තලපති විජේ, කච්චතිව් සහ තලපත් මාළුවා

0
7

2025 සැප්තැම්බර් මස 07 වැනිදා ඉරිදා

බ්‍රිතාන්‍යය සහ ආර්ජන්ටිනාව අතර දකුණු අත්ලාන්තික් සාගරයේ ලංකාවෙන් කාලක් පමණ විශාල වූ ෆෝක්ලන්තය නමැති දූපතක් තිබේ. මෙහි ජනගහනය දාහකටත් අඩුය. බ්‍රිතාන්‍යයට අයත් මේ දූපතේ වැඩි වශයෙන් සිටින්නෝ තාවකාලික ධීවරයෝ ය. 1982 දී හිටිහැටියේම මේ දූපත කෙරෙහි තණ්හාවක් ආර්ජන්ටිනාවට ඇති විය. ඒ අනුව 1982 අප්‍රේල් 2 වැනිදා ආර්ජන්ටිනාවේ නාවික හමුදාව ෆෝක්ලන්තයට ගොස් තමන් එය යටත් කරගත් බව කියමින් එම දූපත මැද ආර්ජන්ටිනාවේ ජාතික කොඩිය සිටුවූහ. ඇත්තෙන්ම ෆෝක්ලන්තය වැනි කුඩා දූපතක් යටත් කර ගැනීමට යුද හමුදාවක් අවශ්‍ය නැත. තනි මිනිසකුට වුව පොල්ලක් ගෙන එම දූපතට ගොස් සතර අතේ වනා එම දූපත යටත් කර ගත හැකිය. තමන්ට අයත් ෆෝක්ලන්තය ආර්ජන්ටිනාව විසින් යටත් කර ගැනීමේ පණිවුඩය ලැබුණු විට මහා බ්‍රිතාන්‍ය කෝපයෙන් වෙව්ලන්නට පටන් ගත්තේ ය. මහා බ්‍රිතාන්‍යයට ද ෆෝක්ලන්තයෙන් වැඩක් නැත. එහෙත් එය ඔවුන්ගේ භෞමික අඛණ්ඩතාවයේ සංකේතයකි. ඒ අනුව ආර්ජන්ටිනාව විසින් ආක්‍රමණය කරනු ලැබ තිබුණේ බ්‍රිතාන්‍යයේ භෞමික අඛණ්ඩතාවය ය. කෝපයට පත් බ්‍රිතාන්‍ය ෆෝක්ලන්තයට යුද නැවක් යවා එහි සිටි ආර්ජන්ටිනා නාවික හමුදාවට පොරි හැලෙන්නට දුන්නේ ය. මේ සමගම බ්‍රිතාන්‍ය සමග සටන් කරන්නට පටන් ගත්තේ ය. ආර්ජන්ටිනා නැව් හමුදාවෙන් නැව් කිහිපයක් අදටත් මුහුද යට තිබේ. ඒවා ගිල්වන ලද්දේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසිනි. අන්තිමේ දී රාත්‍රී කාලයන් දෙක, තුනක් ගත වන විට ආර්ජන්ටිනා හමුදාව බ්‍රිතාන්‍යයට යටත් විය. බ්‍රිතාන්‍යයට අවශ්‍ය වී නම් ඒ වෙලාවේ දී ආර්ජන්ටිනාව වුව යටත් කර ගැනීමට හැකියාව තිබිණ. එහෙත් එය අත්හැර දැමූ බ්‍රිතාන්‍ය හමුදාව ආපසු සිය රට බලා ගියහ. ෆෝක්ලන්ත කතන්දරය එතැනින් අවසන් වේ. ආර්ජන්ටිනාව යනු ජාත්‍යන්තර විප්ලවවාදියකු වූ අර්නස්ටෝ චේ ගෙවාරාගේ මාතෘභූමියයි. නිදහස් කියුබාව බිහි කිරීම සඳහා උපරිම දායකත්වයක් දැක්වූ හෙතෙම මාක්ස්වාදී රණශූරයෙකි. ආර්ජන්ටිනාව නමැති රට බ්‍රිතාන්‍යයට පැරදීම චේ ගෙවාරාට ද කරන ලද නිග්‍රහයකි.

ලංකාව සහ ඉන්දියාව අතර අක්කර 285 ක භූමි ප්‍රමාණයක් ඇති දූපතක් පිහිටා තිබේ. මෙහි පල්ලියක් ඇත. මීට අමතරව මෙහි තාවකාලික ධීවර ප්‍රජාවක් ද සිටිති. මේ දූපතේ නම කච්චතිව් ය. 1921 සිට මේ දූපත ලංකාවේ කොටසක් හැටියට බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පාලනය කරන ලදී. ඒ අතර මේ දූපත ඉන්දියාවට අයිති බව ඇතැම් දේශපාලනඥයෝ විටින් විට පැවැසූහ. එසේ වුවද මේ දූපත ලංකාවේ සාමුද්‍රික සීමාව තුළ පිහිටා ඇති බව බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත් කළේ ය. ඒ සමගම කච්චතිව් ලංකාවේ භුක්තියට සවිවෙයි. එහෙත් 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද ජනරජ ව්‍යවස්ථාව යටතේ බ්‍රිතාන්‍ය විසින් දෙන ලද සමහර තීන්දු අවලංගු විය. මේ අනුව කච්චතිව් දූපතේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු විය. එවිට සිය කුලුපග මිතුරිය වූ ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි මහත්මිය ඇමතූ බණ්ඩාරනායක අගමැතිතුමිය කච්චතිව් දූපත ලියැවිල්ලකින් ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එය එසේම සිදුවිය. එහෙත් කාලයෙන් කාලයට තමිල්නාඩුවේ දේශපාලනඥයෝ කච්චතිව් දූපත ඉල්ලා ලංකාවට කරදර කරති. එය දේශපාලන හේතුවකි. නීතිවිරෝධී ලෙස මසුන් මැරීම සඳහා මෙරට මුහුදු සීමාවට ඇතුළු වන තමිල්නාඩු ධීවරයෝ කච්චතිව් දූපතේ දින කිහිපයක් නැවතී සිටිති. ඒ අතර සමහර ධීවරයෝ සිය බෝට්ටුවල මත්කුඩු පටවාගෙනවිත් කච්චතිව් දූපතේ සිට ජාවාරම් කරති. තමිල්නාඩුවේ දේශපාලනඥයන් වැඩිදෙනා සිය ඡන්ද වැඩ කරන්නේ මාළු මුදලාලිලාගෙන් ලැබෙන සල්ලිවලිනි. කුඩු බිස්නස් එක හරියාකාරව කරගත් විට මාළු මුදලාලිලාගෙන් විශාල ධනයක් තමිල්නාඩු දේශපාලනඥයන්ට ලැබේ. තමිල්නාඩුව ලංකාව භාරයේ පවතින විට නාවික හමුදාව විසින් මේ කුඩු සෙල්ලම නවත්වන නිසා කච්චතිව් දූපත ආපසු ඉන්දියාවට ලබාගැනීම මාළු මුදලාලිලාට සහ ඔවුන්ගෙන් යැපෙන දේශපාලනඥයන්ට වැදගත් වේ. ඒ අනුව කච්චතිව් ලංකාවට ලබාගැනීම සඳහා මේ වෙලාවේ වැඩට බැස තිබෙන්නේ තලපති විජේ නමැති, තලපත් මාළුවකු තරම්වත් නොවටනා දෙමළ නළුවෙකි. ලංකාව ලෝක සිතියමෙන් අතුගා දමන බව මේ කියන තලපති විජේ කලකට පෙර පවසා තිබිණ. තලපති විජේ කච්චතිව් දූපත ආපසු ඉන්දියාවට පවරා ගැනීමේ ව්‍යාපෘතිය ලංකාවේ භෞමික අඛණ්ඩතාවට පයින් ගැසීමක් වන බැවින් පසුගියදා එම දූපතේ සංචාරය කළ ජනාධිපති අනුර දිසානායක කවුරු කොහොම ඉල්ලුවත් කච්චතිව් දූපත කිසිදු ආකාරයකින් නැවත නොදෙන බව කියා සිටියේ ය.

තලපති විජේ නමැති නළුවා පිළිබඳ කතාව මෙසේ ය. ඔහුට කවදාවත් රඟපෑමට වුවමනා වූවේ නැත. එහෙත් ඔහුගේ මාපියෝ බලහත්කාරයෙන් ඔහු දෙමළ සිනමාවට තල්ලු කළහ. ඒ අතර නොසිතූ පරිදි තලපති විජේ ජනප්‍රිය විය. ඉන් පසු ඔහුගේ දෙමාපියන්ට වුවමනා වුණේ ඔහු දේශපාලනයට තල්ලු කිරීම ය. දේශපාලනය කෙරෙහි කිසිදු කැමැත්තක් තලපති විජේට තිබුණේ නැත. එහෙත් මවුපියන්ට ඇති අවනතභාවය නිසා ඔහු තමිල්නාඩුවේ දේශපාලනය කරන්නට පටන් ගත්තේ ය. ඒ අතරතුර දී තලපති විජේට ලංකාව සමග Link එකක් තිබිය යුතු නිසා ඔහුගේ මවුපියෝ යාපනයේ දෙමළ තරුණියක් ඔහුට කසාද බන්දවා දුන්හ. තලපති විජේ ආරම්භ කර ඇත්තේ දීර්ඝ දේශපාලන ගමනකි. ඔහුගේ පළමුවන අපේක්‍ෂාව තමිල්නාඩුවේ මහඇමැති වීම ය. ඔහුගේ දෙවන අපේක්ෂාව ඉන්දියාවේ පළමුවන දෙමළ අගමැති බවට පත්වීම ය. මේ දෙවන අදහස මුදුන්පත් කර ගැනීමට ඔහුට කවදාවත් ඉඩ නොලැබෙන බව අපගේ වැටහීම වේ. එහෙත් තමිල්නාඩුවේ කණ්ඩායම් කච්චතිව් ඉල්ලා වධ කරන විට එම වධයෙන් කොටසක් අගමැති නරේන්ද්‍ර මෝදි මත වැටේ. තමිල්නාඩුව තුළ අගමැති මෝදි සතු දෙමළ ඡන්ද කුට්ටියක් තිබේ. අගමැති මෝදි කච්චතිව් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නා බව නොපෙන්වුවොත් තමිල්නාඩුවේ දෙමළ ඡන්ද කුට්ටිය ඔහුට කරදර කරන්නට පටන්ගනී. මේ නිසා කච්චතිව් ප්‍රශ්නය ඉතාම අනවශ්‍ය වෙලාවක කඩාවැටුණු අනවශ්‍යම වාතයකි. මෙය දැන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳා නොගතහොත් එමගින් ලංකා ආණ්ඩුවට ද දේශපාලන කරදරයක් සිදුවන බව අපගේ වැටහීම වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here