්ගේ ලැයිස්තුව සොයාගත් රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා නේපාල පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතිව එහි නිවාස පරීක්‍ෂා කරන්නට වූහ.

භක්තපුර් නගරයෙන් ඉෂාරා මතුවෙයි

පැය ගණනක මෙහෙයුමකින් පසුව රොහාන් ඕලුගලගේ උත්සාහය සාර්ථක වුණේය. නොදන්නා රටකට ගොස් නොදන්නා පොලිස් කණ්ඩායමක් සමග සම්බන්ධවී ඔවුන්ගේ ද සහාය ලබාගෙන මේ ආකාරයේ මෙහෙයුමක් කිරීම අතිශය අභියෝගාත්මක එකක් විය. මේ මෙහෙයුමේ අඩුපාඩුකම් ගැන කියමින් ඊට එක්වූ නිලධාරීන් ගැන කියමින් ඕනෑම කෙනකුට කට මැත දෙඩවිය හැකිය. එහෙත් මේ ආකාරයට වෙනත් රටකදී එරට පොලිසිය සමග එක්ව අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට හැකි වගකීමක් භාරදිය හැකි නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ සිටින්නේ අතළොස්සකි.

භක්තපුර් නගරයේ හෝටලයක කාමරයක සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ට හැකි විය. අත්අඩංගුවට පත්වුවද ඇය සිටියේ ඉතාම සැහැල්ලුවෙන්ය. බියක් චකිතයක් ඇයගෙන් විiමාන වූයේ නැත. 25 හැවිරිදි වියේ පසුවූ ළාබාල තරුණියක වුවද ඇය හැසිරුණේ වයසින් මුහුකුරා ගිය ඉතාම පළපුරුදු කාන්තාවක් ලෙසය. ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන සිටි ස්ථානයට නිවාස කීපයක් දුරින් පිහිටි හෝටලයක කාමරයක රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන සිටියේ ඇය තමා පේනමානයේ සිටින බව නොදැනය. අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි නේපාල පොලිසිය වෙත භාරදුන් රොහාන් ඕලුගල මෙහෙයුමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ජේ. කේ. බායිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරඹුණේය.

ඉෂාරාත් එක්ක තව කවුද මෙහෙ ඉන්නෙ. හැම දෙයක්ම අපට කියන්න ඕනෙ. අපි හැම දේම හොයාගෙන ඇවිත් ඉන්නෙ. බොරු කිව්වොත් තමුන්ට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙයි.

ඩුප්ලිකේට් ඉෂාරා ගැන හෙළිවෙයි

ඕලුගල මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජේ. කේ. බායි එකින් එක තොරතුරු හෙළිකරන්න වුණේය.

“සර්… ඉෂාරා වගේම කෙල්ලෙක් අපි ගෙනල්ලා ඉන්නෙ. එයාගෙ රූපය එයාගෙ ඩීටේල්ස් පාවිච්චි කරලා පාස්පෝර්ට් අයිඩෙන්ටි හදලා ඉෂාරාව යුරෝප්වලට යවන්න ලෑස්ති කරගෙන හිටියෙ. පද්මේ පොලිසියට අහුවුණාට පස්සෙ ඒ සේරම අවුල් වුණා. ජේ. කේ. බායි ඩුප්ලිකේට් ඉෂාරා ගැන තොරතුරු හෙළි කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ රොහාන් ඕලුගල නේපාල පොලිසියේ සහාය ලබාගෙන බක්තපුර් දිස්ත්‍රික්කයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි “තක්ෂි” නමැති දමිළ තරුණිය අත්අඩංගුවට ගත්තේය.

තක්ෂි සමග එහි සිටි ජැෆ්නා සුරේෂ් නමැත්තා ද එහිදී අත්අඩංගුවට පත් විය. මේ අතර ජේ. කේ. බායිගේ තොරතුරු මත ගම්පහ බබා සහ නුගේගොඩ බබී යන අපරාධකාරයන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන්ට හැකි වූහ.

ජැෆ්නා සුරේෂ් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙහෙල්බද්දර පද්මේගේ සහ ජේ. කේ. බායිගේ උපදෙස් මත තක්ෂි නමැති දමිළ තරුණිය නේපාලයට රැගෙන එන්නේ ඔහු විසින්ය.

පද්මේට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඉෂාරා සෙව්වන්දි යුරෝපයට යැවීමටය. ඉන්දුනීසියාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පද්මේ ද සූදානමින් සිටියේ යුරෝපයට පැනීමටය.

සමහර විට පද්මේගේ සැලසුම වී තිබෙන්න ඇත්තේ ඉෂාරා සෙව්වන්දි යුරෝපයේ තමන් සිටින ස්ථානය වෙත ගෙන්වා ගැනීමටය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය පද්මේ විසින් සිදුකළ බව හෙළිකර ගැනීමට හොඳම සාක්‍ෂිය වී තිබුණේ ඉෂාරා සෙව්වන්දිය. ඒ නිසා පද්මේ විශාල වෙහෙසක් දරා ඉෂාරා යුරෝපයට ගෙන්වා ගැනීමට සැලසුම් කළා විය යුතුය.

එමෙන්ම සංජීව ඝාතනයේ බරපතළම කාර්ය ඉෂාරා විසින් සිදුකර තිබිණි. කොමාන්ඩෝ සලිඳු ප්‍රහාරය සඳහා කැමතිකරවාගෙන ඔහු සමග දින ගණනක් තිස්සේ එකට ගතකර ප්‍රහාරය සඳහා ඔහු අධිකරණ ශාලාව වෙත රැගෙන යන තැන දක්වා විශාල කාර්යයක් ඉෂාරා සෙව්වන්දි විසින් නොබියව කර තිබුණේය. ඒ නිසාම ඇය කළ මෙහෙය අගය කරමින් ඇය පොලිසියෙන් බේරාගෙන යුරෝපයට ගෙන්වා ගැනීමට පද්මේ ගෙන තිබුණේ දැඩි උත්සාහයකි.

ඉෂාරාගේ හැඩරුවට සමාන දමිළ තරුණිය යොදාගෙන ඇයට ඉන්දීය හැඳුනුම්පතක් ද සකස් කිරීමට ජේ. කේ. බායි කටයුතු කර තිබුණේය. ඉෂාරාට ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම ජේ. කේ. බායිගේ ඊළඟ සැලසුම වී තිබුණේය.

ඉෂාරා ඉන්දීය ජාතික දෙමළ තරුණියක ලෙස යුරෝපයට යැවීම ජේ. කේ. බායිගේ සැලසුම විය. එහෙත් පද්මේ අත්අඩංගුවට පත්වීමත් සමග ඒ සැලසුම් සියල්ල ව්‍යර්ථ වී ගොස් තිබුණේය.

ජේ. කේ. බායි ලබා දුන් තොරතුරු මත අත්අඩංගුවට ගත් “ගම්පහ බබා” කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකි. පද්මේගේ නියෝග මත ගම්පහ ඔස්මන් ඝාතනය කිරීම සඳහා සැලසුම් කිහිපයක්ම සකස් කර තිබුණේ ගම්පහ බබා හරහාය.

සංගීත ප්‍රසංගයක් විවෘත කිරීමට පැමිණෙන අවස්ථාවක ඔස්මන් සහ එහි සිටින සියලු දෙනා ඝාතනය කිරීම සඳහා පාතාල අපරාධකරුවන් කණ්ඩායමක් සූදානම් කර තිබුණේද ගම්පහ බබා විසින්ය.

එහෙත් ඒ පාතාල කල්ලිය ප්‍රහාරය එල්ල කිරීමට පෙර ටී 56 අවිය සමග පොලිස් විශේෂ කාර්ය බළකායට කොටු වී තිබිණ. ඒ පාතාල පිරිස පොලිසියට කොටුවීමත් සමගම ගම්පහ ‘බබා’ ඉන්දියාවට පලා ගොස් පසුව නේපාලයට පැමිණ සිටියේය.

මෙහිදී අත්අඩංගුවට පත් වූ නුගේගොඩ ‘බබී’ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මිනීමැරුමක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණේය. ගම්පහ ‘බබා’ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉන් මිදී පලා යෑමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය.

“සර්… මට චාන්ස් එකක් දෙන්න. මාව ලංකාවට ගෙනියන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්න ගොඩක් වෙනවා. මම සර්ට ලක්‍ෂ 50ක් දෙන්නම් මාව රිලීස් කරන්න.”

ගම්පහ ‘බබා’ රොහාන් ඕලුගල මහතාට අල්ලස් මුදලක් ලබා දී පැනගන්නට උත්සාහ කළේය.

“තමුසේ දැනගන්නවා සල්ලිවලට අපි මේවා කරන්න ගියා නම් අපි ගොඩක් දේවල් කරගෙන. සල්ලිවලට මාව නවන්න හිතන්න එපා. අන්න ඒක හොඳට දැනගන්නවා.

ඕලුගල මහතා ගම්පහ ‘බබා’ට කීවේය. එහෙත් ඔහු තම උත්සාහය අතහැරියේ නැත.

“අනේ සර් ඉල්ලන ඕනෙම ගාණක් දෙන්නම් මාව අතහරින්න.”

රොහාන් ඕලුගල මුදලට නම්මවා ගැනීමට හැකි නිලධාරියකු නොවන බව තේරුම්ගත් ගම්පහ ‘බබා’ පසුව නිහඬ වුණේය. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් සිව්දෙනා නේපාල පොලිසිය වෙත භාරදුන් රොහාන් ඕලුගල ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න වුණේය.

ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මහා මොළකාරිය වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකාරයන් හයදෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට පත් වූ පුවතින් මුළු රටට උණුසුම් වී තිබුණේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රොහාන් ඕලුගලගේ ජංගම දුරකථනයට කතා කර මෙහෙයුම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව ලබාදුන්නේය.

අපරාධකරුවන් පිරිස හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මෙම මෙහෙයුමටද නායකත්වය දුන් බව කීපදෙනෙක් හැරෙන්නට කිසිවකුත් දැන සිටියේ නැත. ජංගම දුරකථන පවා ශ්‍රී ලංකාවේ තබා යෑම නිසා ඕලුගල මහතා සම්බන්ධ කර ගැනීමට කිසිවකුටත් නොහැකි විය.

පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හයදෙනා කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබිණි.

ඉෂාරා සෙව්වන්දි. ඩුබ්ලිකේට් ඉෂාරා හෙවත් තක්ෂි, ජේ.කේ. බායි, ජැෆ්නා සුරේෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. ගම්පහ ‘බබා’ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයටත් නුගේගොඩ ‘බබී’ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙතත් භාර දෙනු ලැබීය.

ඉෂාරා සංජීව ඝාතනය ගැන වමාරයි

ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඇය නේපාලය දක්වා ගිය ගමනේ සියලු තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය.

ගණේමුල්ලේ සංජීවට වෙඩි තිබ්බ දවසේ කොමාන්ඩෝ සලිඳුයි මමයි උසාවියට ආවේ එකට. අපි දෙන්නම ලෝයර්ස්ලා විදිහට ආවේ. උසාවියේ ආරක්ෂක අංශය අපි දෙන්නව සැක කළේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ පොත අස්සෙ තමයි පිස්තෝලය දාගෙන ආවේ. සංජීව අධිකරණ ශාලාවට ගේන කල් මම හිටියේ නීතිඥයන්ට විවේක ගන්න වෙන් කරලා තිබුණු කාමරේ.

ඒ වෙලාවේ අහිංසක ගෑනු කෙනෙක් ඇවිල්ලා මට නඩුවක් භාරදුන්නා. එයා හිතුවේ මමත් ලෝයර් කෙනෙක් කියලා. ඒ මනුස්සය මට රුපියල් දාහක් දික් කරලා කිව්වා මැඩම් මගේ ළඟ මෙච්චරයි තියෙන්නේ මේක අරන් මගේ නඩුවට කතා කරන්න කියලා. එයාගේ මහත්තයා එයාට හොඳටම ගහලා ඒකේ නඩුව තමයි එදා තිබුණේ. මම කිව්වා මම වෙන නඩුවකට පෙනී ඉන්න ආවේ ඒ නිසා ඔයාගේ නඩුව අර මැඩම්ට භාර දෙන්න කියලා. එහෙම කියලා ඒ කාමරේ හිටිය ලේඩි ලෝයර් කෙනෙක් ළඟට අර ගෑනු කෙනාව ඇරියා. එයා අර ගෑනු කෙනාගෙන් රුපියල් 2000ක් ඉල්ලුවා නඩුවට කතා කරන්න. ඒ මනුස්සයා ළඟ රුපියල් 1000 මයි තිබුණේ. මම එයාට කාමරෙන් එළියට අඬගහලා රුපියල් 5000ක් දීලා කිව්වා අර මැටම්ට මේක දීලා නඩුවට කතා කරන්න කියලා. ඒ මනුස්සය මට වැඳලා සල්ලි ගත්තා.

නඩුවක් භාර දෙන්න ඇවිත් මැඩම් මට සල්ලිත් දුන්නා කියලා ඒ මනුස්සයා යන්න ගියා.

ඔය සිද්ධියෙන් පස්සේ මට පණිවිඩයක් ආවා සංජීව ඇතුළට ගෙනාවා කියලා. මම සලිඳුත් එක්ක සංජීවගේ නඩුව අහන කාමරේට ගියා.

“සලිඳු මට කිව්වා වැඩේ ඉවර කරන කල් ඔයා යන්න එපා මගේ ළඟින් ඉන්න කියලා. මම සංජීව පේන මානෙන් උසාවිය ඇතුළේ ඉඳගෙන හිටියා. සංජීව විත්ති කූඩුවට නැග්ගට පස්සෙ සලිඳු ඉස්සරහට ගිහින් එයාට වෙඩි තියෙන හැටි මම බලාගෙන හිටියේ. වෙඩි ප්‍රහාර හතර පහරක්ම තිබ්බා. උසාවියේ හිටිය අය හිල් ලූ ලූ අත දුවන්න ගත්තා. මමත් එතනින් එළියට පැන්නෙ සංජීවට වෙඩි තියනවා සංජීවට වෙඩි තියනවා කිය කියා.

මම දැක්කා සලිඳු ඉස්සරහින් දුවනවා. මම එයාගෙ පස්සෙන් ගියා. උසාවියෙන් එළියට ඇවිත් අපි දෙන්නා ත්‍රීවිලර් එකකට ගොඩ වුණා. අපි මීගමුවට යන කල් එකට ගියේ.

ඉෂාරා මතුගමට ගිය හැටි

මීගමුවේදී අපි දෙන්නා වෙන් වුණා. සලිඳුට පුත්තලම පැත්තට යන්න වෑන් එකක් සෙට් කරලා තිබුණා. එයා ඒකේ නැගලා ගියා. මම මීගමුවෙන් වෙන වාහනේක නැගලා පද්මේ අයියා හොයලා දුන්න තැනක දවස් තුනක් හිටියා. එහෙම ඉන්නකොට මට පද්මෙ අයියගෙන් පණිවිඩයක් ආවා මතුගමට යන්න කියලා. එහෙ ආරක්ෂිතව ඉන්න තැනක් සෙට් කරලා තියෙන්නේ කියලා.

මම වාහනේක මතුගමට ආවා. එහෙදි පොලිසියේ රාළහාමි කෙනෙක්ගේ ගෙදර දවසක් නතර වුණා. ඒ රාළහාමිගේ අම්මා තමයි මට උදව් කළේ. රාළහාමි වැඩ කළේ අළුත්ගම පැත්තේ පොලිසියක. රාළහාමිත් දැනගෙන හිටියා මම සෙව්වන්දි කියලා. ඒත් එයා මාව පාවලා දුන්නේ නැහැ. රාළහාමිගෙ අම්මා මාව ත්‍රීවිලර් එකක දාගෙන තැන් කීපයකට අරගෙන ගියා. ඒ මනුස්සයා මාව හොඳට බලා ගත්තා. පද්මේ අයියගේ උපදෙස් මත මතුගම පැතතේ කට්ටිය මට උදව් කරන්න ආවා යැයි ඉෂාරා සෙව්වන්දි පොලිසිය හමුවේ පාපොච්චාරණය කළාය.

ඉෂාරා සෙව්වන්දිට ටික කාලයක් ආරක්ෂිතව මතුගම රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණේ පාතාල කල්ලි නායකයකු වන මතුගම ශාන්ගේ මැදිහත්වීම මතය.

මතුගම ශාන් සහ කෙහෙල්බද්දර පද්මේ සමීප මිතුරන් නිසා පද්මේගේ ඉල්ලීම මත සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් ලැබුණේය.

මතුගම සිටි කාලසීමාව තුළදී ඉෂාරා තම ස්වරූපය වෙනස් කර ගන්නට උත්සාහ කළාය. දිගට තිබූ කොණ්ඩය කොටට කපා දැමූ ඇය හැඩ වැඩ වීමට කටයුතු කළාය. මේ ආකාරයෙන් මාසයකට ආසන්න කාලයක් මතුගම ඉතාම රහසිගතව සැඟවී සිටි ඉෂාරා පසුව මාතර ප්‍රදේශයට පලා ගියාය.

සංජීව ඝාතනයෙන් පසු ඒ ප්‍රහාරයේ මහා මොළකාරිය ඉෂාරා බව ඒ වනවිට පොලිසිය හඳුනාගෙන සිටියේය. මුළු රටම පීරුවත් පොලිසියට ඉෂාරා පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වූයේ නැත.

මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත තොරතුරක් ලැබී තිබුණේය. ඒ ඉෂාරා මතුගම ප්‍රදේශයේ සැඟවී සිටින බවය. ඇය මතුගම නගරයේ වෙළෙඳසල් කීපයකට මෙන්ම රූපලාවන්‍යාගාරයකටද ගිය බවට ලැබුණු තොරතුරු මත පොලිසිය මතුගම නගරය පීරන්නට වූහ.

එහෙත් ඒ වනවිටත් ඉෂාරා මාතර ප්‍රදේශයට පැන ගොස් සිටියාය. මාතර රහසිගත ස්ථාන කීපයක සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ මෙහෙයවීම මත ඔහුගේ ගෝලයන් විසින්ය.

ඒ වනවිට ජේ.කේ. බායි ඉෂාරා සෙව්වන්දි සමග සම්බන්ධ වී සිටියේය. ඉෂාරා මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ගෙන්වා ගැනීමේ කාර්ය භාරගෙන සිටියේ ජේ.කේ. බායි ය. ඉෂාරා සෙව්වන්දි රටින් පිටකර ඇය යුරෝපයේ රටකට යැවීමේ සම්පූර්ණ කාරිය වෙනුවෙන් පද්මේ ඔහුට රුපියල් ලක්‍ෂ 65ක මුදලක් ලබාදීමට පොරොන්දු වී සිටියේය.

ඒ අනුව ඉෂාරා යාපනයෙන් බෝට්ටුවක නන්වා ඉන්දියාවට ඇය රැගෙන යෑම ජේ.කේ. බායිගේ මුල් සැලසුම විය. ඒ සඳහා මාතර සිට ඉෂාරා යාපනයට රැගෙන යෑමේ කාර්ය භාරවී තිබුණේ මේ වනවිට හරක් කටා ඝාතනයට මාධ්‍යවේදියකු ලෙස අධිකරණ ශාලාවට යෑමට සූදානමින් සිටි පුද්ගලයාය.

ඉෂාරා මෝටර් රථයක නන්වා ගත් මේ පුද්ගලයා ඉතාම ආරක්ෂිත ලෙස ඇය මාතර සිට යාපනයට රැගෙන යෑමට කටයුතු කළේය. ඉෂාරාට ඉන්දියාවට යෑමට ඒ වනවිටත් බෝට්ටුවක් සූදානම් කර තිබුණේය. ඒ සියල්ල ජේ. කේ. බායිගේ උපදෙස් මත සිදුකෙරිණි.

අපරාධකාරයන් රටින් පැන්නීමේ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් ඉෂාරා බෝට්ටුවක නන්වාගෙන ඉන්දියාවට යෑමට පිටත් වූහ. දින 5ක් තිස්සේ යාත්‍රා කළ බෝට්ටුව ඉන්දියාවට එද්දී ඉෂාරා සිටියේ දැඩි ලෙස වෙහෙසට පත්වය.

දවස් පහක් තිස්සේ බෝට්ටුවේ ඇවිත් මට ඇති වුණා. මට ජීවිතෙත් එපා වුණා. ඒ ගමන ඇවිත් ඉන්දියාවේ කොහෙන් ගොඩ බැස්සද කියලා මම දන්නේ නැහැ. එයාලා මාව පොඩි වරායකින් ඉන්දියාවට බැස්සුවා. එතෙන ඉඳලා මම ජේ.කේ. බායි එක්ක හිටියේ. එයා ඉන්දියාවේ විතරක් නෙවෙයි රටවල් ගණනක මාෆියා කල්ලිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්. එයාට මාර විදිහට පාතාල සම්බන්ධකම් තිබුණා. ඉන්දියාවේ සතියක් විතර ගත කළා. ඊට පස්සේ තමයි එයා මාව නේපාලයට ගෙනියන්න ලෑස්ති වුණේ. ඉන්දියාවේ ඉන්න එක ආරක්ෂාවට හොඳ මදි කිව්වා. නේපාලෙට ගියාම වැඩිය චෙක් වෙන්නේ නැහැ කියලා ජේ.කේ. බායි මට කිව්වා.

ඉන්දියාවේ සිට ඉෂාරා නේපාලයට රැගෙන යෑමට ජේ.කේ. බායි සැලසුම්කර තිබුණේ දුම්රියෙන්ය. එය ඉතාම දීර්ඝ දුම්රිය ගමනක් විය. ස්ථාන කීපයකින්ම ඉෂාරාට දුම්රියෙන් බැසීමට සිදුවිය. තම මාෆියා කල්ලිවල සහාය ලබාගත් ජේ.කේ. බායි ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ඉන්දීය නේපාල දේශසීමාවන් හරහා ඉෂාරා නේපාලයට රැගෙන ආවේය.

දින 06ක දුම්රිය ගමනකින් පසු නේපාලයට ඇතුළු වූ සෙව්වන්දි දින කීපයක් කත්මන්ඩු නගරයේ ගත කළාය. ඒ වනවිට ඇය දිගින් දිගටම කෙහෙල්බද්දර පද්මේ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සිටියාය. “ඔයා ජේ.කේ. බායිටවත් කියන්නේ නැතිව කොහේ හරි ආරක්ෂිත තැනකට ගිහින් ටික දවසක් ඉන්න. මම ඔයාව යුරෝප් රටකට ගන්න ඕන කරන හැම දෙයක්ම කරගෙන යනවා. ඔයා නැවතිලා ඉන්න තැන කවුරුවත් දැනගන්න අවශ්‍ය නැහැ.”

ආරක්ෂක හේතූන් මත ඉෂාරා රහසිගත ස්ථානයක සැඟවීමට පද්මේට අවශ්‍ය විය. ජේ.කේ. බායිටවත් නොදන්වා නේපාලයේ ආරක්ෂිත ස්ථානයක නවාතැන් ගන්නා ලෙස පද්මේ ඉෂාරාට උපදෙස් දුන්නේ ඒ නිසාය.

දන්නාහඳුනන කිසිවකුත් නැති නේපාලයේ හුදකලාව සිටීම ඉෂාරාට බරපතළ ප්‍රශ්නයක් විය. එහෙත් ඒ සියලු බාධකවලට මුහුණ දුන් ඇය කත්මන්ඩු නගරයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි භන්කපුර් දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක ආරක්ෂිත ස්ථානයක් සොයා ගත්තාය. ඉංග්‍රීසි භාෂාව හරි හැටි පරිශීලනය කිරීමට හැකියාවක් නොතිබුණද ඇය දන්නා ආකාරයට සියල්ල කර ගත්තාය.

භක්තපූර් ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගැනීමට ඉෂාරාට හැකිවිය. නිවස හිමි කාන්තාවට ඇය කියා සිටියේ තමන් ඉන්දීය ජාතික දෙමළ තරුණියක බවයි.

මාස 06ක පමණ කාලයකට කාමරය කුලියට ගන්නා බවද ඇය නිවස හිමි කාන්තාවට කියා සිටියාය. ඒ වනවිට පද්මේ ඉෂාරාට අතදිගහැර වියදම් කිරීමට මුදල් එවීමට කටයුතු කර තිබුණේය. පද්මේ ලබා දී තිබූ උපදෙස් නිසා ඉෂාරා දවසේ වැඩි කාලයක් ගත කළේ තම කාමරය තුළමය. අත්‍යවශ්‍ය කරුණකට එළියට පැමිණියද ඒ සැණින් නැවත කාමරය වෙත යෑමට ඇය පුරුදුව සිටියාය.

එහෙත් ඇය තම රූප සෝභාව කෙරෙහි දැඩි ලෙස උනන්දු වූවාය. භක්තපූර් ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් වෙත ඇය නිතර යන්නට පුරුදුව සිටියාය. ඇය සූරූපිනියක වන්නේ දිගින් දිගටම කළ ඒ රූපලාවන්‍ය සත්කාර නිසාය. ඒ අතරතුර ජේ.කේ. බායි ඇතුළු සංවිධානාත්මක කල්ලිය ඉෂාරාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දෙමළ තරුණියකගේ නමින් ඇය යුරෝපයට යැවීමේ කටයුතු කඩිනමින් සම්පාදනය කරමින් සිටියාය.

එහෙත් ඒ සියලු සැලසුම් ව්‍යර්ථ වන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමගය.

පද්මේ අයියා අහුවුණාට පස්සේ මගේ හැම බලාපොරොත්තුවක්ම නැති වුණා. කොටින්ම මට ජීවත් වෙන්න විදිහකුත් නැතිව හිටියේ. මට නේපාලේ නැවතිලා ඉන්න සල්ලි එව්වේ එයා. පද්මේ අයියා අහුවෙලා ටික කාලෙකට පස්සේ මගේ අතේ තිබුණු සල්ලි සේරම ඉවර වුණා. ඉල්ල ගන්න කෙනෙක් හිටියෙත් නැහැ. අන්තිමේදී මම කනේ තිබුණු කරාබු ජෝඩුව ගලවලා ඒක කඩේකට විකුණලා තමයි කන්න බොන්න සල්ලි සොයා ගත්තේ. කරාබු දෙක විකුණලා මට ලංකාවේ මුදලින් රුපියල් හැටපන්දාහක් විතර ලැබුණා. ඒ සල්ලි ටික පරිස්සම් කරගෙන වියදම් කළා.

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත්වීමෙන් පසු නන්නත්තාර වූ ඉෂාරා සෙව්වන්දි යුරෝපයට ගොස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට මැවූ සිහින ඒ වනවිට බොඳ වී ගොස් තිබිණි.

මාස අටකට ආසන්න කාලයක් තිස්සේ මුළු රටක් කැළඹූ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිරි මැදිරියකය. තමන් සිදුකළ මහා අපරාධයේ සුලමුල මේ වනවිට ඇය දිගහරිමින් සිටියි.

ඉෂාරාට සැඟවී සිටීමට උපකාර කළ පුද්ගලයන් මෙන්ම ඇය සමග සබඳතා පැවැත්වූවන් එකා දෙන්නා මේ වනවිට පොලිසියට කොටුවෙමින් සිටිති.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here